Saturday, April 20, 2024

නැගිටිමු, එක්ව සටන් වදිමු: පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීමේ අභියෝග සහ අවස්ථා- රංජිත් හේනායක ආරච්චි

ඡායාරූපය: රට සෙළවූ ගුරු සටනේ කුරුනෑගල රැළිය

පසුගිය සති ගණනාවකට උඩ දී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග කළ හැකි, බලයක් ලෙස බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම මා දකින අන්දමට අද ලංකාව තුළ ඇති දේශපාලන ප්‍රශ්නයට සහ අර්බුදයට ඇති මූලික විසඳුම බවයි.

ලාංකීය දේශපාලනය පත්ව ඇති අර්බුදය දවසින් දවස උග්‍ර වෙමින් පවතින නිසා ඊට පිළිතුරක් ලෙස ජනතාවගේ උවමනාවන් පෙරදැරි කරගත් ඒවා මුල් කරගෙන ගොඩ නැගුණු බලවේගයක් බවට ජනතා ව්‍යාපාරය පත්වීම මෙම අර්බූදය ජයගත හැකි විසදුම ලෙස මම දකිමි.

“අපේ මූලික ප්‍රශ්ණ වලදි අප සියලු දෙනාට එකඟ විය හැකි පොදු ගුණාකාරයක් ඇත. ඒ වාගේම අපි විවිධ කාරණාවන් වල දී විවිධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එහි විවිධත්වයක් ද ඇත. නමුත් සියලුම කාරණා වල මූලික පොදු ගුණාකාරය වන්නේ වත්මන් ලංකා ආණ්ඩුවට ඇති විරෝධය සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයයි.”

එමෙන්ම එසේ දේශපාලන බලවේගයක් ලෙස පුළුල් ජනතා සංවිධානයක් ගොඩනඟා ගැනීමේදී අද මතු වී ඇති අභියෝග සහ අවස්ථාවන් මොනවාද යන්න අප ගැඹුරින් සාකච්ඡා කළ යුතු යැයිද මම විශ්වාස කරමි .

අරගලයේ ස්ත්‍රී භූමිකාව පෙරට ගත් යුතුමය

මට වැටහෙන ආකාරයට අද ලංකා ආණ්ඩුවට සහ ආණ්ඩු කරණයේ ඇති නොයෙකුත් දූෂණයන්ට එරෙහිව පැතිරුණු විරෝධයක් සමාජය තුළ මතුව තිබේ. විවිධ කණ්ඩායම්, විවිධ එකතූන්, වෘත්තිය සමිති හෝ අනෙකුත් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් තමන්ගේ වූ අරගල, විරෝධය පෑම් සිද්ධි වාචක ලෙස තැනින් තැන කලින් කළ කරමින් පවතී.

වරෙක පොහොර ප්‍රශ්නය වෙනුවෙනි. තැනෙක ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙනි. වෙනත් තැනක වතු කම්කරුවන්ගේ පඩි ප්‍රශ්න වෙනුවෙනි. නැත්නම් ජනවාර්ගික කණ්ඩායම් වල අයිතීන් වෙනුවෙනි. තවත් විටක යුද සමයේ සිදු කරන ලද අපරාධයන්ට යුක්තිය ඉල්ලමිනි. තවද නීතිය අව භාවිතා කිරීමට එරෙහිව ද, ස්ත්‍රී අයිතීන් ආදී මෙකී නොකී ආකාරයන්ගෙන් රට තුළ විවිධ උද්ඝෝෂන සහ හඬ මතුව සහ මතුවෙමින් පවතී.

තැනක එම හඬ හූ හඬක් පත් වන අතර, තැනක ඒ හඬ පෙළපාළියක් බවට පත්ව ජනාධිපති, අගමැති හෝ මැති ඇමතිවරුන්ගේ පඹයින් පුච්චා දමන තත්ත්වයට උත්සන්න වී ඇත. තැනක මතුවන හඬ සමව තවත් තැනෙක ඒ ආකාරයෙන්ම මතු වූවා වුවත් මේ හඩවල් අතර, මේ නැගිටීම් අතර, වෘත්තිමය වශයෙන් ලොඩ නැගී ඇති සමගිය ඉක්මවා ගොස් වෘත්ීන් අතර සහ විරෝධතා දක්වන ජන පිරිස් අතර සම්බන්ධීකරණයක්  ගොඩනැගී නොතිබීම අප මුහුණ දෙන ප්‍රධානම ගැටළුව බව මගේ වැටහීමයි.

