Tuesday, July 16, 2024

අර්බුදයට විසදුම ජාතික එකඟත්වයක් මිස ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීම නොවේ. – සුනිල් ජයසේකර

ඡායාරූපය: සුනිල් ජයසේකර

මේ වසර රටට හෝ ජනතාවට සුභදායි වන බවක් අපට පෙනෙන්නට නැහැ. රට ඒ තරමටම අවුල්ජාලයක් වන ලකුණු පෙනෙන්නට තිබෙනවා. එහි ඇති අවාසනාවන්තම දේ වන්නේ රටේ පවතින සැබෑ අවුල පිළිබදව කිසිවක්ම නොතකා හරිමින් වර්තමාන පාලකයන් කටයුතු කරමින් සිටීමයි.

ඊට හොදම උදාහරණය ඊයේ ප්‍රකාශයට පත්කළ සහන පැකේජය හා අද උදේ එක්තරා ඇමතිවරයෙක් ඉවත් කිරීමට ගත් තීරණයෙන්ම පැහැදිලි වෙනවා.

රටේ පැහැදිලි ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඒ අර්බුදයට පදනම වී ඇත්තේ අදවනවිට ගෙවාගත නොහැකි තරමට අප රටක් ලෙස විදේශී ණය කන්දක හිරවී සිටීමයි.

ඒ සඳහා මේ පාලකයන් කිසිදු විසදුමක් මේ දක්වාම ඉදිරිපත් කර නැහැ. ඒ වගේම අදවනවිට රටතුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු සේවාවන්හි බරපතල හිඟයක් ඇතිවී එය දවසින් දවස වර්ධනය වන බවක් පේනවා. ඒකට විසදුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීම නොවේ. එවැනි දීමනා ලබාදීමට හිතු හිතු පරිදි මුදල් අච්චු ගසමින් ඉන්නවා. එයින් අත්විය හැකි ප්‍රතිඵලය මේ අර්බුදය තව තවත් දරුණුවීම පමණයි. කෙටියෙන්ම කියනවානම් අද කබලක රත්වෙමින් සිටින ජනතාව ලිපට ඇද දැමීම පමණයි.

රටේ කෘෂි කර්මය මුහුණදී ඇති අර්බුදයද එසේමයි.  ඒ නිසා අදවනවිට ඉතාමත්ම පැහැදිලිව රට දැවැන්ත අර්බුදයකට තල්ලුවෙලා. ඒ වගේම දේශපාලන අර්බුදයක මුව දොර සිටිනවා ඒක ඉතාමත්ම පැහැදිලියි. ඒ සමගද දැවැන්ත අති බිහිසුණු සමාජ අර්බුදයක් කරාද ගමන් කරමින් තිබෙනවා.

මේ කිසිවකට වත්මන් පාලකයන්ට විසදුම් ඇතිබවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ බිහිසුණු තත්වය අවබෝධ කරගෙන අවශ්‍ය නිසි විසඳුම් සොයාගැනීමට රටේ වගකීමක් ඇති සෑම පාර්ශවයකටම බරපතල සමාජ වගකීමක් පැවරී තිබෙනවා.

මේ වෙමින් තියෙන විනාශයෙන් රටත්,ජනතාවත් මුදාගැනීමටනම් පළමුව මේ අර්බුදයේ ගැඹුර නිවැරදිව තේරුම්ගතයුතු වෙනවා. එහිදී මේ රටේ ජනතාව හීන ලෝකවල අතරමං කලයුතු නැහැ.

ඒ නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශ්වාස කරන අන්දමට මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒමට ඇත්තේ එකම එක මාර්ගයයි. එහි පලමු පියවර වියයුත්තේ රටේ සියලුම දේශපාලන බලවේග එක්සත්ව ඒ සඳහා පෙනී සිටීමයි. ඊට පලමුවෙන්ම ඉදිරිපත් වියයුත්තේ රජයයි. අප මේ කියන්නේ ජාතික ආණ්ඩුවක් කියන පටු අදහසකින් නොවේ. ඒකත් පැහැදිලිව කියන්න ඕන මොකද මේ වගේ අසීමාන්තික විධායක බලයක් සහිත ජනාධිපතිවරයෙක් යටතේ ජාතික ආණ්ඩුවක් කියන්නේ තවත් එක් මායාකාරී රූකඩයක් පමණයි. නමුත් සියලු දේශපාලන පක්ෂවලට එකට එකතුවෙලා ජාතික එකඟත්වයකට ඒමට හැකියාවක් තියෙනවා ඒකට අලුතෙන් ආණ්ඩු හදන්නම ඕනවෙන්නේ නැහැ.

ඒ වගේම රට ඇදවැටී ඇති මෙම අර්බුදය මෙම ක්‍රමය පවත්වාගෙන යනතෙක්ම වර්ධනය වෙනවා මිසක අවසන් වන්නේ නැහැ. ඒ නිසා ජනතාවට වගකිමක් ඇති ජනතාවගේ බලය නියෝජනය වන පාලන ව්‍යුහයක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යුහයක් පිළිබදව අන් කවරදාකටත් වඩා අප අවධානය යොමුකළ යුතුයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් මහජනතාවගේ බලය තම නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව මඟින් මෙහෙයවන ආණ්ඩුක්‍රමයක් කරා අප යොමුවියයුතු වෙනවා. මේ අනතුර ගැන ඇන්.ඇම්.කොල්වින් සිරිමාවෝ, ලලිත් ගාමිණී වැනි කෘතහස්ත දේශපාලන නායකයන් රටට පෙන්වා දුන්නේ 1978 වසරේ සිටමයි. මේ රටේ ජනතාව ද ඒ කෙරෙහි අවධානයක් යොමුකරන බවක් ඒ කාලයේ සිටම පෙනෙන්නට තිබුණා. නමුත් බලලෝභී පටු ආත්මාර්ථකාමී දේශපාලකයන් තමන්ගේ හා තම පවුලේ බලය සඳහා එය ආයුධයක් කරගත්තා. අද අප අත්විදින්නේ එහි භායානක ප්‍රතිඵලයි. ඒ නිසා මේ ක්‍රමය වෙනස් නොකර කවදාවත් රටට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා.

(පසුගිය 04 දා සාදාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ජාවෙහිදී දක්වන ලද අදහස් ඇසුරෙනි)

Archive

Latest news

Related news