Friday, April 19, 2024

ලංකා ඊ නිව්ස් කීර්ති රත්නායක ඇප පිට නිදහස්. නඩුව ගෙන යාමට හේතු නැහැ! 

2021 අගෝස්තු මාසයේ සිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටි ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතාට කොටුව මහේස්ත්‍රාත්වරයා අද (09) ඇප නියම කළේය.

රත්නායක අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට යැවූ පණිවිඩයකට අනුවය.

ඔහු අත්අඩංඟුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරුකෙන බව පෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තවත් පියවරක් ලෙස පෙනෙන නමුත් මෙය සතුටට කාරණයක් බව මාධ්‍ය ප්‍රජාව ප්‍රකාශ කරති.

 

රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඉදිරියට ගෙන යාමට මූලික නඩුවක් නොමැති බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාගේ නිරීක්ෂණ ඉල්ලා සිටි අතර එහිදී නීතිපතිවරයා කියා සිටියේ නඩුව ඉදිරියට ගෙන යාමට හේතු නොමැති බවයි.

නඩුව ඉදිරියට ගෙන යාමට හේතු නැති ජනමාධ්‍යවේදියකු අත්අඩංඟුවට ගත්තේ මන්දැයි පොලිසිය දැන් පිළිතුරු දිය යුතු බවත් ජනමාධ්‍යවේදීහු පවසති.

උපුල් කුමාරප්පෙරුම,  නීතිඥ ෂෙලෝමි ගුණරත්න, රාධා කුරුවිටබණ්ඩාර යන නීතිවේදීහු කීර්ති රත්නායක වෙනුවෙන් අධිකරණය හමුවෙහි පෙනී සිටියහ.

මීට පෙර කුමාරප්පෙරුම මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට ලිපියක් යවමින් කියා සිටියේ රත්නායක අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) ඔහු මහනුවර පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමේ සැලසුමක් ඇති බවත්, යන අතරමගදී ඔහුගේ ජීවිතයට තර්ජනයක් වීමට ඉඩ තිබේ.

කුමාරප්පෙරුමගේ එම ලිපිය ලැබීමෙන් පසු පීරිස් මහතා රත්නායකගේ ජීවිතය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා පොලිස්පති (පොලිස්පති) චන්දන ඩී වික්‍රමරත්න වෙත ලිඛිතව දන්වා ඇත. පීරිස් මෙම ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) නිල වශයෙන් දැනුම් දී ඇත.

Archive

Latest news

Related news