බලය ලබා ගෙන ප්‍රශ්ණ විසඳන පක්ෂ දේශපාලන විසඳුම

මීට අමතරව විවිධ පක්ෂ අද පවතින අර්බුදයට විසඳුම ලෙස තමනට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව පෙනෙන්නට තිබේ. ඔවුන් අපට කියන්නේ තමන් බලයට පත් වූ විට මේ ප්‍රශ්ණ සියල්ල විසඳන බවයි. ඒ කිසිවකු ස්වාධීන සිවිල්, පුරවැසි, ජනතා ව්‍යාපාරයක් ගැන කතා නොකරයි.

අප හොඳින් දන්නා අයුරින් අද පවතින අර්බුදය එක දේශපාලන පක්ෂයක හෝ එක දේශපාලන කණ්ඩායමක වැරැද්දෙන් සිදුවූ දෙයක් නොව දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාවලියේ  දුර නොදැක්ම, අවස්ථාවාදීත්වය, වර්ගවාදය, බහුතරවාදය, නොහැකියාව සහ දූෂණය  යනාදී සාධක ගණනාවක් නිසා මතුව ඇති අර්බුදයකි.

මෙරට දේශපාලන පක්ෂ හෝ දේශපාලඥයන් රටෙහි සහ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට තම බලයේ රැදී සිටීමත් එමගින් පෞද්ගලික ලාභ උපයා ගැනීම සිය අරමුණ බවට පත් කරගෙන සිටීම මෙම අර්බුදයේ මුල බව අපට පැහැදිලිය.

දශක ගණනාවක් සිර භාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍රයක අත්‍යවශය කොටසක් විය යුතුය.

මෙයට හොඳම නිදසුනක් නම් 1959 සිට අද දක්වාම මෙරට පාලක පංතිය  විසින් විකුණාගෙන කන බහුතර වර්ගවාදී දේශපාලනය සහ ගැති-ඥාති සංග්‍රහ දේශපාලනයයි.

රටෙහි ජන පදනමක් ඇති දේශපාලන පක්ෂ සියල්ලම ‍ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නැති  දේශපාලන පක්ෂයන්ය. ඒවා පාරදෘශ්‍ය ද නැත. ඒවා තුල තිබෙන අක්‍රමිකතා සහ නිර්-ප්‍රජාන්ත්‍රවාදී වැඩ ශෛලිය නිසා ඒවා තුළ කූඨ ජාවාරම් මුල්තැන ගෙන තිබේ.

මෙම පක්ෂ වල  නායකත්වය ඇතුළු බොහෝ දෛනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයක් මිස ක්‍රියාදාමයක් නොවේ. ඔවුන් සියල්ලන්ගේම අරමුණ වී ඇත්තේ දේශපාලන බලය තම අතට ගැනීම තුළින් රටෙහි සම්පත් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමයි.

මහජන අවබෝධය දේශපාලන බලවේගයක් බවට ‌ෙවර්ධනය කිරීම

මා දන්නා තරමින් ජනයාගෙන් විශාල ප්‍රමාණයක් මෙම කාරණය තේරුම් ගෙන සිටිති. එනමුත් එම අවබෝධය දේශපාලන බලවේගයක් බවට පත්ව නැත.

එම හිඩැස පිරවීමට  නම් සිදුවිය යුත්තේ නැවත සිතා බලමින් ඉදිරියට යන දේශපාලන බලවේගයක් ලෙස සිවිල් ව්‍යාපාරය නැත්නම් පුරවැසි පිරිස් සංවිධානය වීමයි. මෙහිදී නැවතත් මතුවන ප්‍රශ්නය වන්නේ දේශපාලන බලය පෙරළීම හෝ අල්ලා ගැනීම නො වන දේශපාලනයක් සඳහා ජනතාව ඒකරාශි වෙන්නේ කෙසේද එසේ විය හැකිද යනාදියයි.

සිවිල් විරෝධතා සම්බන්ධිකරණයක් නැතිව ගිය හොත්

ඇත්තෙන්ම තැන තැන මතු වන නැගිටීම්, හූ හඬ, කඩින් කඩ ඇතිවන පෙළපාලි මේ සියල්ලකින්ම කියා සිටින්නේ ජනයාගේ විරෝධය ප්‍රකාශ කිරීමයි. මෙසේ නැගිටින ජනතාව එක ජාලයකට සම්බන්ධ වී මූලික උවමනාවන් පෙරදැරි කරගත් සංවිධානයක් බවට පත්නොවී අයාලේ විරෝධතා දැක්වීමක් හෝ නැගිටීමක් හෝ ඇති වුවහොත් විය හැක්කේ විශාල මර්දනයක් මගින් ඒවා අඩපණ කර දැමීමයි. එසේත් නැතිනම් එම විරෝධයෙන් අයථා ප්‍රයෝජන ගන්නා වෙනත් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමක් තමන් බලය තහවුරු කර ගැනීමයි.

