මංත්‍රී වත්කම් බැරකම් තොරතුරු රහසිගතව තබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තොරතුරු කොමිසමට එරෙහිව උසාවි යයි!

1036

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස තොරතුරු කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නිකුත් කළ නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට ගොස් තිබේ.

පුරවැසියන්  ලෙස මාධ්‍යවේදීන් දෙනෛකු මෙම තොරතුරු ඉල්ලීම කර තිබූ නමුත් තොරතුරු කොමිෂන් සභාවේ නියෝගය අනුව පාර්ලිමේන්තුව තොරතුරු ලබා දී තිබුණේ නැත. ඒ වෙනුවට තොරතුරු පනත අනුව තොරතුරු කොමිසමේ නියෝගය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති RTIC/04/2021 මෙම අභියාචනය අද ඒනම් 11දා කැඳවා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඉල්ලා ඉදිරිපත් වූ තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ඉදිරියේ විභාග වූ අභියාචනයකදී එම තොරතුරු මුදා හරින ලෙස තොරතුරු කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කළේ ය.

පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන් වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතු අතර 2018 වසරේ වත්කම් – බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේනය සහ 2010 වර්ෂයේ සිට වත්කම් – බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛන වෙන වෙන ම ලබා දෙන ලෙස මාධ්‍යවේදීන් වන චාමර සම්පත්  සහ තරිදු ජයවර්ධන විසින් 2018.06.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් යොමු කළේ ය.

එම තොරතුරු ලබා දිය නොහැකි බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර වත්කම් – බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අනුව කථානායකවරයාට එම ඉල්ලීම යොමුකළ යුතු බවද දන්වා තිබිණි.

මේ තොරතුරු ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියා වෙත මාධ්‍යවේදී චාමර සම්පත් අභියාචනයක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබිණි. එබැවින් මෙම තොරතුරු ලබා දෙන ලෙස තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාව වෙත 2018.09.11 වන දින අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

තමන් ඉල්ලා සිටිනුයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශ නොව අදාළ කාල සීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය බව ත් එම තොරතුරු මුදා හරින ලෙස පාර්ලිමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ත් මාධ්‍යවේදී චාමර සම්පත් විසින් තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනා කරමින් ඉල්ලීමක් කර ලැබ තිබිණි.

මන්ත්‍රීවරුන් සම්බන්ධ මෙම තොරතුරු මුදා හැරීම පිළිබඳ අභියාචනා වසර දෙකකට වැඩි කාලයක් තොරතුරු කොමිෂන් සභාවේ විභාග වූ අතර  තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 3 (1) වගන්තිය ප්‍රකාරව ඉල්ලා ඇති තොරතුරු පොදු අධිකාරියේ ‘සන්තකයේ, භාරයේ හෝ පාලනයේ’ පවතී නම් පොදු අධිකාරිය විසින් එම තොරතුරු පනතේ 5 (1) වගන්තියට යටත්ව නිකුත් කළ යුතු බව කොමිෂන් සභාව සිය නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ‘චාමර සම්පත් එදිරිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව RTIC 719/2019’ ලෙස පිටු 26න් යුතු තීන්දුවක් මේ සම්බන්ධයෙන් නිකුත් කළේය.

පාර්ලිමේන්තු බලධාරීන් ඇත්ත වශයෙන්ම අධිකරණයට ගොස් ඇත්තේ තොරතුරු කොමිසමට විරුද්ධවය. තොරතුරු විවෘතභාවය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ලකුණක් වන අතර තොරතුරු සඟවනු ලබන්නේ අඥාදායක පාලකයින් විසිනි.

ඉංග්‍රිසි බසින් ඇති එම තීන්දුව පීඩීෆ් ගොනුවක් ලෙස මෙහි දැක්වේ.719-2018

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට අභියාචනා කර ඇත්තේ මෙම තීන්දුවට එරෙහිවයි.

ColomboXNews ද ඇසුරෙනි.