Tuesday, April 23, 2024

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය බිහිසුණුය – සා.ස.ජ.ව්‍යාපාරය

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස වෙත පැමිණි සන්නද්ධ මැර පිරිසක් ප්‍රහාරයක් එල්ල කරමින් සිදුකර ඇති වෙඩි තැබීම තරයේ හෙළා දකින සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

වර්තාවන ආකාරයට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අද (14) දා උදෑසන 2.10ට පමණය. පැමිණ ඇති පිරිස සිව්දෙනෙක් යැයි කියවෙන අතර, ඔවුන් ඔවුන් හදුනාගැනීමට නොහැකි වන ආකාරයට කලු පැහැති කබායන් හැඳ හිස් ආවරණ පැලැඳ සිටියේ යැයි කියති. එමෙන්ම ඔවුන් පැමිණ ඇත්තේ ආයුධ සන්නද්ධව වන අතර චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා ප්‍රකාශ කරන ආකාරයට වෙඩි තැබීමක් ද සිදුව තිබේ. එමෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් පැමිණ නිවසට ප්‍රහාරයක් ද එල්ලකර ආපසු ගොස්ව ඇත්තේ සුදු පැහැති වෑන් රථයකිනි.
ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් පසුගිය යුගයේදී එල්ල වූ අමානුෂික ප්‍රහාරයන් හා මාධ්‍යවේදින් ඝාතනය කිරීම් රැසක් ද සිදුව ඇති රටක, එමෙන්ම එම ඝාතන හා ප්‍රහාරයන් කිසිවකට අදාළව වගකිවයුතු පුද්ගලයන් වෙත දඩුවම් ලබාදීමට අපොහොසත් වූ රටක සිදුව ඇති මෙම බිහිසුනු ප්‍රහාරය අතිශයින් බිහිසුණු ය. නිසැක වශයෙන්ම එය සැලකිය හැක්කේ නිදහස් අදහස් පළකරන සමාජ හා දේශපාලන ක්‍රියාකාරීකයන්ද ඇතුළු ජනමාධ්‍යවේදීන් වෙත එල්ලකර ඇති තවත් එක් බරපතල තර්ජනයක් ලෙසටය.

එබැවින් මේ පිළිබදව විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම රජයේ මෙන්ම පොලීසියේ ප්‍රමුඛ වගකීමකි. මෙම සිදුවීමට අදාළව ක්‍රියාකිරීමට යම් හෙයකින් පොලීසිය හා අදාළ අංශ අසමත් වුවහොත් එමඟින් සමාජයට ලැබෙන පණිවිඩය වනු ඇත්තේ අතීතයේදී සිදුවූ ආකාරයේ බිහිසුණු ක්‍රියාවන්ට මේ සමාජය තුළ නැවතත් ඉඩකඩ විවිර වෙමින් ඇති බවය. එය අතිශයින්ම පිහිසුණු ප්‍රවනතාවකි. එවැනි තත්වයන් යළි ඇතිවීම වැලැක්වීම සමස්ත සමාජයටද වගකීමක් ඇති බවද මෙහිදී අපි දැඩිලෙස අවධාරණය කරන්නෙමු.
පාලිත ලිහිණියකුමාර
ප්‍රධාන ලේකම්
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

මේ අතර ප්‍රකාශණයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙසේ සඳමන් කරයිත

චමුදිතගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කර මරණ තර්ජන ගැන පරීක්‍ෂා කරන්න – නිමාව්‍යා. පොලිස්පතිට දන්වයි
07.06.2021.
පොලිස්පතිතුමා,
පොලිස් මූලිස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීම.

හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියකු හා යූටියුබ් නාලිකාවක ප්‍රධානියා ලෙස සේවය කරන, ප්‍රකට මාධ්‍ය‌වේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතා තමන්ට එල්ල වී ඇති බරපතල ජීවිත තර්ජනයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට හේතු වී තිබේ.

