Tuesday, July 16, 2024

ජාතික ජන බලවේගයේ විසදුම: ශ්‍රී ලාංකීය මහජාතියේ “සාමුහිකත්වය = අධිපතිවාදී පොර බැදීම” – කුසල් පෙරේරා

“දේශයේ අපේක්ෂාව” යැයි ජ.වි.පේ ඉදිරි දැක්ම සඳහා පුරෝකතනයක් සැපයූ නායක අනුර කුමාර දිසානායක ගේ දේශනයෙහි සඳහන් කෙරුණු “සමාජ සාමුහිකත්වය” පිළිබඳව උපුටා දැක්වීම් දෙකක් පහතින් සටහන් කරමි.

“……..ඒ නිසා, තනි තනිව කොතරම් පොර බැදුවත් මේකෙන් ගොඩ ඒමට හැකියාවක් නැහැ. අපිට අද අවශ්‍යයයි සාමුහික පොර බැදීමක්. ජාතික ජන බලවේගයේ මේ වේදිකාව සකස්වෙලා තියෙන්නෙ, ඒ සාමුහික පොර බැදීමට උර දෙන්න පුළුවන්……..මහා අවංකභාවයක්, මානුෂිකවාදයක්, කැප කිරීමක්, පරිත්‍යාගයක්. දෘෂ්ඨියක් තියෙන මිනිස්සුන්ගෙන් තමයි මේ වේදිකාව සමන්විත වෙලා තියෙන්නේ…….”

වටු වැද්දාගේ කතාට නැති සුලුතර ප්‍රජාවන්

වටු වැද්දා ගැන ජාතක කතාවේ බෝධිසත්ව වටුවා දැලට හසුවූ වටුවන්ට තනි තනි උත්සාහයන්ගෙන් දැලෙන් බේරී යාමට නොහැකි බැව් කියා සාමුහිකව උත්සාහ කිරීමට ලබා දුන් උපදෙස් අදටත් “සාමුහිකත්වය” වෙනුවෙන් වලංගු යැයි අනුර කුමාර වැඩි බරක් ඇතිව කීවේ, “අපි කරන්න ඕනේ, මිනිසාගේ යථා ස්වභාවය තව තවත් මිනිසාට ඒත්තු ගැන්වීමයි. එයයි සමාජය සාමුහිකත්වය කිරීමේ පදනම. අපි විශ්වාස කරනවා, මේ සමාජය සාමුහික කළ හැකියි” කියා ය.

අනුර කුමාරගේ කතාවේ කොතැනක හෝ “යුද්ධය” යන වචනය කියනු ඇසුනාද? මේ රටේ අවුරුදු 30 ක කුරිරු වාර්ගික යුද්ධයක් තිබුණා යැයි සිතුනාද? ඒ යුද්ධයෙන් අනාථවූ අසරණවූ අම්මාවරුන්, බිරින්දෑවරුන්, දරුවන් අවුරුදු 10 ට වැඩි කාලයක් තවමත් ඔවුන්ගේ විනාශ වූ ජීවිත වෙනුවෙන් විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ කරන බව මතක් වූවාද? දෙමළ ජනතාවට හිමි විය යුතු සම පිළිගැනුම, සම අවස්ථා, සම අයිතීන් සමග ගෞරවාන්විත පුරවැසියන් සේ ජීවිත්වීමට හැකි එක්සත් සමාජයක් ගොඩ නැගීම ගැන යන්තමින් හෝ කිසිවක් කියනු ඇසුණාද? අවම තරමින් දෙමළ ජනතාවක් මේ රටේ ඉන්නා බවක් හෝ ඒ කතාවෙන් නොකියවුනි.

එවගේම අළුත්ගම, අම්පාර, දිගන සහ පාස්කු ප්‍රහාරයෙන් පසු මීගමුව-මිනුවන්ගොඩ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් ජනතාව මත සංවිධානාත්මකව මුදා හැරි ම්ලේච්ඡ හිංසනය ගැන වාගේම වෛද්‍ය සාෆිට එල්ල කළ අපහාසාත්මක, වංචා සහගත, වෛරී චෝදනාත් ඔහුගේ බිරිඳට සහ දරුවන්ට මුහුණ දෙන්නට සිදුව ඇති අවාසනාවන්ත ඉරණම ගැනත් අවුරුද්දකුත් මාස 08 ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ඉන්නා නීතිඥ හෙජාස් හිස්බුල්ලා සහ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් යැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් 293 ගෙන් තවමත් අත්අඩංගුවේ ඉන්නා සැකකරුවන් සම්බන්ධව ජ.වි.පෙ දන්නා බවක් අනුර කුමාරගේ කතාවෙන් නොකියවුනි. සිංහල-බෞද්ධ ආධිපත්‍ය තහවුරු කෙරුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහිත රටේ, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිමුන් ආගමානුකූලව භූමදානය කිරීමට හෝ අවසර නොදෙන බව එහි සඳහන් නොවුනි.