එසේ තහවුරු කර ගන්නා බලය ඊළඟට මේ තිබුණු ආකාරයෙන්ම, එසේ නැත්නම් ඊටත් වඩා නරක ආකාරයකින් බලය අවභාවිත කිරීම, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ජනතාව මත මර්දනය පැටවීම යනාදිිය කරා වර්ධනය වනු ඇත. ලෝකයේ එයට ඕනෑ තරම් උදාහරණ ඇත.

ඊ්ඣිප්තුවේ  ඒ් සා බලවත් වසන්ත නැගීටීම අවසාන් වූයේ හමුදා ආණ්ඩුවකට පාර කැපීමෙනි.

ඊජිප්තුවේ වසන්ත ජනතා නැගිටීම ප්‍රයෝජන ගත් කොටස වූයේ  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් සහ දැක්මක් තිබූ කණ්ඩායම් නොව ඊටත් වඩා පසුගාමි “මුස්ලිම් සහෝදරවය” වැනි කණ්ඩායම්ය. ඒ තත්වය ප්‍රයෝජනයට ගනිමින් හමුදා නායක ජෙනරල් සිසී ගේ නායකත්වයෙන් හමුදාව නැවතත් බලයට පත්වීමට සමත් විය.

ඒ නිසා ලොව විවිධ තැන්වලින් ලබන අත්දැකීම් වලින් ප්‍රයෝජන ගනිමින් අප කළ යුතුව ඇත්තේ රට තුළ මතුව ඇති විවිධ ප්‍රශ්න වල පොදු ගුණාකාරය වටහා ගෙන මෙම පොදු ගුණාකාරය මත එක පෙළකට සංවිධානය කර ප්‍රතිපත්තිමය ලෙස  ජනතාවගේ උවමනාවන් සහ අයිතීන් උදෙසා පෙළ ගැසී සංවිධානගත වීමයි.

මෙවැනි විශාල බහුජන සංවිධානයක් ගොඩ නැගිමට අපට හැකි නම් දේශපාලන පක්ෂයන්ට  එනිසාම තමා සිටින තත්ත්වයෙන් වෙනස් වී ඊට එහා ගිය වැඩපිළිවෙළකට සහ සංවිධාන රටාවක ට ඒමට අනිවාර්ය බල කිරීමක් බවට පත්වීමට බෙහෝ දුරටම ඉඩ තිබේ. එසේම ඡන්දයෙන් පසු බලයට එන රජයක් තමන් දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියා නොකරන්නේ නම් එයට බල කිරීමේ බලවේගයක් ලෙස  එවැනි සංවිධානයවූ පොදු ජන බලවේගය දිගටම පවතිනවාද ඇත. එය අත්‍යාවශ්‍ය කාරණයකි.

එක් ජාලයකට ගොනු කරගත හැකිද?

නමුත් මෙහිදී නැගෙන ප්‍රශ්නය වන්නේ දැනට තැන තැන උද්ඝෝෂණ කරන, හූ කියන, විරෝධය ප්‍රකාශ කරන,  යුක්තිය ඉල්ලා සිටින  විවිධ ජනතා විරෝධයන් එක ජාලයකට ගොනු කර ගන්නේ, නැත්නම් පොදුජන බලවේගයක් බවට පත් කර ගන්නේ කෙසේද යන්නයි.

මෙහිදී මෙම විවිධ සටන් වලට හේතු වී ඇති නීතිය මත පාලනය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, ජනවාර්ගික අයිතීන්, ස්ත්‍රී අයිතීන්, විවිධ වෘත්තිකයන් ගේ වෘත්තීය අයිතීන්, පාරිසරික අයිතීන් ආදී මෙකී නොකී විවිධ ජන උවමනාවන් වෙනුවෙන් එක බලවේගයකට ඒමට අවශ්‍ය මූලික කාරණාවන් එකට ගොනු කර ගැනීමයි.

එසේ නැත්නම් ආණ්ඩුවෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව එක්ව කතා කිරීම තුලින් මෙම සෑම අරගලයකට ම හේතු වී ඇති, මේ සියලු ප්‍රශ්න වලට පොදු වන කාරණය එකක් වන පොදු සාධකය තේරුම් කිරීම සහ තේරුම් ගැනීම තුළින් ඇති වන සංවිධානයක් බවට මෙම බලවේග පත්කර ගැනීමයි.

