Saturday, May 4, 2024

වැඩ වර්ජන තහනම් සූදානම ප්‍රජාතන්ත්‍රවාදයට හා වැඩකරන ජනතාවගේ නිදහසට මාරක ප්‍රහාරයක් – කරූ ජයසූරිය

වැඩකරන ජනතාවගේ ප්‍රමුඛ අයිතිවාසිකමක් මර්දනය කිරීමට රජයට කිසිදු අයිතියක් නැත.

වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීම අයිතිය ශ්‍රී ලංකාවට අදාළව තහනම් කලයුතුය යන අදහසක් රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් ලෙස අවධානය යොමු කරන්නෙමු. අධිකරණ අමාත්‍යවරයාගේ එම අදහස වත්මන් රජයේ අදහස ද වන්නේ නම් එය සැලකිය යුත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා වැඩකරන ජනතාවගේ නිදහසට එල්ල කිරීමට සූදානම් වන මාරක ප්‍රහාරයක් ලෙසටය.
රජය තුළ එවැනි සූදානමක් වෙත්නම් ඇතිවියහැකි අහිතකර ප්‍රතිවිපාක දෙස අවධානය යොමුකරවමින් හෝ එය හකුලා ගතයුතුව ඇතැයි යන්න අපගේ බලවත් අදහසය.

වෘත්තීය සමිතියක අයිතිවාසිකම් යනු පිළිගත් මානව අයිතිවාසිකමක් ද වේ. එමෙන්ම එය වැඩකරන ජනතාව සතු අන්සතු කළ නොහැකි අයිතියක් වනවා පමණක් නොව සමාජයේ සාධාරණත්වය හා කල් පවත්නා සාමය උදෙසා ද බලවත් ලෙස ඉවහල් වන සාධකයක් ලෙසට ද එකී අයිතිවාසිකම් සැලකිය හැකිය.

එමෙන්ම වෘත්තීය සමිති අයිතිවාසිකම් මෙන්ම වගකීම් සහගත සමාජයක් පිළිබදව ද අපේක්ෂා කරන සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය; වෘත්තීය සමිති දේශපාලන පක්ෂයන්හි පටු අරමුණු උදෙසා ක්‍රියාකරන අතකොලු නොවිය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීමේ අයිතිය පවා යුක්ති ගරුක ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්කරන ලද්දේ ද එවැනි දේශපාලන පටු අරමුණු මත පිහිටා කටයුතු කරන ලද ඊනියා ආයතන විසිනි. එවැන්නන්ගේ කරමතින් බලයට පැමිණි පිරිසක් අද රටේ වැඩකරන ජනතාවගේ මූලික අයිතියක් වන වර්ජනය කිරීමේ අයිතිය මර්දනය කිරීමට සූදානම් වන්නේ නම් අප එය සලකන්නේ බරපතල සාපරාධි කුමන්ත්‍රණයක් ලෙසට ය.

ඒ අනුව අප රටේ සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි උත්සහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්සත් වන ලෙසටය. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට සූදානම් වන අධිකාරීවාදී පාලකයන්ට එරෙහිව නැගී සිටින ලෙසට ය. එමෙන්ම එවැනි උත්සහයන් සාධාරණීකරණය කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ගයන් හි නිරත වන ඊනීයා සංවිධාන හා ඒවායේ කුමන්ත්‍රණකාරී පිළිවෙත රටට හෙළිදරව් කරන ලෙසටය.

දේශබන්දු කරූ ජයසූරිය,  සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news