සංකේතමය සුලුතර පුද්ගලයින්

සිංහල-බෞද්ධ සමාජය වෙනුවෙන් සුළු වාර්ගිකයින් හා ආගමිකයින් සම්බන්ධයෙන් මුනිවත රකිනවුන්ගේ ජාතික සමගිය ගැන කිව හැක්කේ කුමක්ද? සිංහල-බෞද්ධ අන්තවාදය හා ගමන් යන මේ ආණ්ඩුවේ “එක රටක් – එක නීතියක්” හැදීමට පත් කළ කොමිසමේ සිට සියලු ජනාධිපති කොමිසම් වලද දෙමළ හා මුස්ලිම් උගතුන් අසුන් ගන්නා රටක, ජාතික ජන බලවේගයේ “ප්‍රතිපත්ති ප්‍රකාශනය” සැකසූ සම්පත්ධාරීන් අතර දෙමළ හා මුස්ලිම් නම් තිබීම, ඔවුන්ගේ ප්‍රතිපත්ති බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික හා ද්වි භාෂා සමජයක් සඳහා යැයි සහතිකයක් නොවේ.
ඔවුන්ගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “ජාතික ආරක්ෂාව” වෙනුවෙන් “ශ්‍රී ලාංකීය” ජාතියක් හැදීමට කතා කිරීමෙන් ඔවුන්ගේ “ජාතික සමගිය” කවරක්ද යන්න ඉතා පැහැදිලිය. “රටේ සියලුම ජාතිකත්වයන් ආගමික හා වෙනත් විවිධත්වයන් සහිත ජනකොටස්වලට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කරගනිමින් එකිනෙකා අතර විශ්වාසය හා අවබෝධය සහිතව ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස කටයුතු කළ හැකි පරිසරයක් ගොඩ නැගීම” ප්‍රධාන අරමුණක් ලෙස සටහන් කිරීමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “එක රටක්” ලෙස නම් කෙරෙන 08 වන පරිච්ඡේදයේ ප්‍රධාන තේමාවද “විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු ශ්‍රී ලාංකේය ජාතියක්” යැයි කීමේත් පැහැදිලි අරුත ඔවුන් ඇත්තට කතා කරන්නේ සියලු ආගමික හා වාර්ගික ජනතාව සඳහාවන ගෞරවාන්විත සමගියක් නොවන බවය.

ශ්‍රී ලංකික ජාතිය යනු මහජාතික ප්‍රබන්ධයකි

මේ “ශ්‍රී ලාංකීය ජාතිය” යැයි රටේ නැති ජාතියක් ඉදිරිපත් කරමින් සිංහල-බෞද්ධ මහජාතිවාදය එනමින් සඟවා ගෙන යාම නිරුවත් කළ යුතුය. ශ්‍රී ලාංකීය ජාතියක් කිසි දවසක මේ භූමියෙහි නොසිටි අතර, එවැනි ජාතියක් ව්‍යවස්ථාවකින් හෝ ආණ්ඩුවක තීන්දුවකින් හදන්නටද නොහැක. ජාතියක් ලෙස හඳුනා ගැන්මට හැකි අනන්‍යතාව හැදෙන්නේ මූලික වශයෙන් භූගෝලීය ප්‍රදේශයක නිශ්චිතව සංවර්ධනය වන භාෂාවක් හෝ ආගමක් සමගින් බාහිරින් ඇතිවිය හැකි යැයි ඇතිවන පොදු හැඟීම හා බැඳීම ඓතිහාසිකව තහවුරු වීම සමගය. එවැනි ශ්‍රී ලාංකීය භාෂාවක් හෝ ශ්‍රී ලාංකීය ආගමක් මෙහි නැත. “ජාතික ආරක්ෂාව” පිළිබඳ රාජ්‍ය අවධානයද බෙහෙවින් සිංහල-බෞද්ධ පදනමකින් තීන්දු වන්නකි.
මෙහි ඇත්තේ ශ්‍රී ලාංකීය පුරවැසියන් ය. ඔවුන්ට “ශ්‍රී ලාංකීය” යැයි සංස්කෘතික අනන්‍යතාවක් නැත.

