Saturday, April 20, 2024

මාර්ගය නැතිව විසදුම දෙන ජවිපෙ (ජාජබ) පිළිවෙතේ නැවුම් බව සහ පිළුනු බව – වෛද්‍ය නිලංග සමරසිංහ

1.ජේවිපෙ- ජාජබ ගෙනෙන තර්කයේ යම් නැවුම් බවක් තියෙනවා.
එනම්

මෙච්චර කල් ඔවුන් වෙන අය බලයට ගෙන ඒමට සහ බලය පවත්වා ගෙන යාමට ඝෘජුව සහ අනියමින් උදව් කර තිබේනවා . නැතිනම් බලපා තිබෙනවා.
ඒ නිසා අපෙන් උදව් ගත්ත නොගත්ත සියල්ලෝම මේ සැරේ අපිට බලය ගන්න උදව් කරන්න ඕනේ.
කොහොමද?
අපේ නායකත්වයෙන් යුතු ජජබෙට එකතු වෙලා.
එකතුවෙන්න බැරි හේතුවක් තියෙනවානම් චන්දය හරි දිලා.
අපි උදව් කෙරුවට බලය ගත්ත ඔය දෙගොල්ලම Fail.
ජනතාවත් ඒක දැන් කියනවා.
ඒක නිසා කුහක නොවී මේ සැරේ අපිට උදව්කරන්න
(අපි එකතුවෙලා පොරබදලා වටු කුරුල්ලන් සේ දැළ උස්සන් යමු – අනුර කුමාර 20.12.2021)

කැප්ටන් / ජනාධිපති – අනුර කුමාර

සජිත් ,චම්පික , රාජිත , රනිල්ලාට ,කැබිනට් ඇමති තනතුරු සමග ජේවීපී ප්‍රමුඛ රජයක රට ගොඩගැනීමේ ව්‍යාපෘතියට සද්භාවයෙන් සම්බන්ධ වෙන්න පුලුවන්.
හැබැයි හොරකම් බැහැ.
කලින් හොරා කාපුවා රජයට ගන්නවා.
කැබිනට් එකේ හිටියත් දඩුවම්.
මේ ටික තමයි අමුවෙන්ම ජවිපෙ කියන්නේ.
( සමහර පහල සාමාජිකයන්ට තමන්ගේම තනි ආන්ඩුවක් තිබුනා නම් හොදයිද ජවිපෙ ආන්ඩුවට සම්බන්ධ කරගන්න ඇතැම් අය පිළිබඳ නොසතුටක් තිබුනත් ජවිපේ ඉහල මන්ඩල වල අදහස ඕකයි. මොකද දේශපාලන යතාර්ථය ඒක නිසා)
ඉතින් මේ යෝජනාවට අනික් පක්ෂ වලට අකමැති වෙන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ.
මොකද ආසන්නම උදාහරණය වෙන 2015 මෛත්‍රී ජනාධිපති වෙන්නත් අනික් අය 2019 වෙනකම් මැති ඇමතිවරු වෙන්නත් ජවිපෙ උදව්කලා .
බැරිවෙලා හරි 2015 ජවිපෙනුත් පොල් ලෙල්ලක් හරි දාලා ඡන්ද ලක්ෂ දෙක තුනක් කැඩුනා නම් මෛත්‍රිපාලයි සැට් එකමයි අද ගෙදර. ගෙදරටත් වැඩිය රනිල් හැර ඉතිරි සෙට් එක හිරගෙදර.
ඉතින් අනුර කුමාරව දැන්ම පොදු අපේක්ෂකයා කරලා විපක්ෂයේ කට්ටිය රටට ඔච්චරම ආදරෙයි නම් ජවිපෙ මුලිකත්වයෙන් රට ගොඩනඟන වැඩපිළිවෙළක් හැදුවානම් මොකද කියලා තමයි මහජනතාව අහන්නේ .

