Thursday, April 25, 2024

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා – රජිත් කීර්ති තෙන්න

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා. අල පණුවාට කාබනික විකල්ප නෑ.  ගැසට් රිවස් කලාට කෘමිනාශකත් නෑ

වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පණුවන් කා දමා, පරිභෝජනය ගත නොහැකි තත්වයට පත්ව ඇත. අර්තාපල්, කැරට්, බීට් ඇතුළු උඩරට එළවළු වගාවන් හි පණු රෝග සඳහා කාබනික විකල්පයක් රජය හෝ කෘෂිකර්ම බලධාරීන්ට නැත.  ප්‍රමිතියක් සහිත කෘමිනාශක නොමැතිවීම පණු හානිය පාලනය කළ නොහැකිවී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.  

ප්‍රමිතියකින් තොර කාබනික පොහොර විවිධ පණු බිත්තර සඳහා පෝෂණ මාධ්‍යයකි. කාබනික පොහොර සමඟ ඒවා උඩරට වගා බිම් පුරා පැතිර ඇත.  වැලිමඩ සරුසාර අල වගාව මේ පණුවන්ට ආහාරය බවට පත්වන අතර, පණු වර්ග මර්ධනයට කාබලික පිළියමක් නැත. වැලිඩම රසම රස අල ගෙඩි දැන් පණු කැඳළි පිරී ඇති අතර, ගොවීහු ඒවා වගා බිමේ අතහැර දමති. 

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයට අවශ්‍ය එළවළු වගාව මේ වන විට ආරම්භ වී ඇත.  කෘෂි රසායන තහනම නාමිකව ඉවත් කර ඇති නමුත් මේ දක්වා කිසිදු කෘෂි රසායනයක් හෝ වල් නාශකයක් රටට ආනයනය කර නැත.  ප්‍රමිතියක් නැති කොම්පෝස්ට් පොහොර නිසා ව්‍යාප්තවන පණු රෝග මර්ධනයට අවශ්‍ය කෘමිනාශක හා දිලීර නාශක ආයනයනට කෘෂිකර්ම අමාත්‍යාංශය වහා අවසර ලබා නොදෙන්නේ නම් ඉදිරි අස්වැන්න ද මෙලෙසම පණුවන්ගේ ආහාරය බවට පත් වනු ඇත.

ඉන්දියාවේ සිට කේරල ගංජා ජාවාරම සිදු කළ ජාවාරම්කරුවන් විසින් රට තුලට රැගෙන එන නීති විරෝධී කෘෂි රසායන සීමිත හා ඉතා මිල අධික බැවින් මෙවර අල කන්නයේ අස්වැන්න පණුවන්ගේ ආහාරය බවට පත්වෙමින් ඇත.

1950 දශයෙන් උඩරට අර්තාපල් වගාව ඇරඹීමෙන් පසුව වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ, හපුතලේ, බණ්ඩාරවෙල, නුවරඑළිය අර්තාපල් වගාවට මුහුණදී ඇති දැවැන්තම විනාශයට මේ වන විට මුහුණ දෙමින් ඇත. 

ලෝකයේ සෑම රටකම අර්තාපල් වගාව දැඩි පාලිත තත්වයන් යටතේ දිලීර නාශක හා කෘමි නාශක භාවිතයෙන් පමණක් සිදු කරයි.  රජයේ පළිබෝධ නාශක තහනම නිසා වගාවට අවශ්‍ය පොහොර මෙන්ම රෝග පාලනයට අවශ්‍ය පළිබෝධ නාශක ලැබුණේ නැත. අල වර්ගයන් හි පණු හානිය වැලැක්වීම සඳහා කිසිදු ලියාපදිංචි කාබනික විකල්පයක් නැත.

1965 වසරේ දී ද උඩරට අර්තාපල් වගාව විනාශ කිරීම සඳහා විදේශීය විශේඥයින් පිරිසක් විසින් දිලීර වර්ගයක් යොදා ගැනීමට උත්සහ කරනු ලැබීය.  රහංගල කෘෂි පර්යේෂණ ආයතනයේ සේවකයින් විසින් අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඒ බව පෙන්වා දුන් පසුව අර්තාපල් වගාවට අවශ්‍ය පොහොර බෙහෙත් නොමිලේ ලබා දෙමින් උඩරට අල වගාව ව්‍යාප්ත කරන ලදී.  දේශීය අල බතල වෙනුවට දේශීය රසවත් අර්තාපල් සාමාන්‍ය වැසියාට මිලදී ගත හැකිවූවේ දේශීය වගාව නිසාය. අර්තාපල් වගාවේ සාර්ථකත්වය නිසා මෙරට වැඩිම ආදායමක් උපයන ගොවීන් පිරිසක් බවට අල ගොවියා පත් විය.

අල ගොවීන් කබලෙන් ලිපට

පොහොර තහනම හා කෘමි හානිය නිසා උඩරට අල සහ එළවළු වගාව මේ වන විට 50% කින් පමණ අඩු වී ඇත.  වගාවට අත්‍යවශ්‍ය ප්‍රමිතියක් සහිත කිසිදු දිලීර හා කෘමි නාශක නොමැතිවීම නිසා ගහේ වැලේ හැදෙන දෑ ආහාරයට ගත‌ නොහැකි තත්වයට පත්වේ. 

‘නිසි ප්‍රමිතියකින් යුතු කාබනික හෝ අකාබනික පණු නාශක නොලැබෙන්නේ නම් උඩරට අල වගාව සම්පූර්ණයෙන්ම විනාශවී යා හැකිය.  ‘අල මහත්තයා’ නමින් ජනතාවගේ ආදාරයට පත් නෝමන් ගුණතිලක මහතා ආරම්භ කළ ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන වැනි නායකයින් විසින් ව්‍යාප්ත කල වැලිමඩ අල වගාවේ අවසානය මේ අමන තකතීරු කාබනික වගා උන්මාදය විසින් සනිටුහන් කරමින් සිටින බව’ තෙන්නකෝන් මහතා පවසයි.

මේ සමඟ ඇති ඡායාරූපවලින් දැක්වෙන්නේ කෘමිනාශක නොමැතිවීම නිසා අල ඌවපරණගම ප්‍රදේශයේ අර්තාපල්  වගාවට සිදුව ඇති පණු හානියයි.

Archive

Latest news

Related news