ශ්‍රී ලාංකීය පුරවැසියන් අතර ඇත්තේ ප්‍රධාන සංස්කෘතික අනන්‍යතා 03 කි. ඒ අනුව සිංහල-බෞද්ධ, දෙමළ සහ මුස්ලිම් යැයි සංස්කෘතික අනන්‍යතා ඇත. බහුතර සිංහල-බෞද්ධ ආධිපත්‍යයට රාජ්‍ය යටත්කර ඇති බැවින් “ශ්‍රී ලාංකීය ජාතිය” යැයි ඇත්තට කතා කරන්නේ බහුතර සිංහල-බෞද්ධ අනන්‍යතාවයට ය. එවැනි කෘතිම සන්නාහ නාම යොදා ගැනීමෙන් ජාතික සමගිය, සංහිඳියාව වෙනුවෙන් කවරක් ලියා තැබුවත් සිංහල-බෞද්ධ “නානසාරවාදය” ඉන් ගැලවෙන්නේ නැත.
ජ.වි.පෙ සම්බන්ධයෙන් බරපතලම ප්‍රශ්නය සිංහල-බෞද්ධ චින්තනය හැරුණු විට, ප්‍රතිපත්ති රැකීම පිළිබඳ ඔවුන් සතු සහතික නොවීමෙහිය. විධායක ජනාධිපති ධූරය සය මසක් ඇතළත අහෝසි කළ යුතු යැයි ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා කුමාරතුංගගෙන් ලිඛිත පොරොන්දුවක් ලබා ගෙන 1994 ඔක්තෝම්බරයේ නිල වශයෙන් කල එළි පැමිණි ජ.වි.පෙ, ඒ විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලය කිසිදු ලජ්ජාවක් නොමැතිව ඔවුන්ගේ සිංහල-බෞද්ධ දේශපාලනයට යොදා ගන්නා බව ඔප්පු කෙරූ පක්ෂයකි.

විධායක ජනාධිපති ක්‍රමයේ රස බැලීම

මැතිවරණයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමති ධූර 03 ක් 2003 දෙසැම්බරයේදී උදුරා ගැනීමටත් පසුව 2004 දී ආණ්ඩුව විසුරුවා හැරීමටත් ජනාධිපති ධූරයේ විධායක බලය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යොදා ගැනීම බේගල් සමූහයක් කියමින් ජ.වි.පෙ සාධාරණය කරන්නකි.

ජ.වි.පෙ නව නායක වශයෙන් අනුර කුමාර 2014 මැයි මාසයේ ලන්ඩනයේදී පටිගත කළ බී.බී.සී “සංදේශය” වැඩසටහනකදී ඉතිහාසය විකෘති කරමින් ඒ සදාචාර විරෝධී උමතුව සාධාරණය කෙරුවේ මෙලෙසිනි. “එක අවස්ථාවක් තිබෙනවා 2004 දී, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපේ රට බෙදීම සඳහා ගමන් කරමින් තිබුණ දිසාව පරාජයට පත් කිරීම සඳහා චන්ද්‍රකා කුමාරතුංග මැතිනිය විධායක ජනාධිපති ධූරය උපයෝගි කරගෙන තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ……..ඔහුගේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා තිබෙන වැඩපිළිවෙල, එය මුළුමනින්ම ජාතීන් අතර යුධ ගැටුමක් ඇතිවෙන, එකිනෙකා මිනිස් ප්‍රජාවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීම දක්වා ඔහු ගමන් කරමින් තිබුණා………. ඒ අනතුර පරාජය කිරීම සඳහා තමයි ඒ මොහොතේ ඒ තීන්දුව ගනු ලැබුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින්.”

ඒ තීන්දුව ගැන ඔවුන් කිසිසේත් පසුතැවෙන්නේ නැති බවත් අනුර කුමාර ඒ සාකච්ඡාවේදී පැවසුවේය.