බලන්න මේ ඓතිහාසික නිදසුන් ටික 

1. ඉතිහාසය

1.1. තම සාමාජිකයන් 60000 ක් පමණ ඝාතනය කලායායි පැවසෙන ආර්. ප්‍රේමදාසටත් චන්ද 22000 ක පමණ සුළු පරතරයකින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ගේ ඡන්ද වර්ජනය බලපෑවා.
චන්ද වර්ජනය නොතිබිණි නම් එම ජනාධිපතිවරණය දිනීමට සිරිමාවන්ට තිබූ සම්භාවිතාව ඉහල බව ඔබ දන්නවා.
1.2 චන්ද්‍රිකා සමග පරිවාස ආණ්ඩුව
1.3. අනුර කුමාර කෘෂි ඇමති වෙච්ච ආණ්ඩුව
1.5 2005 මහින්ද ජනාධිපති වු ජනාධිපතිවරණය.
JVP ඝෘජුව උදව් නොකරන්න ඔහු පරාදය.
1.6 තොන්ඩමන්ට සහ අෂ්රොෆ්ට පසු ලංකාවේ රජුන් තනන්නා තමන්ය යන අධිතක්සේරුවේ සිට S.F ව 2010 දි ජනාධිපතිවරණයට රැගෙන විත් පරාජය ලැබීය
1.7. එමගින් 2015 දි පොදු අපේෂකවී ජනපති වීමට SF ට තිබූ අවස්ථාව ඔහුට මඟහැරින.
1.8. එසේ 2015 දි SF ජනපති වන්නේ jvp යේ දැවැන්ත සහයෝගයෙන් නම් SF නායකත්වය දරන සංධාන ආණ්ඩුව jvp ප්‍රමුඛ ආණ්ඩුවක් වීමට ඉඩ තිබිණි.
1.9. 2019 දි අනික් ප්‍රධාන පක්ෂ දෙක මෙන් දැවැන්ත මාධ්‍ය සන්දර්ශනයන්ගෙන් ජනතා බලයක් ගොඩ නැගිය හැකියයි සිතා ගෝල්ෆේස් පිටියෙන් අරඹා දැවැන්ත මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයක් ලොව පුරා ක්‍රියාත්මක කරලීය.
දැවැන්ත පරාජයක් ලැබීය.
මේ වන විට ජ.වි.පේ.හි පිලිගත් පොදු මතය වුයේ තමන්ට ජයග්‍රහණය කිරීමට බැරි ප්‍රමුබතම හේතුව තමන් ලැබෙන මාධ්‍ය ප්‍රචාරයේ අඩුව බවයි.
මේ වන විට සිරස මහරාජා නම් දැවැන්ත ධනෙශ්වර මාධ්‍ය ජාලයේ දැවැන්ත සහයෝගය ලබන පක්ෂය jvp යයි.
පොහොට්ටුවාදියැයි සැලකෙන දෙරණ සහ හිරු නාලිකා වලට වුවද ජවිපාවුන් සහභාගි නොවන වැඩසටහන් කල නොහැක.
හේතුව, එය ඔවුන්ගේ රේටින්ග්ස් පහල බස්සන බැවිනි.
කොටින්ම ජවිපාවුන් නැති දේශපාලන වැඩසටහන්, මනාලිය නැති මඟුල් ගෙයක් වැනිය.
“රට බේරා ගැනීමට අවසන් අවස්ථාව ” පැමිණෙනවා සේ jvp හි අවසන් අවස්ථාවද දැන් පැමිණ තිබේ.
ඡන්දයක් දිනීම සදහා අවශ්‍ය සාධක බොහොමයක් ඔවුන්ට සම්පූර්ණ වී තිබේ.

