Monday, January 24, 2022

‘පුරවැසි විපක්ෂ’ ජනතා ව්‍යාපාරයක් තිබිය හැකිද? – ජයදේව උයන්ගොඩ

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින විරුද්ධ පක්ෂ කණ්ඩායම්ද, දේශපාලන වශයෙන් නැවතත් සක්‍රිය වීමට පටන් ගෙන තිබේ. එය හොඳ ලකුණකි. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති අරගලය සහ ගොවි ජනතාවගේ විරෝධතා අරගල මෙම නව වර්ධනයෙහි පසුබිමෙහි තිබෙන ප්‍රධාන කාරණා දෙකයි. ඒ අතර රටේ තියුණු වන ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂ ආණ්ඩුවේ අසාර්ථකත්වය වඩ වඩාත් ප්‍රදර්ශනය වෙද්දී, ආණ්ඩුව මුහුණ දී සිටින සුජාතභාවයේ අර්බුදයද, විරුද්ධ පක්ෂ දේශපාලනය සක්‍රිය වීමට බලපා තිබෙන බව පෙනේ. එය මෙතෙක් හැකිළී තිබුණු දේශපාලන අවකාශය පුළුල් කිරීමට දැනටමත් දායක වී ඇත.

“මෙවැනි නව පුරවැසි ව්‍යාපාරයක දේශපාලන වලංගුතාව, අදාළතාව සහ සුජාතභාවය රැක ගැනීමට නම් දේශපාලන පක්ෂවලින් ස්වාධීනව සිටිමින් එහෙත් ඒවා සමග මූලෝපායික සම්බන්ධතා පවත්වා ගනිමින් පක්ෂවල ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට බලපෑම් කිරීමට සමත් විකල්ප අදහස්, වැඩ පිළිවෙළවල් සහ ඉදිරි දැක්මක් ගොඩනැගිය යුතුය යන තර්කයද ප්‍රබලව ගොඩ නැගී තිබේ.”

විකල්ප පිළිබඳ සාකච්ඡාව

මෙම පසුබිම තුළ, වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවට පටහැනිව ගොඩනැගිය යුතු විකල්ප පිළිබඳ සාකච්ඡාවද දැන් සුළු වශයෙන් ආරම්භ වී තිබේ. එය ඉදිරි සති සහ මාස කිහිපය තුළ තවත් ඉදිරියට යනු ඇත. මෙම සාකච්ඡාවේ එක් ප්‍රවණතාවක් නම් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සිටින සහ ආණ්ඩු සන්ධානයේ සිටින කණ්ඩායම්ද, විකල්ප ගැන කතා කිරීමට පටන් ගැනීමයි. එය වනාහී ‘විකල්ප ආණ්ඩුවක්’ පිළිබඳ ඉලක්කය කේන්ද්‍ර කොටගෙන සිදුවන සීමිත රාමුවක් තුළ සිදුවන කතිකාවක්ද වෙයි.

දේශපාලන පක්ෂ සමඟ මූලොපායික සබඳතා පිහිටුවා ගැනීම ඒවැනි ව්‍යාපාරයකට අවශයය

මේ අතර, දේශපාලන පක්ෂවලින් ස්වාධීනව සිටින පුරවැසියන්, පුරවැසි කණ්ඩායම් සහ පුරවැසි ව්‍යාපාරද විකල්ප ගැන සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ. මෙම සාකච්ඡා බොහොමයක් දේශපාලන පක්ෂවලින් ස්වාධීනව සිදුවීම ඒවායේ විශේෂ ලක්ෂණයකි. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිටින දේශපාලන පක්ෂ පිළිබඳ විවේචනයන්ද එම සාකච්ඡා තුළින් ප්‍රකාශයට පත් වේ. සියලු දේශපාලන පක්ෂ පිළිබඳව ඇති විශ්වාසය භංගවීමේ ප්‍රවණතාවක් ඒ වෙතින් ප්‍රකාශ වේ. දේශපාලන පක්ෂවලින් ස්වාධීන, පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවද එම සාකච්ඡා තුළින් ප්‍රකාශයට පත්වී තිබේ. මෙවැනි නව පුරවැසි ව්‍යාපාරයක දේශපාලන වලංගුතාව, අදාළතාව සහ සුජාතභාවය රැක ගැනීමට නම් දේශපාලන පක්ෂවලින් ස්වාධීනව සිටිමින් එහෙත් ඒවා සමග මූලෝපායික සම්බන්ධතා පවත්වා ගනිමින් පක්ෂවල ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට බලපෑම් කිරීමට සමත් විකල්ප අදහස්, වැඩ පිළිවෙළවල් සහ ඉදිරි දැක්මක් ගොඩනැගිය යුතුය යන තර්කයද ප්‍රබලව ගොඩ නැගී තිබේ.