යුද ගැටුම නිර්මාණය කළේ ඔවුන්මය

“ජාතීන් අතර යුධ ගැටුමක් ඇතිවෙන, එකිනෙකා මිනිස් ප්‍රජාවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීම” සිදු කෙරුණේ එදා විපක්ෂයේ සිටි ශ්‍රී.ල.නි.පයේ චන්ද්‍රිකා-මංගල නායකත්වය, ජ.වි.පෙ සහ හෙළ උරුමය පෙරටුවෙන් තබා ගෙන සමාජයට වින කළ අන්ත ජාතිවාදී දේශපාලනයෙනි. 2001 දී ජනාධිපති චන්ද්‍රිකා ඇරයුම්කර ලබා ගත් නෝර්වේජියානු පහසුකම් ඇතිව එල්.ටී.ටී.ඊය සමගින් ඉතා විවෘතව කෙරුණු සාම සාකච්ඡා හා සටන් විරාමයට එරෙහිව ජනතාව උසි ගැන්වීමෙනි. තවමත් පසු තැවෙන්නේ නැතැයි අනුර කුමාර කියන්නේ ඔවුන් 1994 සිට විරුද්ධ වූ විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලය 2003-2004 දී අන්ත ජාතිවාදී දේශපාලනයක් වෙනුවෙන් යොදා ගැනීම ගැනය.

මෙහි ඇති ඛේදවාචකය නම්, සිංහල-බෞද්ධ ජාතිවාදය වෙනුවෙන් විරුද්ධවාදීන් අමු අමුවේ ඝාතනය කළ ජ.වි.පෙට, දේශපාලනයෙහි වෙනසක් නොමැතිව ජාතික සමගිය සමගින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තහවුරු කිරීමට යැයි ආණ්ඩු බලය ඉල්ලා සිටින්නට හැකිව තිබීමෙහිය. එයට ඉඩ ඇත්තේ “ජාතික සංවර්ධනය” වෙනුවට චන්ද්‍රිකාගෙන් පටන් ගෙන සිංහල-බෞද්ධ නායකයින් සොයා ගිය නාගරික මැද පංතියට මේ වනවිට තෝරා ගැනීමට පුද්ගලයින් ඉතිරිව නොමැති හෙයින්ය. එනිසා ඔවුහු ජ.වි.පෙහි ම්ලේච්ඡ සිංහලවාදී දේශපාලනය සමග අධිකාරවාදී නායකත්වය ප්‍රශ්න නොකරති.
ප්‍රජාතන්ත්‍රවාදී සම්මත හා සම්ප්‍රදායන් නොහඳුණන, අධිකාරවාදී නායක කල්ලි විසින් මෙහෙයවනු ලබන දේශපාලන සංවිධාන කිසිවකට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් පවත්වා ගෙන යා නොහැක. එය විශ්ව සත්‍යයකි.

ප්‍රජාතන්ත්‍රවාදි ආන්ඩු පාලනය අසාර්ථක වීම

මෙතෙක් මැතිවරණ දේශපාලනයේ ප්‍රධාන දෙපාර්ශවයටම ප්‍රජාතන්ත්‍රවාදී ආණඩු පාලන තහවුරු කරන්නට නොහැකි වූ ප්‍රධාන කාරණාව ඔවුන් ජාතිවාදී වීම පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පුහුණුවක් පුරුද්දක් ඔවුන් කිසිවෙකුට නොමැති වීමය. ඉනුත් ඔබ්බට ගිය, සිංහල අන්තවාදී දේශපාලනය වෙනුවෙන් 1984 න් පසු අවි ආයුද අතට ගත් ත්‍රස්තවාදී දේශපාලන උපතක් ඇති සහ එයම තම බලය ලෙස යොදා ගත් ජ.වි.පෙට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සැබෑ ලෙස පැමිණිය හැක්කේ සන්නද්ධ ත්‍රස්තවාදය වෙනුවෙන් වූ තම තීන්දු වැරදි දේශපාලන තීන්දු ලෙස විවෘතව පිළිගත හැකි දේශපාලන අවංකත්වයක් ඇත්තේ නම් පමණි.

එවැනි දේශපාලන අවංකත්වයක් නොමැති බව ඔවුන් නැවත නැවතත් ඔප්පු කරන්නේ 1988 – 90 වසරවල ඔවුන්ගේ සිංහල අන්තවාදී ම්ලේච්ඡත්වය රාජ්‍ය මර්දනයට එරෙහිව ආයුද අතට ගන්නට බල කෙරුණක් යැයි මහා බේගලයක් ඇද බෑමෙනි. එය 2016 අයවැය විවාදයේදීද අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කියුවකි. ගමේ නිරායුධ අහිංසකයින් ඝාතනය කර ඔවුන්ගේ අවසන් කටයුතු සඳහා කුරිරු කොන්දේසි පැනවීම, රාජ්‍ය මර්දනයට මුහුණ දීමක් යැයි මොනම දේශපාලනයකින්වත් පැහැදිලි කළ නොහැක්කකි.