2. රට බංකොළොත්

2.1 රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වීමට ආසන්නය
2.2. තමන්ගේ හිතේ ඉන්න, තමන්ගේ අම්මා අප්පාඡන්දය දුන් පක්ෂයට ඊලග සැරේ ඡන්දය දීමෙන් ඔවුන්ට පෞද්ගලික පලක් නැති බව ජනතාව කල්පනා කරයි.
2.3 කඩකාරයන් ව්‍යාපාරිකයන් jvp යට ඊලඟ සැරේ ඡන්දය දෙනවා කියන්නේ මේ ආණ්ඩුව යටතේ තවදුරටත් ව්‍යාපාර කරගෙන යා නොහැකි නිසාය.
2.4 බස් කාරයන් ගොවියන් කම්කරුවන්ට තමන්ගේ එදා වේල හම්බ කර ගත නොහැකි නිසාය.
2.5 මේ ඔක්කොටම ක්ෂණික විසදුම් jvp ය තමන් සතුව ඇතැයි පවසන නිසාය.
2.6 ” ලස්සන ජීවිතයක් ” හැමෝටම ඔවුන් පොරොන්දු වන නිසාය.
2.7 සජිත් ඇතුළු සජබ සෙට් එකටත් චම්පක ඇතුලු 43 සේනාංකයටත් වඩා රහට ඔවුන් ඒක කියන නිසාය.
2.8 ඒකට හොඳ ප්‍රචාරයක් සිරස මහරාජා සහ සමාජ මාධ්‍ය වලින් කරන නිසාය.
2.9 අනික් අය වසර 73 ක්ම දුන් පොරොන්දු ඉටු නොකර පචවී සිටීමත් ඊට සමගාමීව හැම මැතිවරණයකදීම පොරොන්දු වුනත් ඉෂ්ට කිරීමට බලයක් නොලැබුන නිසා තවමත් පාරිශුද්ධත්වය රැකන් ඉන්නේ jvp ය පමනක් නිසාය.
ඉතින් මේ සැරේ පොරොන්දු දීමේ සදාචාරාත්මක අයිතිය ඇත්තේ ඔවුන්ට පමණක් නිසාය.
2.10 ඉතින් jvp ය ජනයාගෙන් ඉල්ලා සිටින්නේ එක සැරයක් හරි අපිවත් ටෙස්ට් කරලා බලපල්ලා කියලාය.