මේ ලිපියේ අරමුණ ඉහත කී නව වර්ධනය පිළිබඳ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.

පක්ෂවලින් පිටත ‘පුරවැසි විපක්ෂ’ ව්‍යාපාරයක්

‘පුරවැසි විපක්ෂයක්’ යන වචනය අලුත් දෙයක් වුවද, ලංකාවේ මෑත අතීතයේ දේශපාලනය තුළ එය ප්‍රායෝගික වශයෙන් පැවතුණ සංසිද්ධියකි. විශේෂයෙන් 1980 ගණන්වලින් පසු අප රටේ පැන නැඟුණ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයේ එක් ලක්ෂණයක් වූයේ, ආණ්ඩු බලය හිමි පක්ෂයේ මූලිකත්වයෙන් ‘තනි-පක්ෂ අධිකාරවාදී’ පාලනතන්ත්‍රයක් බිහිවීමයි. ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ගේ නායකත්වයෙන් ආරම්භ වී ඉදිරියට ගිය මෙම බල ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අංගයක් වූයේ පාර්ලිමේන්තු විපක්ෂය දුර්වල සහ බල රහිත කිරීමයි. පසුකාලයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද මෙම එජාප මූලෝපායම ශ්‍රීලනිපය නායකත්වය දුන් සභාග ආණ්ඩුවක් යටතේද ක්‍රියාත්මක කළේය. නඩු පැවරීමේ තර්ජනය, බියගැන්වීම, මූල්‍ය ප්‍රදානය, තනතුරු ප්‍රදානය, පවුල්වලට, දරු මල්ලන්ට හොඳින් සැලකීම යනාදි උපාය මාර්ගවලින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂය වෙතට බිලිබාගෙන විපක්ෂයේ ‘තුනටිය කැඩීම’ ජේ.ආර්. ආරම්භ කර මහින්ද ප්‍රගුණ කළ ‘තනි – පක්ෂ අධිකාරවාදී’ මූලෝපයේ ප්‍රධාන අංගයකි. මෙසේ දුර්වල කරනු ලැබූ පාර්ලිමේන්තු විපක්ෂයට, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තු විපක්ෂයෙන් අපේක්ෂිත දේශපාලන කාර්යය සහ වගකීම ඉටුකිරීමට නොහැකි විය. විරුද්ධ පක්ෂ නායකයන්ට බොහෝ විට තම කාලය, අවධානය සහ සමහරවිට ධනයද වැය කරන්නට සිදුවූයේ තම මන්ත්‍රීවරුන්, ඇමති ධුර අපේක්ෂාවෙන් ආණ්ඩු පක්ෂයට පැනීම වැළැක්වීමටය. ලංකාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් අතර තවමත් සෑහෙන පිරිසක් සිටින්නේ මෙලෙස දේශපාලන ඉරි පැනීමේ ක්‍රීඩාවේ යෙදුණ දේශපාලනඥයන්ය.

විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ දුර්වල කරනු ලැබූ සහ දුර්වල වූ පසුබිම තුළ ආණ්ඩුව විවේචනය කිරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට අභියෝග කිරීම, ඒවාට විකල්ප ඉදිරිපත් කිරීම යන විපක්ෂයට අයත් කාර්යයන් ඉටු කිරීමේ වගකීම භාර ගත්තේ දේශපාලන පක්ෂ නොවන සිවිල් සමාජ හා පුරවැසි සංවිධානයි. 1980 ගණන්වල මැද කාලයේ පටන් මානව අයිතිවාසිකම්, සුළු ජන අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලන අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය යන රටේ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයේ හදිසි තේමා, දේශපාලන පක්ෂවල අවධානයෙන් ගිලිහී යද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය ඔසවනු ලැබුණේ පක්ෂවලින් පිටත සිටි පුරවැසි කණ්ඩායම් විසිනි. ඔවුන්ගේ එම ක්‍රියාකාරීත්වය සහ මැදිහත්වීම, අකර්මණ්‍යව සිටි විපක්ෂ දේශපාලන පක්ෂවල යළි පණගැන්වීමට තුඩු දුන් ආකාරය, අපට 1980 ගණන්වල දශකය, 1990 ගණන්වල මුල් කාලය, 2010-2014 කාලය යන අවධිවල ලංකාවේ සමාජයේ සිදුවූ දේශපාලන පරිවර්තනය යළි මතක් කර ගැනීමෙන් සිහියට ගෙන ආ හැකිය.