රාජ්‍ය මර්දනට මුහුණ දීමේ නාමයෙන් කළ ඝාතන

කොළඹ විශ්ව විද්‍යාලයයෙහි ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී දයා පතිරණ ඝාතනයෙන් ආරම්භ කර පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, බෙලිඅත්තේ බුද්දියාගම නීතිඥ බණ්ඩාර, වාරියපොල ගොවි ක්‍රියාකාරී ජේමිස් ඇතුගල, ‘71 කැරැල්ලෙහි වීරයෙකු වූ අනුරාධපුර පොළෙහි සපත්තු අලෙවි කළ නන්දන මාරසිංහ, නව සමසමාජයෙහි සාමාජිකයින් වූ පූජාපිටියේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනකු, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ හිටපු සභාපති රත්කායක, කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති නායක එල්.ඩබ්ලියු පණ්ඩිත, රජයේ මුද්‍රණාල්යේ වෘත්තීය සමිති නායක හා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික විමලසිරි, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ හිටපු භාණ්ඩාගාරික විතාරණ, හපුතලේ වල්හපුතැන්න විදුහලේ විදුහල්පති රත්නායක, කළුතර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රි.ල.නි.ප දිස්ත්‍රික් සංවිධායක ඉන්ද්‍රපාල අබේවීර, සුප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදක තේවිස් ගුරුගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ස්ටැන්ලි විජේසුන්දර වැනි සිවිල් පුරවැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීම රාජ්‍ය මර්දනයට මුහුණදීමක් යැයි කිව හැක්කේ ජ.වි.පෙටම පමණි.

එවැනි වූ ජ.වි.පෙ දෙවන පෙළ ක්‍රියාකාරීන් ඔවුන්ගේ අවි ආයුද කවදා කොහේ බිම තබා පැමිණියේදැයි කවුරුවත් නොදන්නාමුත් ඔවුන් විවෘත දේශපාලනයට පැමිණියේ සිංහල-බෞද්ධ දේශපාලනය බිම තබා ප්‍රජාතන්ත්‍රවාදය වැළඳගෙන නොවේ. සාක්ෂි අවශ්‍ය නම් ඔවුන් 1994 අගෝස්තු මහ මැතිවරණයේදී ආරිය බුලේගොඩගේ පක්ෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ විට ලැබුණු තනි මන්ත්‍රී ධූරයට ඔවුන්ගේ විශ්වාසවන්ත පාක්ෂිකයා වූ ගලප්පත්ති මන්ත්‍රී ලෙස පත්කර ගැනීමට වැඩිම මනාප ලබා ගත් පළමු සතර දෙනාගේ ඉල්ලා අස්වීම් ලබා ගත්තේ කෙසේදැයි අසා බැලිය යුතුය.
එළෙසින්ම, ප්‍රජාතන්ත්‍රවාදයක් නොදන්නා, සන්නද්ධ ක්‍රියාකාරි සිංහල-බෞද්ධ දේශපාලන මානසිකත්වය ප්‍රදර්ශනය වූයේ 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් යුධ ජයග්‍රහණයේ නියමුවා ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරතියා ගෙන පැමිණීමෙනි. එවැනි හමුදා නායකයෙකු වෙනුවෙන් දියත් කෙරෙන මැතිවරණ ව්‍යාපාරයක් මගින් සමාජයම හමුදාකරණය කෙරෙන බව ඔවුන්ට වැදගත් නොවුනි. අනතුරුව 2010 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔවුහු සරත් ෆොන්සේකා සමග “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය” යැයි නව හවුලක් හදා ගත්හ. සිංහල-බෞද්ධ ජාතිවාදී දේශපාලනය හැරුණ විට එහි දේශපාලනය කුමක් විය හැකිද? ඔවුන්ගේ හවුලට යොදා ගත් නම කුමක් වූවත් එහි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට ඉඩක් තිබිය නොහැකිය.