විසදුම පොතෙහි පින්තුරයකි

3. ටෙස්ට් එක

3.1 මෙච්චර කල් ජනයාට ජවිපෙය එහෙම ටෙස්ට් කරලා බලන්නවත් සිතක් පහල වුයේ නැත.
3.2 ඒ, ප්‍රධාන පක්ෂ දෙක ලෝකේ පුරා හිඟමනේ ගොස් ණයට හරි ජනයාට කන්න දුන් බැවිනි . දැන් ජනයාට තේරී ඇත්තේ තමන් බලයට පත් කරගත් ආණ්ඩුවට ණයටවත් තමන්ට කන්න දිය නොහැකි බැවිනි.
3.3 jvp යද මෙය දනියි.
3.3.1 ජනයා තමන්ට ඡන්දය දෙනවා යැයි කයිවාරු ගහන්නේ ආකල්ප නැතහොත් Attitudes වෙනස්වී නොවන බව ඔවුන් දනී.
3.3.2.එහෙම ජනයාගේ ඇටිටියුඩ්ස් වෙනස් කරන්න ඔවුන් කරපු දෙයක්ද නැත.
ඒ එය නිරර්ථක නිසාය.
3.4 එබැවින් ඔවුන්ද “ලස්සන ජීවිතයක්”
සහ “අර්බුදයට ක්ෂණික විසදුම්” පොරෙන්දු වෙයි.
3.5 සිංහල විතරක් දන්නා අයට සිංහලෙන් කතා කලයුතුය.
3.6 දෙමළ දන්නා අයට දෙමළෙන් කතා කලයුතුය.
3.7 පොරොන්දු පමණක් විශ්වාස කරන ජාතියකට පොරොන්දු දියයුතුය.
3.8 පස්සෙ “නාන්න” හරි දැන් දිය යුතුය.
3.9 “ලස්සන ජීවිතයක් ” කියන්නේ ඒකටය .
3.10 දොස්තරටයි ලෝයර්ටයි ගුරාටයි ව්‍යාපාරිකයාටයි හිඟන්නාටයි හැමෝටම එකම ලස්සන ජීවිතයක් දිය නොහැකි බව ඔවුන් දනිති.
අපිද දනිමු.
3.11. දැනට ජනගහනයෙන් ලක්ෂ 50 ක් පමණ ජනයා “ලස්සන” ජීවිත ගෙවති .
එබැයි, ඒ අනෙකාගේ පසුම්බිය සුරා කාලාය.
ජවිපෙ පොරොන්දු වෙන දුෂණයෙන් හොර කමින් තෝර උන්ට දඩුවම් දෙන රටක් හදන්න පටන් ගත්ත ගමන්ම මේ ලක්ෂ 50 තරහා වෙයි.
3.11.1 ලෝයර්ලාට හැම සේවාදායකයාටම බිලක් දෙන්න කිව්ව ගමන් ලෝයර්ලා 33000 ක් තරහා වෙයි.
මුලින්ම තරහා වෙන්නේ හර්ෂණ උපුල් සහ නිරූපාය.
3.11.2. පැය තිහක් ED කරලා පැය 100 ක් claim කරන එකයි වාහන permit එකයි නතර කල විට දොස්තරලා 30000 ක් තරහා වෙයි.
මුලින්ම තරහා වෙන්නේ ජයන්ත මල්ලියි ජයසූරිය මල්ලීය.
3.11.3. සිල්ලර කඩවල ඇති තාරාදිය සීල් කරලා Electronic බිලක් කඩන්න කිව්වොත් ලක්ෂ පහක් කඩකාරයෝ තරහා වෙති.
3.11.4. නිදහස් අධ්‍යාපනය සුරකින්න ටියුෂන් සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනත් තව ටික දුරට ගිහින් ජාත්‍යන්තර පාසල් වසා දැමීමට තීරණය කලොත් තව ලක්ෂ 7-8 ක් තරහා වෙයි.
3.11.5.පැය 500 ක් මාසෙට OT කරන කෝච්චි රියදුරුන් පැට්‍රල් අදින රජයේ වාහන එලවන රියදුරුන් පගා ගහන පොලිස් නිලධාරීන් විවිධ වරප්‍රසාද සංතෝසං භුක්ති විදිනAGA ලා GA ලා අමාත්‍යාංශ ලේඛම් සිට පියන්ලා දක්වාත් පෞද්ගලික අංශයේ වෝෆ් ක්ලාක් ගේ සිට බැංකු කලමණාකරුවන් දක්වා එකී නොකී පිරිස් ඊයේ පෙරේදා මේ ආර්ථික අර්බුදය එනකම් “ලස්සන ජීවිත ” ගෙව්වේ වංචනිකවය .
3.11.5. අනිත් ලක්ෂ 170 “ලස්සන ජීවිත ” නොගෙව්වාට එයින් ඔවුන් හොරු හෝ වංචනිකයන් නොවන බව නොකියවේ.
3.11.6. අපි ඔක්කොම හොරුය . අපේ ශක්ති ප්‍රමානයෙන් අපි හොරකම් කරමු. අපිට වඩා හොරා කන එකාට බනිමු.
3.12 හැමෝම එක හා සමානව ලස්සනට ජීවත් වන උතෝපියානු කොමියුනිස්ට් රාජ්‍යය දිව්‍ය ලෝකයෙත් නැත.
3.12.1.විෂ්නුට සිවට ඇති සැප ගනේෂ්ට සමන්ට නැත.
3.12.2 ස්ත්‍රී පුරුෂ භේදයද ඇත.
ගෑණු දෙතුන් දෙනා ඉන්න දෙවිවරු හිටියට පිරිමි දෙතුන් දෙනා ඉන්න දේවතාවියෝ නැත.
3.13 නමුත් jvp ය සැමට ලස්සන ජීවිතයක් පොරොන්දු වෙයි.
3.14. කතා පොත් වල මාලුවා වෙනුවට බිලිපිත්ත දෙන්නෙමු කියා තිබුනාට පොරොන්දු වන්නේ වෙනත් පක්ෂ සේම මාලුවා දීමටමය.
ලස්සන ජීවියක් නම් පොරොන්දුව මාලුවාත් නොව ඊට භාවිතා කරන ඇමය .
ඇම නැතුව මාලු බාන්න බැරිබව jvp ද දනී.