‘පුරවැසි විපක්ෂය’ යන නව සංකල්පයෙන් අපට හැඳින්විය හැක්කේ දේශපාලන පක්ෂවලින් පිටස්තරව, පුරවැසි කණ්ඩායම්වල භාවිතය තුළින් මතුවන ආණ්ඩු පක්ෂයේ අධිකාරිවාදී, ජනතා විරෝධී දේශපාලනය පිළිබඳ විවේචනය, එයට එල්ල වන ප්‍රතිරෝධය සහ එයට එරෙහි විකල්ප දේශපාලන ඉදිරි දැක්මවල් යනාදියයි.

‘පුරවැසි විපක්ෂය’ වෙතින් මතුවූ සටන් පාඨ සහ වැඩපිළිවෙළවල් සමග බද්ධවීමෙන් පසු මැතිවරණ ජයගන්නා ආණ්ඩු බලය නැති දේශපාලන පක්ෂ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව, එම වැඩපිළිවෙළවල් අමතක කිරීම නැතහොත් ඒවාට නාමික වශයෙන් කැපවීම, අප රටේ මෑතකාලීන අත්දැකීමයි.

පුරවැසි විපක්ෂ ව්‍යාපාරයේ ස්වායත්තාව

1990 ගණන්වල මුලදී පටන් ලැබුණු පුරවැසි විපක්ෂ ව්‍යාපාරවල දේශපාලන අත්දැකීම්වලින් අප ඉගෙන ගත යුතු සහ වර්තමාන දේශපාලන සාකච්ඡාවලදී යම්කිසි දුරකට අවධාරණය කෙරෙන තවත් තේමාවක් තිබේ. එය නම්, පුරවැසි විපක්ෂ ව්‍යාපාරවල ස්වාධීනතාව සහ ස්වායත්තතාව දේශපාලන පක්ෂවලින් ආරක්ෂා කරගැනීමේ විශේෂ වැදගත්කමයි. එසේ ආරක්ෂා කිරීම සිදුවිය යුත්තේ, විපක්ෂයේ සිට මහ මැතිවරණවලින් ජයගෙන ආණ්ඩු බලය ලබා ගන්නා දේශපාලන පක්ෂවලිනි. ‘පුරවැසි විපක්ෂය’ වෙතින් මතුවූ සටන් පාඨ සහ වැඩපිළිවෙළවල් සමග බද්ධවීමෙන් පසු මැතිවරණ ජයගන්නා ආණ්ඩු බලය නැති දේශපාලන පක්ෂ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව, එම වැඩපිළිවෙළවල් අමතක කිරීම නැතහොත් ඒවාට නාමික වශයෙන් කැපවීම, අප රටේ මෑතකාලීන අත්දැකීමයි. ඒ සමගම ‘පුරවැසි විපක්ෂයේ’ ක්‍රියාකාරී පුද්ගලයෝද, නව ආණ්ඩුවේ තනතුරුවලට පත්වී එහි හවුල්කරුවෝ වෙති. ඉන්පසුව සිදුවන්නේ ‘පුරවැසි විපක්ෂය’ දියවී යාම සහ එහි දේශපාලන සුජාතභාවයටද හානි පැමිණවීමයි.

‘පුරවැසි විපක්ෂ ව්‍යාපාරයේ ස්වායත්තතාව’ දේශපාලන අවශ්‍යතාවක් බවට පත්වී තිබෙන්නේ එපරිදිය. මෙම ගැටලුව හඳුනාගෙන, එය විසඳීමට ක්‍රියා කිරීම, දැනට අප රටේ ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අතර සිදුවෙමින් පවත්නා සාකච්ඡා මෙන්ම ඒවායේ භාවිතය තුළින්ද විසඳාගත යුත්තකි.

