Thursday, November 21, 2024

කාදිනල් හිමි, සහරාන් හෂීම්, ඩී.අයි.ජී.නාලක සිල්වා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක – සුනන්ද දේශප්‍රිය

පාස්කු ප්‍රහාරයට දින දහසක් ගත වීමට ඇත්තේ තවත් දින තුනක් පමණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් මැතදී කරන ලද ප්‍රකාශයකට පොලිස් මාධ්‍ය අංශය ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ඒ කාදිනල් හිමි පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව  සූම් තාක්ෂණය ඔස්සේ පසුගිය 10 වන දින  පැවති සම්මන්ත්‍රණයකදී කරන ලද ප්‍රකාශයකටය. එය පවත්වන ලද්දේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමටය.

ප්‍රකාශය මෙසේය:

“DIG නාලක ද සිල්වා ව අත්අඩංගුවට ගත්තේ සහරාන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අරන් තියෙද්දි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව. ඒකෙ තියෙනවා, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කරන්න අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළා දැයි සොයා බලන්න වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතුයැයිද නිරීක්ෂණය කරයි කියලා. මුස්ලිම් අන්තවාදින් මේක සුදානම් කළ බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින් ජනතා ඡන්දය ලබාගන්න ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නා කියා පේන්න තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් 60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලන තන්ත්‍රයේ ඉන්න අය මේක යට ගහන්නමයි හදන්නේ. මේවා  විමර්ශනයකින් තොරතුරු එළියට ගන්න මේ අය කැමති නැහැ.” ( අද දෙරණ)

පොලිසියේ ප්‍රතිචාරය විමසා බැලීමට වටින්නේ එහි ඇති ප්‍රතිවිරෝධතා සහ එමගින් තොරතුරු සැඟවීමට දරනු ලබන උත්සාහය  නිසාය. එමගින් පොලිස් මාධ්‍ය අංශය උත්සාහ කරන්නේ හිල් බාල්දියකින් වතුර ඇදීමටය. නැත්නම් වීදුරු ගෙවල්වල සිට ඇදුම් මාරු කර ගැනීමටය.

චූදිතයකු විය යුතුව තිබූ නිලන්ත ජයවර්ධනට රජයෙන් ලැබුණේ උසස් වීමකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් පළමුවෙන්ම පිළිතුරු දිය යුත්තේ “නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින්” සිටි එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ ඩීඅයිජී නිලන්ත ජයවර්ධනගෙන් මේ තාක් ප්‍රශ්න කර කට උත්තරයක් නොගැනීම සම්බන්ධයෙනි. පසුගිය දා ඩීඅයිජී රවි සෙනවිරත්න සහ එස්එස්පී ශානි අබේසේකරගෙන් පවා රහස් පොලිසිය පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශ ලබා ගත්තේය. මෙම ප්‍රහාරය පිළිබඳව සියල්ල දැන සිටි නිලන්ත ජයවර්ධනට උසස් වීමක් පවා ලබා දී රාජපක්ෂ රජය ඔහු ආරක්ෂා කරන්නේ මන්ද යන්නට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දිය යුතුව තිබුණි.

කාදිනල් හිමියනට සහ මෙරට කතෝලික ප්‍රජාවට රජය ගැන සැක කිරීමට සිදුව ඇත්තේ මෙවැනි හේතු නිසා නොවේද?

පාස්කු ප්‍රහාරයට අදාළව ලද තොරතුරු තිබූ  කේන්ද්‍රීය උපකරණය වුයේ නිලන්ත ජයවර්ධනගේ ජංගම දුර කථනයයි. එය ඔහුගේ පුද්ගලික දුරකථනය වුවද එහි බිල් ගෙවුයේ පොලිසියයි. ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලද තොරතුරු බෙදා ගත් පුද්ගලයින් කවරේද යන්න තිබුණේ එහිය. එම බුද්ධි තොරතුර ලද දිනයෙහි ඔහු ජනාධිපති සිරිසේනට කතා කළේද? ගෝඨාභය රාජපක්ෂට කතා කළේද යනාදිය සොයා ගත හැකිව තිබුණේ එම දුර කථනයෙනි. දීර්ඝ කාලයක් බුද්ධි නිලධරයකු ලෙස සේවය කළ ඔහු. ජංගම දුර කථනය බාර දෙන ලෙස ඉල්ලූ වහාම එහි දත්ත සහ තොරතුරු යළි සොයා ගත නොහැකි වන පරිදි මකා දැමූවේ ඇයි දැයි පොලිස් මාධ්‍ය අංශය රටට නොකියන්නේ ඇයි?  සිය නිර්දෝශී  බව තහවුරු කිරීමට නම් ඔහු විසින් කළ යුතුව තිබුණේ සියළු තොරතුරු අඩංගු සිය ජංගම දුර කථනය රහස් පොලිසිය වෙත බාර දීම නොවේද?

“නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින්”  නිලන්ත ජයවර්ධන ක්‍රියා කළ තවත් අවස්ථාවක් වන්නේ වවනතිව් ප්‍රහාරයයි. එය කරන ලද්දේ එල්ටීටීඊ හිතවාදීන් බවට ඔහු වාර්තා තුනක්ම දුන්නේ එය සත්‍ය නොවන බව දැන  දැන බව පෙනේනට තිබේ. ඊට හොඳම සාක්ෂිය නම් අත්අඩංගුවට ගත් කදිරමාතම්බි ඉරාජකුමාරන්ගේ කබායක් ඝාතනය වූ ස්ථානයේ තිබී පොලිසිය සොයා ගැනීමත් එම කබාය ඉව කරමින් පොලිස් සුනඛයකු ඔහුගේ නිවසට යෑමත් නිර්මානය කිරීමයි. එය ඇත්ත ඝාතකයින් වසං කිරීමට කරන ලද ව්‍යාජ සිද්ධියකි.

තොරතුරු දැන දැන වසන් කළේය යන කාදිනල් හිමිගේ චෝදනාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දිය යුතුව තිබුණේ එවැනි වසං කිරීම් ගැනය.

මෙම විමර්ශනය කර ගෙන ගියේ ඩීඅයිජී රවි සෙනවිරත්න සහ එස්එස්පී ශානි අබේසේකර යටතේ යැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ ඔවුන් මෙම තත්වයට වගකිය යුතු බව පෙන්වීමටය. එනමුත් ඇත්ත ප්‍රශ්නය නම්  ඔවුන් විසින් කර ගෙන ගිය පරීක්ෂනය ඉදිරියට ගෙන යෑම වත්මන් රජය විසින් වළක්වා ඇත්තේ මන්ද යන්නයි.

එම පරීක්ෂනය ඉදිරියට ගෙන ගියේ නම්, සහරාන් හෂීම් කණ්ඩායම  සමඟ සොනික් සොනික් නමින් සබඳතා පැවැත් වූ පොලිස් බුද්ධි අංශ සාමාජිකයා කව්රුන්දැයි මේ වන විට හෙළිදරව් විය යුතුව තිබුණි.

දෙවැනිව  දී සහරන්ගේ අනුගාමිකයින් සිය දිවි නසා ගත් සමන්තුරේ නිවසෙහි තිබී හමු වූ ජංගම දුරකතන සිම් කාඩ් පත පිළිබඳ පරීක්ෂනය ඉදිරියට යා යූතුව තිබුණි. එම සිම් කාඩ් පත විශ්ලේෂණය කර සහරාන් සමඟ සබඳතා පැවැත් වූ දුර කථන අංකයක් ලබා දෙන ලද්දේ ඇමෙරිකානු පෙඩරල් විමර්ශන බියුරෝව නෙහොත් එෆ්.බී.අයි. විසිනි. එම දුරකතනය හිමි පුද්ගලයා රහස් පොලිසියට කැඳවන ලද නමුත් “ ඔහු අපේ කෙනෙක්” යැයි කියා හමුදා බුද්ධි ප්‍රධානී ජෙනරල්වරයකුගේ නියෝගයෙන් ප්‍රශ්න කිරීමට ඉඩ නොතබාම රැගෙන ගියේ මන්ද යන්නටද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දිය යුතුව තිබුණි. පාර්ලිමේන්තුවෙහි දී ද දෝංකාර දුන් මෙම සිදුවීම අසත්‍යකැයි හමුදා බුද්ධි අංශ මෙතෙක් කියා නැත.

එවකට ත්‍රස්ත විමර්ශන අංශයේ පුධානියා  වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කරමින් කාදිනල් හිමිපානන් විසින් කරන ලද ප්‍රකාශයට පිළිතුරක් ද පොලිස් නිවේදනයේ සදහන් වේ.