4.දෙසැම්බර් 20 දා jvp “විසඳුම” නමින් පැය කීපයක මහා සම්මන්ත්‍රණයක් තරු හෝටලයක පැවැත්වීය.

එය ඉතා හොදය.
4.1 එය ඉතා හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයකි.
2000 වසරේ සිට ඔවුන් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශන වලම සුභවාදි දිගුවකි.
4.2 2000 වසරේ සිට ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපත්ති ප්‍රකාශන නැවත කියවන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි .
4.3 මහින්ද චින්තනය, මහින්ද චින්තනය ඉදිරි දැක්ම, මෛත්‍රී පාලනයක්, UNP යේ ප්‍රතිපත්ති ප්‍රකාශන, ගෝඨාගේ සෞභාග්‍යයෙ ඉදිරි දැක්ම සහ අනුර කුමාරගේ 2019 විජ්‍යග්‍රහණයේ අපේක්ෂකයා ප්‍රතිපත්ති ප්‍රකාශන හා “විසදුම” ප්‍රකාශනයේ මහ ලොකු වෙනස් කම් නැත.
4.4 ඉදිරි මාස කීපය තුල අනෙකුත් පක්ෂද “විසඳුම” ප්‍රකාශනය ආභාෂයට ගෙන තව වගන්ති සහ අලංකාරිකයන් එකතු කොට “ක්ෂණික විසඳුම ” “මහා විසඳුම” “තුන් කල් දකින විසදුම ” “හොදම විසඳුම” වගේ ප්‍රකාශන එලි දැක්වෙනු ඇත.
4.5 මිනිසුන් jvp විසඳුම හෝ අනික් පක්ෂ ඉදිරිපත් කරන විසඳුම් කියවා බලා, සංසන්දනය කර, ඇත්තටම ඒවා විසදුම්ද, කරන්න පුලුවන්ද, පුලුවන් නම් ඒ කොහොමද කියා ප්‍රශ්න කරන්නේ නැත.
4.6 ලාංකිය පුරවැසියා සංස්කෘතිකවම ප්‍රශ්න කරන්නෙක් නොවෙයි.
අපේ අධ්‍යාපනයෙන්ද ප්‍රශ්න කරන්නන් නොසාදයි .
4.7 ප්‍රශ්න කරන්නන් නායකයන්ට මෙන්ම පක්ෂ වලටද කරදරකාරයන්ය .
4.8 ජනයාද මෙය දනී.
4.9 jvp පමනක් නොව අනික් පක්ෂද ගෙදර දොරට තට්ටු කල විට “මේ පාර අපි ඡන්දෙ දෙන්නේ ඔයාලටයි” කියා ඔවුන් කියන්නේ එබැවිනි.
4.10 ඔයාලගෙ අදහස් අපට කියන්න කියා jvp නායකයන් කිව්වාට ජනයා තම අදහස් කියන්නට නොයයි.
මන්ද සියල්ලෝ අසන්නට කැමති ගුණ වර්ණනා පමණය.
වෙනත් අදහසක් කිව්වොත් තරහා වෙයි. ලේබලයක්ද අලවයි .
4.11 කැමැති අභ්‍යන්තර ස්වයං විචේචනයටය . අභ්‍යන්තර සාකච්ඡා වලටය.
4.12 එවිට සැම විටම පිලිතුර වනුයේ තමන් හරිය, අනිත් අය (ජනයා ) වැරදිය යන්නය.