‘පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීම’ පිළිබඳ මේ දිනවල ලංකාවේ සිදුවන සාකච්ඡාව ආශ්‍රයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට ප්‍රවේශයක් සකස් කරගත හැකි බව පෙනේ. එම බහුජන ව්‍යාපාරය හැඳින්වීමට ‘පුරවැසි විපක්ෂය’ යන රූපකය අප භාවිත කරන්නේ නම්, එය වනාහී ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් සඳහා අව්‍යාජ ලෙස කැපවී සිටින සමාජ-දේශපාලන බලවේගවල සන්ධානයක් විය යුතුය. එය සාම්ප්‍රදායික අර්ථයෙන් ‘පක්ෂයක්’ නොව, පොදු දැක්මක්ද, මූලධාර්මික ප්‍රතිපත්තිද, පොදු වැඩපිළිවෙළක් පිළිබඳ මූලික එකඟතා ද සහිත ‘සන්ධානයකි.’ සන්ධානගත ව්‍යාපාරයකි. දේශපාලන පක්ෂ අතර සිදුවන ආකාරයේ ‘සභාගයක්’ නොවේ. ‘පුරවැසි විපක්ෂය’ දේශපාලන පක්ෂ අතර, මැතිවරණ අපේක්ෂාවෙන් සිදුවන ‘සභාගයකින්’ වෙනස්වීමේ ආරම්භය එයයි. පුරවැසි විපක්ෂයේ මෙම සන්ධානමය සමස්තිථිය, එනම් සන්ධානගත සමන්විතතාව, එහි ගතිලක්ෂණ අතර මූලික එක්ක ලෙස සැලකිය යුතුව තිබේ.

පුරවැසි න්‍යාය පත්‍රය බලයට පැන ගැනීමේ  ඉණිමඟක් පමණක්  වු කළ එය ප්‍රශ්ණ කිරීම කළ යුතුමය.

එවැනි සන්ධානගත පුරවැසි විපක්ෂ ව්‍යාපාරයක් සතු මූලෝපායික අරමුණ විය යුත්තේ කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් ගොඩනැගීමට ප්‍රයෝජනවත් අදහසක්, පුරවැසි කණ්ඩායම් අතර දැනට සිදුවන සාකච්ඡාවල ප්‍රකාශයට පත්වන බව අපට නිරීක්ෂණය කළ හැකිය. එම අදහස ප්‍රකාශ වන්නේ, පහත සඳහන් ආකාරයේ සංශයවාදී ප්‍රශ්න මතුකිරීම වෙතිනි; නව පුරවැසි ව්‍යාපාරයක සහායද ලබන ඊළඟ ආණ්ඩුවක්, ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනතා හිතවාදී ප්‍රතිසංස්කරණ සිදුකරාවි යන්න ගැන ඇති සහතිකය කුමක්ද? අතීතයේ සිදුවූ රැවටීම්වලට නැවත වරක් ජනතාව හසු නොවීමට කළ යුත්තේ කුමක්ද? බලය ලබා ගැනීමට බොරු පොරොන්දු දීමේ දේශපාලන පක්ෂ සතු ප්‍රවණතාව බිඳ දැමීමට නව ජනතා ව්‍යාපාරයක් විසින් අලුතෙන් කළ හැකි යමක් තිබේද? මේවා වනාහි, සාධනීය සමාජ-දේශපාලන පරිවර්තනයේ කර්තෘකයන් වීමට දේශපාලන පක්ෂවලට හැකියාවක් හෝ කැපවීමක් හෝ නැති තත්ත්වයක් තුළ, පුරවැසි විපක්ෂ ව්‍යාපාරයක්, එහි දේශපාලන භාවිතය සම්බන්ධයෙන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයකි.