තුන් කට්ටුව : නාමල් කුමාර, ගෝඨාභය සහ සිරිසේන

එම ප්‍රකාශය කියන්නේ ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා  වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති සිරිසේන සහ එවකට සිවිල් පුද්ගලයකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවකට බවය. තවද එම අත්අඩංගුවට ගැනීම කරන ලද්දේ කාදිනල් හිමි විසින් අපක්ෂපාතී පොලිස් නිලධාරීන් යැයි හඳුන්වනු ලබන එවකට රහස් පොලිසියේ ප්‍රධානීන් වූ ඩීඅයිජී රවි සෙනවිරත්න සහ එස්එස්පී  ශානි අබේසේකර යටතේ බවය.

එකී ඝාතන චෝදනාව කරන ලද්දේ 2018 සැප්තැම්බර් 16වනදාය. ඒ අතිශය ගුප්ත චරිතයක් වන නාමල් කුමාර නම් පුද්ගලයකු විසිනි. එක රැයකින් නාමල් කුමාර රජයේ විරයකු බවට පත් විය.

ඉන් මසකට පසු ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරනු ලැබීමට නියමිතව තිබුණි. එකී ව්‍යවස්ථා කුමන්ත්‍රණය සාධාරණ කිරීමට ඉදිරිපත් කරන ලද එක් සාධකයක් වූයේ මෙම ඝාතන චෝදනා ගැන නිසි පරීක්ෂණයක්  අගමැති වික්‍රමසිංහ යටතේ සිදු නොවීය යන්නයි.

චෝදනාව කළ නාමල් කුමාර මත්ද්‍රව්‍ය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායට සම්බන්ධව සිටි සිරිසේනගේ ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබා ගත් අයකු විය.

තවද ඔහු ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා  වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ නිල නොවන ඔත්තු කරුවකු ද විය. ඔහු නාලක සිල්වාගේ සිත දිනා ගෙන ඇත්තේ  ප්‍රංශයේ සිට මෙරට දෙමළ-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට උත්සාහයක් ඇති  බවට ව්‍යාජ තොරතුරු ලබා දීම මගිනි.

ඔහු ඇත්ත වශයෙන්ම ඔත්තුකරුවකු ලෙස සේවය කලේ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති නමුත් රජයේ ආරක්ෂාව ලබන තවත් උසස් පොලිස් නිලධාරියකුට දැයි දැන් සැකයක් ඇතිව තිබේ.

පොලිසියට ඔත්තු සැපයීම  වෙනුවෙන්  නාමල් කුමාරට රුපියල් පක්ෂ පහක ප්‍රදානයක් ද  ලැබී තිබුණි. නමුත් නාමල් කුමාර විසින් එසේ අල්ලා දුන්  අරඹේපොල රතනසාර හිමියන් හා ඩෑන් ප්‍රියසාද් යන  දෙදෙනාගෙන් කවරකුට විරුද්ධව හෝ නඩු නොපවරන ලදී. ඒ වනාහී පුස් වෙඩිල්ලක් වෙනුවෙන් දුන් ප්‍රදානයකි.

නාමල් කුමාරගේ “හෙළිදරව්ව” මත පරීක්ෂණයක් කරන සේ ජනාධිපති සිරිසේන, පොලිස්පති පූජිත ජයසුන්දරට නියෝග කළ අතර ජයසුන්දර එම නියෝගය අනුව පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරිදි ඩීඅයිජී නාලක සිල්වා අත්අඩංඟුවට ගන්නා ලද්දේ හුදෙක් ශානි අබේසේකරගේ තීරණයක් උඩ නොව ජනධිපති සිරිසේනගේ පැමිණිල්ල මතය.

නාමල් කුමාරගේ “හෙළිදරව්වෙන් මසකට පසු සහ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට දින අටකට පෙර (2018.10.16දා) එවකට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වූ නීතිඥ ශිරාල් ලක්තිලක මෙම ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය “ප්‍රලාපයක් සහ දේශපාලන උප්පරවැට්ටියක්” ලෙස හඟවමින් එය පසෙක ලෑමට දේශපාලනික උත්සාහ ඇති බවට චෝදනා කළේය. සමහර වි‌ට ඔහුට  ජනාධිපති කාර්යාලයේදී නාමල් කුමාර හමු වී තිබෙන්නටත් ඉඩ ඇත.

එදිනම  පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය සැලසුම් කරන්නේ යයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේය.