2005 – ඉරණම් වසර

ආයුධ නොමැති වූවත් දේශපාලනයේ වෙනසක් නොකර ගත් ඔවුන් ඊට පෙර මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බරයේදී ජනාධිපති ධූරයට පත් කරන්නට හවුල් වූයේ ඔවුන්ගේ 2004 තීන්දුවේ දිගුවක් ලෙස යැයි අනුර කුමාර බී.බී.සී “සංදේශය” වැඩසටහනේදී කීවේය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කර ආණ්ඩුව හැදීම පිළිබඳව උපායිකව හරියාකාරව කල්පනා කර තීන්දු කළේද යන ප්‍රශ්නය ජ.වි.පෙට ඇතැයි එහිදී ඔහු කීවේය. රාජපක්ෂ හවුලෙන් ජ.වි.පෙ ඉවත් වන්නේ යුද්ධය සඳහා සියලු සහාය ලබා දීමෙන් පසුව ය. එහි ඇති විහිළුව නම්, අති දූෂිත යැයි මාරාන්තික විරෝධයක් එල්ල කරන ඒ රාජපක්ෂ පාලනය බලයට පත් කිරීම ගැන ජ.වි.පෙට තවමත් කණගාටුවක් නැතැයි බී.බී.සී සංදේශය වැඩසටහනට අනුර කුමාර කීමෙහි ය.

වරක් නොව දෙවරක්ම (2005 සහ 2015) කණගාටුවක් ඇත්තේද නැති දූෂිත ආණ්ඩු පත් කිරීමට ජ.වි.පෙ ජනතාවට නොදුන් පොරොන්දුවක් නැත. මතක් කරගතහොත් ඔවුන් 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පරාජය කිරීම සඳහා ඔවුන්ගේ පොදු අපේක්ෂක සිරිසේන වෙනුවෙන් ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේ අන් කිසිවකට නොව, දූෂණයෙන් තොර පිරිසිදු ආණ්ඩුවක් හදන්නට ය. ඊට පෙර ඔවුන් 2001 දී පරිවාස ආණ්ඩුවක් හදා ගැනීමට ජනාධිපති චන්ද්‍රිකාට හවුල් වූයේ පිරිසිදු දූෂණයෙන් තොර ආණ්ඩුවක් සමග නොවේ. එබැවින් මේ රටේ රාජපක්ෂලාගේ ආණ්ඩු වේවා වික්‍රමසිංහලාගේ ආණ්ඩු වේවා ඒ හැම ආණ්ඩුවක්ම චෝදනා ලබන සියලු දූෂණ හා වංචා සඳහා ජ.වි.පෙ ප්‍රධාන නායකයින්ද වගකිව යුතුය.

මා දැන් ප්‍රශ්න කරන්නේ “උනුත් එකයි – මුනුත් එකයි” කියූ ඔවුන්ගේ ඒ ඉතිහාසය ප්‍රධාන දේශපාලන පක්ෂ හවුල් දෙකෙන් කෙතරම් වෙනස් වන්නේදැයි කියාය. ඔවුන්ගේ සිංහල-බෞද්ධ දේශපාලනයෙහි කතා කළ හැකි වැදගත් වෙනස වන්නේ එහි 1988-90 යුගයේ වූ සන්නද්ධ ම්ලේච්ඡත්වය දැන් නොමැති වීමය. එහෙයින් ඔවුන් දැන් රාජපක්ෂවාදී සිංහල-බෞද්ධ ජනප්‍රිය දේශපාලනයකට ගමන් කරමින් ඇත. එය වික්‍රමසිංහ ලිබරල්වාදයේ බිඳකින් ආටෝප ගන්වා ගෙන ඇත. ඒ හැරෙන්නට ඔවුන්ට දූෂණයට එරෙහිව කෙතරම් උස පොරොන්දු දුන්නද දූෂිත ආණ්ඩු හැදූ වගකීමෙන් අත සෝදා ගත නොහැක. කෙටියෙන් කියන්නේ නම්, සිංහල-බෞද්ධ දේශපාලනය සමග දූෂිත ආණ්ඩු හැදූ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක සමග ඔවුහු හැම තැනම සිටියහ.

“යූ-ටියුබ්” දේශපාලන විවිරණයක යෙදෙන්නකු වන සේපාල් අමරසිංහ පසුදින නිගමනය කළ අයුරු මේ ජ.වි.පෙ/ජා.ජ.බ දේශපාලනයේ ඇත්තේ පරණ පුරුදු සේල්ලමම පමණය. “ඒ වැඩේට මහින්දලා, ගෝඨාභයලා, සජිත්ලා දක්ෂයි ඔයිට වැඩිය. ජ.වි.පෙ/ජා.ජ.බට හැරෙන්නවත් බෑ ඒ ගොල්ලොත් එක්ක” අමරසිංහ කීවේය.
ඉතිරිය, මේ සම්බන්ධයෙන් ඇතිවන වැදගත් අදහස් දැක්වීම් අනුව එකතු කරමි.