මෙම ප්‍රශ්නයට මුහුණදීම පියවර කිහිපයක් වශයෙන් කළ හැකි බව පෙනේ. එහි පළමුවැනි පියවර ‘පුරවැසි විපක්ෂ ව්‍යාපාරයක්’ යනු දේශපාලන පක්ෂවලට ආදේශකයක් නොවන්නේය යන්න පිළිගැනීමයි. දේශපාලන පක්ෂ දේශපාලන ආයතන වශයෙන් සමාජයේ තිබිය යුතුය. පුරවැසියන් පැත්තෙන් බලන විට, දේශපාලන පක්ෂවල දැනට අවධාරණය වන ප්‍රධානතම වරද, ඒවා සමාජ-දේශපාලන ප්‍රගතියේ නොව, පරිහානියේ කර්තෘකයන් වීමයි. මෙම නිරීක්ෂණය වෙතින් අපට, ඉහත ගැටලුව විසඳීමට අවශ්‍ය දෙවැනි පියවර හඳුනා ගත හැකිය. එය නම්, සමාජ-දේශපාලන ප්‍රගතියේ කර්තෘක බලවේගයක් බවට පත්විය හැකි දේශපාලන බලවේගයක් පවත්නා දේශපාලන පක්ෂ අතරින් හෝ ඒවාට ස්වාධීනව හෝ මතුවීමට අවශ්‍ය පසුබිම සමාජය තුළ සූදානම් කිරීමයි. මේ සඳහා වඩාත්ම විභවතාව තිබෙන්නේ, වාමාංශික නැඹුරුවක් ඇති දේශපාලන ප්‍රවණතාවලට බවද පිළිගැනීමට සිදුවේ. පටු නිකායවාදී ලෙස වාමාංශික නොවන සහ ඒ නිසාම සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දැක්මවල් අතර සංයෝගයක් ගොඩනැගීමට සූදානම් දේශපාලන ප්‍රවණතාවක් සඳහා අවශ්‍ය වාස්තවික පසුබිම දැනටමත් ලාංකික සමාජයේ නිර්මාණය වී තිබේ. ගොඩනැගීමට අවශ්‍ය වී තිබෙන්නේ ඒ සඳහා දෘෂ්ටිවාදී, බුද්ධිමය සහ සාකච්ඡාමය සූදානමයි.

ප්‍රති-ආධිපත්‍යවාදී සමාජ ව්‍යාපාරයක්

තුන්වැනි පියවර නම් ‘පුරවැසි විපක්ෂ සමාජ ව්‍යාපාරයක්’ ලෙසින් අප ඉහත හඳුනා ගත් පුළුල් සමාජ-දේශපාලන ව්‍යාපාරය, පවත්නා ආධිපත්‍යවාදී දෘෂ්ටිවාද, දේශපාලන ව්‍යාපෘති හා දේශපාලන නායකත්වවල ආධිපත්‍යය බිඳ දැමීමට සමත් වන දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කිරීමයි. මෙවැනි දේශපාලන බලවේගයක් සඳහා ආදර්ශ මාදිලියක් අපට දැකිය හැකිවන්නේ, 1920 ගණන්වල සිට ඉන්දියාවේ පැන නැගි කොංග්‍රස් ව්‍යාපාරයයි. කොංග්‍රසය ඉන්දියාවේ ‘දේශීය ධනපති පන්තිය’ විසින් 1880 ගණන්වල ආරම්භ කරනු ලැබුවද, 1920 ගණන්වලින් පසුව සිදුවූයේ එය පුළුල් මහජන ව්‍යාපාරයක් සහ පුළුල් දේශපාලන-සමාජ සන්ධානයක් ලෙස නව දැක්මක්ද, නව භාවිත පද්ධතියක්ද සහිත පරිවර්තනය වීමයි. එය දෘෂ්ටිවාදීමය වශයෙන්ද, සමාජ-පන්ති පදනම අතින්ද, වාර්ගික හා ප්‍රාදේශීය වශයෙන් ද පුළුල් සන්ධානයක්ද විය. එහෙත් ගාන්ධිගේ නායකත්වය යටතේ ඉන්දියානු කොංග්‍රසය පත්වූ පරිවර්තනයෙන් නිර්මාණය වූ වැදගත්ම ජයග්‍රහණය නම්, එහි යටත්විජිත විරෝධී, ප්‍රති-ආධිපත්‍යවාදී ශක්තියයි. ඉන්දියානු සමාජය සහ දේශපාලනය තුළ වර්තමානයේ පවා බලසම්පන්න දේශපාලන ශක්තීන් ලෙස පවතින දේශපාලන ලෞකිකවාදය, සමාජ සාධාරණත්වය, සමාජ සමානාත්මතාව සහ සමූහාණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදය යන ප්‍රතිමානීය මූලධර්ම, එම ප්‍රති-ආධිපත්‍යවාදී දේශපාලනයේ කල්පවත්නා උරුමයන්ය. ලංකාවේ පසුගිය දශක හයකට ආසන්න දේශපාලනයේ නිෂේධනීය අත්දැකීම් පිළිබඳ පසුබිම තුළ, අප රටේ පුරවැසියන්ට අලුතින් සිතන්නට බල කෙරී තිබෙන්නේ එවැනි ප්‍රති-ආධිපත්‍යවාදී දේශපාලන ඉදිරි දර්ශන ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවය. ඔවුන්ගෙන් දැනටමත් විවිධ ආකාරයෙන් ප්‍රකාශ වන අභිලාෂ ප්‍රති-ආධිපත්‍යවාදී දේශපාලන දෘෂ්ටිවාදයත් සහ න්‍යායික ප්‍රවාද බවට පරිවර්තනය කිරීමේ කර්තෘක කාර්යභාරය භාර ගත යුත්තේ, අප ඉහත හඳුනා ගත් ආකාරයේ විකල්ප පුරවැසි ව්‍යාපාරවල සිටින බුද්ධි ශ්‍රේණීන්ය.

