Monday, May 20, 2024

පළිගැනීම් කොමිසම තමා ගැන තීන්දු දී අධිකරණයට අපහාස කළැයි බවට ශානි අබේසේකර අභියාචනාධිකරණයට යයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමේ සාමාජිකයින් වූ දයාන් චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන දෙදෙනා වඋත්තරකරුවන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසම හමුවට ශානි අබේසේකරට එරෙහිව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව මගින් අධිකරණයට අපහාස කරන ලදැයි  ශානි අබේසේකර මෙලෙස අභියාචනාධිකරණය හමුවේ පෙත්සම මගින් කියා සිටී.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එම කොමිසම හමුවට කරනු ලැබූ පැමිණිල්ලකට සාක්ෂි දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිසමෙන් තමාට කැඳවීම් කරනු ලැබූ බවත්  එම කැඳවීමට එරෙහිව අභියාචනාධිකරණය රීට් පෙත්සමක් ගොනු කළ බවත් එය විභාගයට ගත් අවස්ථාවේදී කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් ශනි අබේසේකරට එරෙහිව නිශ්ශංක සේනාධිපති සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු නොකරන බවට ප්‍රකාශ කරන ලද බවත් පෙත්සමෙහි සඳහන් වේ.

එසේ අභියාචනාධිකරණය හමුවේ සහතික වී තිබියදී ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ පැමිණිල්ල සම්බන්ධයෙන් එම කොමිසම මගින් නිර්දේශ නිකුත් කර තිබීමෙන් අභියාචනාධිකරණය හමුවේ සිදු කළ ප්‍රකාශ අභියාචනාධිකරණයේ නියෝග පැහැර හැරීමට ලක්කර ඇති බවත්, එසේම වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවටත් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තියට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙසට එම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මඟින් ඊයේ (22) දිනයේ මෙලෙස අභියාචනාධිකරණය හමුවට පෙත්සම ගෙනු කරන ලදි.

( ලංකා ට්රුත් පුවතක් ද ඇසුරිණි)

Archive

Latest news

Related news