5.විසදුම

5.1. විසදුම” නමින් දෙසැම්බර් 20 දා ඉදිරිපත් කල ප්‍රකාශනයේ දැන් තිබෙන අර්බුදයට විසදුම් නැති බව එය කියවන ඕන කෙනෙකුට වැටහෙයි.
අනුර කුමාරත් එය දනියී.
මම එය නැවත කියවන ලෙස අනුර කුමාරගෙන් ඉල්ලමි.
ඉන්පසු ඒ සෑම “විසදුමකටම” එය කරන්නේ කෙසේද? යන අත්‍යවශ්‍ය සහ නමුත් මඟහැරුණු කොටස එකතු කරන ලෙස ඉල්ලමි.
5.2 උදාහරණයක් ලෙස ඉන්න ආණ්ඩුව ඉල්ලා අස්වි ආණ්ඩු බලය තමන්ට ලැබුනොත් ලබන වසරේ ගෙවීමට ඇති ඩොලර් බිලියන 7 ක් පමණ වනවා යැයි කියන ණය ගෙවීමට ක්‍රමයක් යෝජනා කරන්න.
මන්ද, Methodolgy යන්න Solution එකක ප්‍රධානතම කොටස වෙන බැවිනි.
5.3 බෞද්ධයන් මෙය අන්‍යන්ට වඩා හොදින් දැන සිටිය යුතු වුවත් නොදැන ඉන්නේ ඇයිද යන්න මා විමතියට පත්කරයි.
5.3.1. දුක, දුකට හේතුව, නිවන, නිවනට මාර්ගය
හෙවත් චතුරාර්ය සත්‍ය එහි පදනමයි.
5.3.2. බුදු දහම අන් ධර්මයන්ගෙන් වෙනස් වන්නේ නිවනට යන මාර්ගය නොහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොහොත් Methodology එක අන් ධර්මයන්ගෙන් වෙනස් වන නිසයි.
5.4. ජවිපෙ ප්‍රකාශ කරන විසදුම හෙවත් නිවනත් තමන් බලයට පත්වුනොත් සජබෙ හෝ පැරටුගාමින් දෙන විසදුමුත් අතර සැලකිය යුතු වෙනසක් නැත. (ඔවුන්ගෙ ප්‍රකාශනද කියවා බලන්න )
5.5 සියල්ලන්ම හිරවී ඇති Bottle Neck එක වනුයේ මාර්ගයයි, Methodology යයි.
5.6 උදාහරණයක් ලෙස පෙරටුගාමින් රාජ්‍ය මුලික කරගත් ආර්ථික ක්‍රියාවලියක් සහ සාමුහික ව්‍යවසායන් හරහා ආර්ථික අර්බුදයට විසදුමක් දෙන බව කියයි.
නමුත් ඒ කොහොමද කියන කොටස එම විසදුමේද අස්ථානගතය.

6.ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම අර්බුදය ආර්ථික අර්බුදයවත් සාමාජීය අර්බුදයවත් ආකල්පවල අර්බුදයවත් නොවේය.

6.1. එය බුද්ධිමය අර්බුදයකි.
විසදුම් යෝජනා ඇත. නමුත් යෝජනාවේ ක්‍රමය හෙවත් මාර්ගය හෙවත් methodology ය නැත.
6.2. සිදුහත් තවුසා මොලයට වද දිදී සෙව්වේ නිවන නොවෙයි, නිවනට යන මාර්ගයයි.
6.3 මාර්ගයේ ගිය විට නිවන ඉබේ අත්වෙයි.
6.4 ලංකාවටත් වඩා අන්ත ලෙස පිරිහී තිබුණු රුවන්ඩාව, ඉතියෝපියාව, බංගලිදේශය බදු රටවල දියුණුවේ මාර්ගයට පිවිස සිටින්නේ එලෙස ඔවුන් මාර්ගය සොයාගෙන ඇති බැවින්ය.
6.5 ජර්මනිය, කොරියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ඔවුන්ගේ මාර්ග සොයා ගත්තෝය.

7.එතකොට අපේ මාර්ගය?