ප්‍රති-ආධිපත්‍යවාදී දෘෂ්ටිවාදයක්ද, ඒ මත පදනම් වූ පරිවර්තනීය දේශපාලන ව්‍යාපෘතියක්ද නිර්මාණය කිරීම ලංකාවට සුදුසු දේශපාලන විකල්ප ගැන සාකච්ඡාවල දැනට යෙදී සිටින ප්‍රගතිශීලී බුද්ධි කේඩරවලට භාරගත හැකි වගකීමක්ද වේ. ඒ සඳහා හැකියාව ඇති පිරිස් ජවිපෙ, පෙරටුගාමී සහ අනෙකුත් ප්‍රගතිශීලී-වාමාංශික සංවිධානවලද, විසිරී ඇති දේශපාලන ක්‍රියාකාරී කණ්ඩායම් අතරද සිටිති. ■

( අනිදද

Archive

Latest news

බන්ධනාගාර පාලනයේ අවළම් හැසිරීම පෙන්වන එළිමහන් සිරකදවුරේ මිනී මැරුම

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ පහ​ත ඡායාරූපයේ ඇති බැනර් එක ඉදිරියේ තිබෙන අසුනේ කිසිවෙකු වාඩි වෙනවාට වඩා හිස්ව තිබෙනු දැකීමට අපගේ වැඩි කැමැත්තක් ඇත. ඒ, එම...

වරාය නගරය බලන්න ටිකට් අස්ප ගණන්! අයෙකුට අවම රු.5000යි.

ඡාායරූපය: ශෙහාන් ගුණසේකර මුහුණූ පොතෙනි. කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට දේශීය ජනයා පැමිණෙන තත්වය තුළ එහි ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ගෙවිය යුතු ගාස්තු කොළඹ...

ප්ලාස්ටික් සෙල්ලම් බඩු පොලිසියට ආයුධ ගබඩාවක් වෙලා – ඕශල හේරත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී...

පාස්කු ඉරිදා ප්‍රහාරය: දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

මානව හිමිකම් කඩකිරීම් වලට තමන් අනුබල දී නොමැති බව ජනාධිපතිවරයා පවසද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින සැකකරුවන් හැට තුන් දෙනකු තව...

Related news

බන්ධනාගාර පාලනයේ අවළම් හැසිරීම පෙන්වන එළිමහන් සිරකදවුරේ මිනී මැරුම

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ පහ​ත ඡායාරූපයේ ඇති බැනර් එක ඉදිරියේ තිබෙන අසුනේ කිසිවෙකු වාඩි වෙනවාට වඩා හිස්ව තිබෙනු දැකීමට අපගේ වැඩි කැමැත්තක් ඇත. ඒ, එම...

වරාය නගරය බලන්න ටිකට් අස්ප ගණන්! අයෙකුට අවම රු.5000යි.

ඡාායරූපය: ශෙහාන් ගුණසේකර මුහුණූ පොතෙනි. කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට දේශීය ජනයා පැමිණෙන තත්වය තුළ එහි ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ගෙවිය යුතු ගාස්තු කොළඹ...

ප්ලාස්ටික් සෙල්ලම් බඩු පොලිසියට ආයුධ ගබඩාවක් වෙලා – ඕශල හේරත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී...

පාස්කු ඉරිදා ප්‍රහාරය: දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

මානව හිමිකම් කඩකිරීම් වලට තමන් අනුබල දී නොමැති බව ජනාධිපතිවරයා පවසද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින සැකකරුවන් හැට තුන් දෙනකු තව...