පොලිස් ආරක්සාව ඇකිව නාමල් කුමාර ගුරු අරගලයට විරෝධය පෑවේ ඒම අරගලයට සහාය දැක් වූ පිරිසක් මැදට බලයෙන් පැමිණීමෙනි.

මේ හෙළිදරව්ව කල නාමල් කුමාර යුද හමුදාවෙන් දෙවරක් පැන ගිය බොරු සහතික ඉදිරිපත් කළ පුද්ගලයකු බව අනාවරණය විය. නමුත් තවමත් ඔහුට පොලිස් ආරක්ෂාව ලැබෙන බව පසුගිය දා දක්නට ලැබුණි.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින්  ජනාධිපති සහ ගෝඨාභය ඝාතනය කිරීම බාර දී ඇති බවට නාමල් කුමාර චෝදනා කරන ලද පුද්ගලයා වූයේ මාකඳුරේ  මධූශ්ය. හරියටම ඉන් තෙවසරකට පසු 2020 ඔක්තෝබර් 20දා පොලිස් අත්අඩංගුවෙහි දී මධූශ්ට වෙඩි තබා ඝාතනය කරන ලදී.

අවසානයේ දී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයෙහි සිරිසේන හෝ ගෝඨාභය ඝාතනය ගැන වචනයක් හෝ නොතිබුණි. එම ව්‍යාජ චෝදනාව ඉදිරිපත් කල නාමල් කුමාර තවමත් පොලිස් ආරක්ෂාව ලබයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් පිළිතුරු දිය යුතුව තිබුණේ එම ප්‍රශ්නයටයි. දැන් නාලක සිල්වා  චෝදනා ලැබ ඇත්තේ වෙනත් පොලිස් ප්‍රධානියකු ඝාතනය කිරීමට නාමල් කුමාරට  කියා සිටි බවටය.

නාමල් කුමාර ලවා  ව්‍යාජ චෝදනාවක් ඉදිරිපත් කිරීම මගින් නාලක සිල්වා අත්අඩංඟුවට ගැනීම පසුපස සිටියේ ඔහු ඇත්ත වශයෙන්ම සේවය කළ බුද්ධි ප්‍රධානියාද නැත්නම් සිරිසේනගේ දේශපාලන ඉලක්කකරුවන්ද යන්න තවමත් අභිරහසකි.

ජනාධිපති සිරිසේන, සහරාන් හෂීම් ගැන ලද බුද්ධි තොරතුරු නොසළකා සිටියේය. ඔහු විසින්ම පත් කර ගන්නා ලද ආරක්ෂක විශ්ලේෂකයකු වු අසංග අබේගුණසේකර කියන්නේ තමා විසින් දෙන ලද රහස්‍ය වාර්තා තුනක්ම සිරිසේන නොසළකා හැරිය බවයි.

රාජපක්ෂවරුන‌ට නීති විරෝධි ලෙස බලය ලබා දීම‌ට සිරිසේන කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ඇතුලාන්ත කතාව තවම රහසකි. මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දෙවැනි අදියර වූයේ පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවීමට ඉඩ දීමයි. සිරිසේන මෙම ප්‍රහාරය ගැන දැන සිටි බවටත් සිංගප්පූරුවට ගොස් එදින මඟ හැරියේත් ඒ් නිසා බවටත් පාස්කු ප්‍රහාරයේ සමීකරණය විමසා බලන විට පැහැදිළිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව තමාට අත නොතබන බව සිරිසේන හොදින්ම දනී. මන්ද යත් එකට කුඩු කෑ එවුන්ට අනෙකා පාවා දිය නොහැකි නිසාය. සිරිසේනගේ වත්මන් දේශපාලන භූමිකාවෙහි ඇති කටකාරකම පෙන්වන්නේ එම සත්‍යයි. සිරිසේන රයිගමයා නම් ගම්පලයා නිලන්ත ජයවර්ධනය.

කවරකු කුමන වෙස් බැන්දත් නැට්ටුවාට අන්දන්නේ අපේ ගමේ නම් ගුණදාස ගුරුන්නාන්සේය. බෙර පදය ද ගුරුන්නාන්සේගෙනි.

ප්‍රශ්නය ගුරුන්නාන්සේ නොහොත් මහ මොළකරු කව්ද යන්නයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දිය යුතු වූ ප්‍රශ්න ඒවාය.

Archive

Latest news

Related news