‘හරීන්ද්‍ර ජයලාල්‘ යූ ටියුබ් නාලිකාව සමඟ ජුනි 05වැනිදා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරන්නේ තමන් මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර ඇති බවයි. තර්ජනය පිළිබඳ සියලු තොරතුරු ලිපියක ලියා තබා, එක් අයකුට පමණක් එය තිබෙන තැන හෙළි කරන බවත්, තම ජීවිතයට හානියක් සිදු වුවහොත් එම ලිපියේ සඳහන් පාර්ශ්ව ඊට වගකිවයුතු බවත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටී. එමෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති ප්‍රකාශ කළ ද, ජූනි 6 වැනි දින ඊමේල් මඟින් ඔබතුමා වෙත පැමිණිලිලක් ද කර ඇත.

ඉකුත් වසර 25ක පමණ කාලයක් රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලනඥයින් හා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කර ඇති, එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති වෘත්තීය මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතා කළ මෙම ප්‍රකාශය බැරෑරුම් ලෙස සැලකිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ අවස්ථාවක රාජ්‍යයේ රැකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති වාතාවරණයක් උද්ගත වී ඇත්නම් එය අතිශය බිහිසුණු තත්ත්වයකි. මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කර සත්‍යය හෙළිදරව් කරන ලෙසත්, චමුදිත සමරවික්‍රම මහතාට ජීවිත තර්ජනයකින් තොරව සිය වෘත්තියේ නිරත වීමට ඇති අයිතිය සහතික කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔබතුමාගෙන් දැඩි ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටී.

ජනතා විමුක්තා පෙරමුණද ප්‍රහාරය හෙළා දකී

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බව සැක සහිත යයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළ බව එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කරන ලද බියගුලු ප්‍රහාරය හෙළා දකිමු!

පිලියන්දල, වෑවල පෞද්ගලික නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අලුයම නාඳුනන කණ්ඩායමක් විසින් ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා දොරටුව බලහත්කාරයෙන් විවෘත කරවා ගෙන ඇතුල් වී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ආශ්‍රිත සිදුවීම් පිළිබඳව ආන්දෝලනාත්මක ජනමාධ්‍ය වැඩසටහන් සිදුකරන මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද මෙම බියගුලු ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු. ඔහුගේ සමාජ මාධ්‍ය රූපවාහිනී වැඩසටහන් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ දූෂිත දේශපාලකයින් මෙන්ම ඊට සම්බන්ධ කළු ව්‍යාපාරිකයින්ද විශාල ලෙස සමාජය හමුවේ නිරාවරණය වෙමින් තිබූ තත්වයක් තුළ මෙම ප්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් ලෙස සිදු කර ඇති බව පැහැදිලිය.

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබී ඇත්තේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැත. විශේෂයෙන් ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළය.

මෙවැනි තත්වයක් තුළ මෙම නින්දිත ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් ආණ්ඩුවට නොහැකි බව අවධාරණය කරන අපි, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු. මාධ්‍යවේදීන් බිය ගන්වා, තර්ජනය කර සත්‍යය යටපත් කරලීමෙන් තමන්ගේ බලය සදාකාලික කර ගැනීමට කිසිදු පාලකයෙකුට හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තර්ජනයට හා ප්‍රහාරයට ලක් වූ අවස්ථා ගණනාවක් අපි දැක ඇත්තෙමු. මෙවැනි බොහෝ සිදුවීම්වලට අදාළ ඍජු වරදකරුවන් හා පිටපස සිට ඔවුන් මෙහෙයවූවන් කිසිදා නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද නැත. එහෙත් නීතිය ක්‍රියාත්මක නොවූ එම සිදුවීම් පිටුපස, පැවති පාලනයන්ගේ සබඳතා තිබූ බවට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි.

එබැවින් පොලිස් පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලෙසත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සියලු දෙනා හඳුනාගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ආණ්ඩුවට බලකර සිටින අපි, මෙවැනි බියගුලු ප්‍රහාර හමුවේ නොසැලී සිටින ලෙසත් කිසිදු ආකාරයකින් තමන්ගේ මාධ්‍ය භාවිතයන් අත්නොහරින ලෙසත් සියලු මාධ්‍යවේදීන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

විජිත හේරත්
ප්‍රචාරක ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ

 

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Archive

Latest news

Related news