ඇත්ත වශයෙන්ම මෙම පොදු බලවේගයක් ගොඩ නැගීමේ දී අපට වැදගත් වෙන්නේ නායකයින් වෙනස් කිරීම එසේ නැත්නම් දේශපාලන නායකයින් වෙනස් කිරීමක් අරමුණු කරනවා වෙනුවට ජනතාව වෙනස් කරගැනීමේ වැඩපිළිවෙළක් දෙසට ගමන් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගත් සහ තේරුම් ගත් ජනතාවක් ඉදිරියේ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ සහ ඒවායෙහි නායකයින්ට සැඟවිය නොහැක. ඔවුන් තම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට ප්‍රති සංවිධානය කර නොගන්නේ නම් ඔවුනට ජනතාවගේ ඡන්දය නොලැබෙන බවට අප සහතික කළ යුතුය. ඒ නිසාම ඔවුනට තම දේශපාලන ප්‍රතිපත්ති සහ පක්ෂ වැඩපිළිවෙලවල් වෙනස් කර ගැනීමට සිදුවනු ඇත

සංවිධාන අතර එකතුවක් ඇතිවී ජාලගත වීම පිළිබඳව ඇති ප්‍රශ්නයේදී අපට ඇති ප්‍රධාන බාධකය මා සිතන පරිදි අපට පෙනෙන අයුරින් ලංකා සමාජය තුළ පුරුදු වී ඇති තනි තනිව වැඩ කිරීමට ඇති ඇබ්බැහි යයි.

අපේ මූලික ප්‍රශ්ණ වලදි අප සියලු දෙනාට එකඟ විය හැකි පොදු ගුණාකාරයක් ඇත. ඒ වාගේම අපි විවිධ කාරණාවන් වල දී විවිධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එහි විවිධත්වයක් ද ඇත. නමුත් සියලුම කාරණා වල මූලික පොදු ගුණාකාරය වන්නේ වත්මන් ලංකා ආණ්ඩුවට ඇති විරෝධය සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයයි. අප කළ යුතු වන්නේ අප අතර ඇති සුළු සුළු වෙනස්කම් නිසා ඇතිව තිබෙන ගැටලු අමතක කර අපේ මූලික කාරණාවල දී අප ප්‍රශ්න තුළ ඇති ප්‍රධාන සම බව හඳුනා ගෙන ඒ සඳහා එකතු වීමයි.

පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවක් කරා

එහිදී මෙම කාරණයට මුලින්ම යම්කිසි කණ්ඩායමක් නායකත්වය දිය යුතු බව පැහැදිලිය. ඒ සඳහා යම්කිසි කොටසක් මුලින්ම විවිධ කණ්ඩායම් අතරින් කොටසක් තෝරා ගෙන එක තැනකට ආරාධනා කළ හැකිය. ඒ තෝරා එකතු වන කණ්ඩායම අතරින් තෝරා ගන්නා යම්කිසි කමිටුවක් හෝ එවැනි කණ්ඩායමක් එතනින් එහාට වැඩ කිරීමේ වැඩපිළිවෙළ තීරණය කල යුතු බව මගේ වැටහීමයි. මෙම කණ්ඩායමට අනිවාර්යෙන්ම පිරිමින්, ස්ත්‍රීන්, විවිධ ජන කණ්ඩායම් වල නියෝජනය වීමක් සහ තරුණ කොටස් අයත් විය යුතු බව ආරම්භයේ සිට ම තේරුම් ගත ගැනීම වැදගත්ය.

සමහර විට මෙවැනි ආරම්භයක් “ ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව”ක ආකාරය ගත හැකිය. එවැනි මූලිකත්වයක් ආරම්භයේ සිටම ස්වේච්ඡකත්වය  සහ ස්ව-ශක්තිය මත රැදි සිටීමද වැදගත්ය. කෙටියෙන් එය තවත් රාජ්‍ය නොවන ව්‍යාපෘතියක් නොවිය යුතු බව මගේ වැටහීමයි.

අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි. ජනතාව වෙනස් කිරීමෙනි. අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජනතාවක්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් සහ සංවිදාන රටාවක් ඇතිකර ගන්නා තුරු අප රටේ දේශපාලනයේ වෙනසක් ඇති වේ යැයි මම නොසිතමි. අපට ඇති එකම විසඳුම අපි අපම සංවිධානය වීමයි.

මා මෙසේ කියන විට ඔබට මා සිහින දකිති සිතිය හැක. මා මෙන් තවත් දස දහස් ගණනක් ඒ සිහිනයේ සිටින බව අමතක නොකරන්න. මගේ මේ ලිපිය අවසන් කිරීමට මම ජෝන් ලෙනන් නැමැති ඒ විශිෂ්ට කලා කරුවාගේ ගීතයෙහි කොටසක් මෙහි උපුටා දක්වමි.

සිතන්න, හැම ජනයාම
එකම ලෝකයක් බෙදා ගෙනැතියි කියා,

මා සිහින දකින්නෙකැයි ඔබ කියන්න පුලුවන්,
ඒත් ඒ මං විතරක් නම් නොවෙයි!
ඔබත් දවසක අප සමග එක්වේ යැයි මගේ පැතුමයි
ඉතිං  එවිට ලෝකය එකම එක ලෝකයකි!

Imagine all the people
Sharing all the world, you

You may say I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will live as one

 

 

 

Archive

Latest news

Related news