7.1 කොටසක් එය සමාජවාදී විය යුතුයයි සිතයි
සමහරු ධනවාදී විය යුතුයයි සිතත්
සමහරු අච්චාරුවක් වියයුතුයයි සිතත්
සමහරු මැද මාවතක් විය යුතුයැයි සිතත්
සමහරු බුද්ධාගමේ පොත් වල එබන්දක් සොයත්.
සමහරු හේගල්, ග්‍රාම්ස්චි, ශිෂැක්ලා වත් එහෙම මාර්ගයක් කියා ඇත්දැයි සොයා බලත්.
7.2 සිදුහත්ගේ කාලයෙත් පකුද කච්චනා, මක්කලි ඝෝසාල, වර්දමාන ආදීහු පක්ෂ, සංවිධාන හදන් නිවනට මාර්ගය සෙවුහ.
7.3 ඔවුන් සොයාගත් Methodologies හරියයි විශ්වාස කලහ. අනිත් අයගේ Methodologies වැරැදියයි තර්ක කලහ.

8.දිනු හෝ පැරදුණු කෙනෙක් නැත.

8.1 සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිවන් දකිත්වායි කීවාට අපි තවමත් ඉපදෙයි.
8.2 නිවන් දැකිය හැක්කේ තනි තනිවම යයි බුදු දහමේ සදහන්ව ඇති නිසා ජනයාද තම ආර්ථික සහ සාමාජීය ප්‍රශ්න වලටද විසදුම් තනිව සෙවීමට පුරුදුව ඇති සේය.
රට හෙවත් සියලු සත්වයන් වෙනුවෙන් විසදුම් සොයනු වෙනුවට වෙනත් රටකට ගොස් හරි තනියෙන් තම ප්‍රශ්න වලට විසදුම් සොයයි.
8.3 බලය අත්පත් කර ගැනීමේ ප්‍රශ්නයේදි පක්ෂ කල්පනා කරන්නේද එලෙසමය. තනියෙන් විසදුම් සෙවීමටය . තනි තනිව තම පක්ෂයටත් ඒ හරහා රටටත් නිර්වාණය ලබා දියහැකි බවත් විශ්වාස කරයි.
8.4 එය එසේ කල නොහැකියයි ලෙඩ ඇඳේ පන ඇද ඇද ඉන්න විට එත්තු ගිය විට එකතු වෙලා විසදුම් සොයන්න හදයි.

9.අපේ රටට ගැලපෙන විසදුම් /නිවනක් තිබේ. ඊට මාර්ගය / Methodology යක්ද තිබේ. එය අවබෝධ කර ගැනීමට තරම් දුෂ්කර ක්‍රියා ජාතියක් ලෙස අප කර තිබේ.

10. මට යම් තැනක වැරදි ඇත.
ඔබට යම් තැනක වැරදි ඇත.
රටට යම් තැනක වැරදි ඇත.
නිර්වාණය හෙවත් විසදුම මිරිඟුවක් වී ඇත්තේ එබැවිනි.
ඒ Methodology ය නොහොත් ක්‍රමය නොහොත් මාර්ගය තවමත් සොයාගෙන නැති බැවිනි .
11. රටක ජනතාවකගෙ අවසාන බලාපොරොත්තුවත් ඉච්ඡා භංග වුවහොත් එය රටක් බංකලොත් වීමටත් වඩා බරපතලය.
12. ජවිපෙ අද මුහුණපා සිටින බරපතලම අභියෝගය එයයි.
ආණ්ඩු බලය ගැනීම නොව ජනතාවගේ අවසන් බලාපෙරොත්තුව සජීවීව තබා ගැනීමයි. ජවිපෙය ඒ සදහා සුදානම් යයි හිතා හිටියට සුදානම් නැත.
ඒ අර කෙසේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම මඟහැරීම නිසයි.
මාර්ගය හෙවත් Methodology පැහැදිලි නොපැහැදිලි නිසයි.

ඒ උගත් කමින් ඔබ්බට ගිය Creative Intelligence ඌණතාවයෙන් අප ජාතියක් ලෙස පෙලෙන නිසයි. නමුත් එය අභියෝගයක් පමණි.

ජවිපෙ හෝ සජබේ හෝ පොහොට්ටුව හෝ වෙන කවුරුන් හෝ එම අභියෝගය ජයගත් දිනට සංවර්ධනයේ සැබෑ අරුණලු ශ්‍රී ලංකාව මතත් පතිත වනු ඇත.

(උපුටා ගැනීමකි)

Archive

Latest news

Related news