කුසල් පෙරේරා
2021 දෙසැම්බර 25 වන නත්තල් දින

(මුහුණ පොතිනි)

මෙහි මුල් කොටස පහත පළවේ.

උපතින් පිරිසිදු දූෂිත මිනිසාගේ “නානසාර දැක්ම”

මේ රටේ සියලු ව්‍යසන වලට “දූෂණය” ප්‍රධාන හේතුවක් යැයි ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක හැම තැනකදීම, හැම විටම කියන්නකි. ඊයේ (දෙසැ.20) තලවතුගොඩ මොනාක් රෝයල් ශාලාවේදී “බිඳ වැටුණු මව්බිම ගොඩනගන විසඳුම” ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව අමතමින් ඔහු එයම ජාතික ජන බලවේගයේ නායකයා ලෙස කියා තිබුණි.

“මේ රට මේ තරම් අර්බූදයකට, ප්‍රපාතයකට හැලීම සඳහා ප්‍රධානම සාධකයක් මේ දූෂිත දේශපාලකයින්” යැයි අනුර කුමාර ඊයේද කීවේය. එය විශ්වාස කරන්නේ ජ.වි.පෙ නායකයින් හා සාමාජිකයින් පමණක් නොව, ඔවුන් පිටුපස පෙළ ගැසෙන, මැතිවරණ දේශපාලනයේ අතරමංව ඉන්නා “රාජපක්ෂ විරෝධි” වාග් ප්‍රහාරකයින්ද එය විශ්වාස කරති. අනුර කුමාර ඊයේද කියූවේ, මව් බිම ගොඩ ගැනීමට අවශ්‍ය වන්නේ “අදූෂිත” දේශපාලන නායකත්වයක් කියා ය. එනිසා එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණකැයි ඔහු අවධාරණයෙන් යුතුව කීවේය.

එබැවින් මම අනුර කුමාරටත් ජාතික ජන බලවේගයේ ප්‍රධානීන්ටත් මගේ පළමු ප්‍රශ්නය මෙසේ යොමු කරමි. “දූෂිත දේශපාලනයේ” පදනම, එහි පැවැත්ම කුමක්ද? එය තව දුරටත් දිග හැරියහොත් “දූෂිත දේශපාලනය” යැයි අනුර කුමාර හඳුන්වන සාම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන පක්ෂ හා පෙරමුණු දෙක දූෂණයවී ඇත්තේ පුද්ගලයින් දූෂිතවන නිසාද?
එනමුත් ඔහු ඉතා නිවැරදිව කියන ආකාරයට මිනිසා උත්පත්තියෙන් ආත්මාර්ථකාමී නොවේ. උත්පත්තියෙන් අධර්මිෂ්ඨ නොවේ. මිනිසා උත්පත්තියෙන් දූෂිතයින් නොවේ. එසේ නම් දූෂිත දේශපාලනඥයින් බිහිවූයේ කෙසේද? දේශපාලනය දූෂිත වූයේ කෙසේද? ප්‍රධාන දේශපාලන පෙරමුණු දෙකටම අයත් නොවන රාජ්‍ය පරිපාලන සේවා, වෛද්‍ය, ගණකාධිකාරී, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය වැනි ඉහළ පෙළේ වෘත්තිකයින් සහ යෝධ ජාවාරම්කාරයින් දූෂණය වූයේ කෙසේද? අනුර කුමාර පොරොන්දුවන “අදූෂිත” ජාතික ජන බලවේගයේ නායකයින්ට රට බාර දුනහොත් උත්පත්තියෙන් දූෂිත නොවන පුද්ගලයින්ගේ මේ දූෂිත වෘත්තීන් හා ජාවාරම්කාරයින් පිරිසිදු කෙරෙන්නේ කෙසේද?
එයටම බද්ධවන දෙවන කාරණාව වන්නේ අනුර කුමාරගේ දූෂණය පිළිබඳ අනෙක් කතාව ය. “දූෂණය කියන්නේ ඒ වෙලාවේ සිදුවන අල්ලස පමණක් නෙවෙයි” ඔහු කීවේය. “ඒ දූෂණ විසින් ඇති කරන ලද ව්‍යාපෘතිය, අපට බරව කකුළක් වගේ බරයි. මත්තල ගුවන් තොටුපල බරව කකුළක් වගේ බරයි (ඔහු වඩාත් ලොකු බරවා කකුළ වන ‘කොළඹ වරාය නගරය‘ ගැන 2015 න් පසු කතා නොකරයි). දූෂණය කියන්නේ ඒ වෙලාවේ කෙරෙන අල්ලස නෙවෙයි. දූෂණය විසින් ආර්ථිකයට කෙරෙන බලපෑම අතිශය විශාලයි” ඔහුගේ විස්තරය විය. ඒ ගැන එතරම් විවාදයක් නැත. එහෙත් ඉන් කියැවෙන කතාව වන්නේ අන්ත දූෂිත ආණ්ඩු පාලන විසින් පසුගිය දසකයක දෙකක කාලයේ යෝධ දූෂිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් ඒවා ආර්ථිකයට අතිශය විශාල බලපෑමක් සිදුකර ඇති බවය.

