Thursday, November 21, 2024

ගොවි අරගල මැඩලීමට සෑම කුඹුරකටම හමුදා සොල්දාදුවන්

ඉදිරි යල කන්නයේදී ( මාර්තු- සැප්තැම්බර් ) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළේය.

කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී (සම්බන්ධීකරණය ) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහාද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති යෝජනාද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූ ඒ මහතා උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුදහමුදා සාමාජිකයන් යොදවා විවිධ වගා ව්‍යාපෘති දැනටමත් අරඹා ඇතැයිද පැවසීය.

( ලංකාදීප)

ගොවි අරගල මැඬලීමට සෑම වගාබිමකටම හමුදාව යෙදවීමේ සූදානමක්!

 

ආණ්ඩුවේ කඩිකුලප්පු කාබනික පොහොර පිළිවෙත නිසා වී වගාව ඇතුළු කෘෂි ක්ෂේත්‍රය තුළ සිදුව ඇති පරිහානිය හමුවේ ගොවි විරෝධය මර්දයට යුද හමුදාව යෙදවීම සඳහා ආණ්ඩුව සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

මේ වනවිට ගොවි අරගල ව්‍යාප්ත වෙමින් ආණ්ඩුව ප්‍රතික්ෂේප වීමේ තත්වය තුළ ගොවි ක්ෂේත්‍රයේ ආණ්ඩුවේ ආධිපත්‍ය පිහිටුවීමේ අදහස ඇතිව මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධ කරුණු අනාවරණය වූයේ මාර්තු- සැප්තැම්බර් කාලයේ එළඹෙන යල කන්නයේදී ගොවීන්ට සහයවීම පිණිස සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ ප්‍රකාශයත් සමගිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් බවත් යුද හමුදාපතිවරයා පවසයි.

මේ අනුව හමුදාපතිවරයාගේ ප්‍රකාශය යනු ගොවි අරගල ක්‍රියාත්මක ප්‍රදේශවලට මර්දනකාරී හමුදා බලයක් යෙදවීමේ සූදානම ඇතිව සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමේ නිවේදනයක් බව පැහැදිලි වේ

Lanka views

Archive

Latest news

Related news