ඒ සම්බන්ධව මම මගේ දෙවන ප්‍රශ්නය අනුර කුමාරටත් ජාතික ජන බලවේගයේ ප්‍රධානීන්ටත් මෙසේ යොමු කරමි. කෙටියෙන් කියනවා නම්, අනුර කුමාර කියන්නේ 2005 නොවැම්බරයෙන් පසු රාජපක්ෂ ආණ්ඩුවත් 2015 ජනවාරි වලින් පසු මෛත්‍රීපාල-වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවත් “මේ රට මේ තරම් අර්බූදයකට, ප්‍රපාතයකට හැලීම සඳහා” වගකිව යුතු යැයි කියා ය.

එසේය. මත භේදයක් නැත. ඒ සමගම, ඒ ආණ්ඩු දෙක බලයට ගෙන එන්නට ජ.වි.පෙ සහ අනුර කුමාර ජනතාවට කියූ කතා, ජනතාවට දුන් සහතික, දුන් පොරොන්දු මතක් කර ගන්නේ නම් මැනවි. 2005 නොවැම්බරයේ මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නට ජනතාවගේ ඡන්දය ඉල්ලා අනෙක් ප්‍රධාන ජනාධිපති අපේක්ෂක වූ රනිල් වික්‍රමසිංහට විරුද්ධව කෙතරම් කතා ගොතන්නට ඇතිද? ඉන්පසු 2015 ජනවාරියේ සිරිසේන-වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව හැදීමට මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ජ.වි.පෙ සහ අනුර කුමාර කෙතරම් බොරු ප්‍රමාණයක් ජනතාවට කියන්නට ඇති ද? අනාගත හීන වෙනුවෙන් ජනතාවට 2005 ත් අනතුරුව 2015 ත් පොරොන්දු දුන්නේ රාජපක්ෂලා සහ සිරිසේනලා, වික්‍රමසිංහලා පමණක් නොවේ, පිරිසිදු ආණ්ඩු වෙනුවෙන් දියුණු අනාගත රටක් වෙනුවෙන් අනුර කුමාර සහ ජ.වි.පෙ නායකයින් මැතිවරණ වේදිකාවල අප්‍රමාණව බෙරිහන් දුන්හ.

දැන් ප්‍රශ්නය මේක ය. “මේ රට මේ තරම් අර්බූදයකට, ප්‍රපාතයකට හැලීම සඳහා” අනුර කුමාර සහ ජ.වි.පෙ සතු වගකීමක් නොමැතිද? අසාර්ථක දූෂිත ආණ්ඩු පත් කිරීමේ වගකීමක් ඔවුන්ට නොමැති ද? දූෂණය කියන්නේ ඒ වෙලාවේ කෙරෙන අල්ලස පමණක් නොවන නිසා, ඒ දූෂිත ආණ්ඩු බලයට පත් කරන්නට ජ.වි.පෙ සමග හවුල් වූ ලොකු පොඩි සියලු දේශපාලන පක්ෂ හා නායකයින් ඊට වගකිව යුතු නොවේද?

මේ දූෂණ කතා දෙක එකට ගත් විට, “ජාතික ජන බලවේගය” නමින් දේශපාලනය කරන ජ.වි.පෙ සතු, අනුර කුමාර “අපට දැක්මක් තියෙනවා” යැයි කියූ දැක්ම, අවුරුදු 40 ක් පුරා වන මේ විවෘත වෙළඳපල ආර්ථිකය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති, බුදු දහම නොදැන කියන “නානසාර” බණ වැනි යැයි මට සිතුනකි.
කුසල් පෙරේරා
2021 දෙසැම්බර 21

Archive

Latest news

Related news