Tuesday, April 16, 2024

යුගදනවි ගිවිසුම නීති විරෝධී වඳුරු කුණුහරුපයක්..! මෙන්න අලුත්ම සාක්කි..! – චන්ද්‍රප්‍රදීප්

(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.16, ප.ව.6.20) කැබිනට්ටුවත් නොමග යවා,  පාර්ලිමේන්තුවට ද, ජනතාවට ද හොරෙන් අත්සන් කරන ලද යුගදනවි බලාගාරය ඇමරිකාවට විකිණීමේ දේශද්‍රෝහී, නීති විරෝධී ගිවිසුම ‘වඳුරු කුණුහරුපයක්’ බවට තවත් සාක්ෂි රැසක් ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ.

කැබිනට්ටුවේ අනුමැතිය ලැබුනේ New Fortress Energy නම් සමාගමකට විකිණීමට වුවද දැන් විකිණීමේ ගිවිසුම අත්සන් කර ඇත්තේ NFE Sri Lanka Power Holdings LLC නම් සමාගමක් සමග බවත්, එම ගිවිසුම වසර 2 ක් යනතුරු රහසක් ලෙස සඟවා ගෙන සිටිය යුතු බවට දෙපාර්ශවය එකඟ වී ඇති බවත් දැනටමත් ජනතාව දනිති.

ඊට අමතරව ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී ඇති පරිදි ගිවිසුමේ ඇති නීති විරෝධී කාරණා කිහිපයක් පහත පරිදි ය.

1) ගිවිසුම අත්සන් කර ඇති  NFE Sri Lanka Power Holdings LLC සමාගම පිහිටා ඇති ස්ථානය පිළිබඳ ලිපිනය වැරදි ය. ගිවිසුමේ ස්ථාන දෙකකම සඳහන් වන්නේ 1209 Orange Street, Wilmington, DE 19801, United States of America යන ලිපිනය යි. මෙය පිහිටා ඇත්තේ වොෂින්ටන් හි යයි පාර්ලිමේන්තුවේ දී අනුර දිසානායක සඳහන් කළ ද එය ඔහුට ද වූ වැරදීමකි. මෙය පිහිටා ඇත්තේ ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ය. මෙහි සඳහන් Orange Street නම් ස්ථානයක් නැත. ඇත්තේ North Orange Street නම් ස්ථානයකි. North යන්න සඳහන් නොවන්නේ නම් එවැනි ලිපිනයක් අසත්‍ය ලිපිනයකි. එය අත් වැරදීමකින් සිදුවුනා යයි සිතිය නොහැකිය. රටවල් දෙකක් අතර අත්සන් තබන ගිවිසුමක දී එවැනි වැරදීමක් සිදුවිය නොහැකිය. එසේ සිතා මතා North කියා සඳහන් නොකරන්නට ඇත්තේ එකී සැබෑ ස්ථානයේ ඇති හොරකම් වලට අනුබල දෙන ලක්ෂණය නිසාම විය යුතුය.

2) ඩෙලවෙයාර්හි 1209, North Orange Street හි ලිපිනයේ ඇත්තේ අපූරු ස්ථානයකි. එනම් එය බදු වංචා කිරීම සඳහාම සූදානම් සමාගම් සඳහා ලිපිනය කුලියට දෙන ස්ථානයකි. ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සමහර නීති වෙනස් ය. ඒ අනුව ඩෙලවෙයාර්හි බදු සඳහා පවතින නීතියේ හිලක් පාවිච්චි කිරීම සඳහාම නොයෙක් සමාගම් ඉහත ස්ථානයේ පිහිටා ඇති Corporation Trust Center (CT Corporation) තම සමාගම් ලියාපදිංචි කර තිබේ. ගණන සුළු පටු නැත. 2012 වසර වෙද්දී ඇමරිකානු සහ විදේශ සමාගම් 2,50,000 ක් එහි ලියාපදිංචි කර තිබිණ. මේ වන විට එය මිලියනය ඉක්මවා ඇත. විහිළුව නම් ඩෙලවෙයාර්හි එතරම් ජන ගහනයක් වත් නොමැති වීමය.  Corporation Trust Center ආයතනය එහි ලිපිනය කුලියට දී ලියාපදිංචි කර ඇති සමාගම් වෙනුවෙන් කිසිවෙකුට වග කියන්නේ ද නැත. කෙසේ වෙතත් 2012 වසරේ දී පමණක් එහි ලියාපදිංචි සමාගම් විසින් ඇ.ඩොලර් බිලියන 9.5 ක් බදු වංචා කර තිබේ. යුගදනවි විකිණීමේ ගිවිසුම අත්සන් කළ NFE Sri Lanka Power Holdings LLC නම් සමාගමද ඉහත කී Corporation Trust Center හි ලියාපදිංචි එකක් බව ගිවිසුමේ ඇටෝර්නි බලය පැවරෙන කොටසේ සඳහන් වේ.

3) මෙම හොර ගිවිසුමේ සඳහන් NFE Sri Lanka Power Holdings LLC නම් සමාගම් නාමයේ  NFE යන්නෙන් New Fortress Energy නම් මව් සමාගමේ නම කියැවෙන බවක් එකී ගිවිසුමේ කොතැනකවත් සඳහන් වන්නේ නැත. අවශ්‍ය නම් එය නිමල්කා සහ ෆර්ඩිනැන්ඩුගේ මුලකුරු වලින් කියැවෙන එනර්ජි සමාගමක් කියාද කිව හැකිය. අපට එසේ සිතෙන්නේ මෙනිසා ය.

4) යුගදනවි බලාගාරයේ අයිතියෙන් 50% ක් හිමි මුදල් අමාත්‍යාංශයට ය. විකුණා ඇත්තේ ඉන් 40% කි. එහිදී මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් අත්සන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් වන එස්. ආර්. ආටිගල හෙවත් සජිත් රුචික ආටිගල ය. මිල දී ගත් NFE Sri Lanka Power Holdings LLC නම් සමාගම වෙනුවෙන් අත්සන් කර ඇත්තේ ඇටෝර්නි බලපත්‍රයකින් බලය ලැබූ ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් Daniel Christopher Knight නමැත්තෙකි. පුදුමයට කාරණය වන්නේ ඩැනියල්ගේ සාක්කි කාරයන් දෙදෙනාම ලංකාවේ දෙදෙනෙක් වීම ය. අයෙක් විකුණුම්කාර ආටිගලගේ ද සාක්කි කාරයා ය. ඔහු නම් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ‘එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු’ ය. ඔහු මෙහි අත්සන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් ලෙස ය. විකුණුම්කරුගේ සාක්කිකාරයා ගැණුම්කරුගේ ද සාක්කිකාරයා වීම ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ගිවිසුමක තිබිය හැක්කකි. ගැණුම්කාර ඩැනියෙල්ගේ අනෙක් සාක්කි කාරිය ‘නිමල්කා මොරහෙල’ නම් HnA Consulting & Events නම් ආයතනයක අයිතිකාරියයි. ඇය මෙහි අත්සන් කර ඇත්තේ ‘ව්‍යාපෘති සම්බන්ධීකාරක’ කියා සඳහන් කරමිනි. රටේ මහජන දේපොලක් විකිණීමේ දී සාක්කිකාරියක් වීමට ඇය කොහෙන් කඩා පාත් වූ එකියක් ද? කුමන ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කරනවාද? යි නොදනී.

5) මෙම ගිවිසුමේ නීති විරෝධී භාවය තවත් තහවුරු වන ලියැවිල්ල නම් NFE Sri Lanka Power Holdings LLC නම් සමාගම වෙනුවෙන් අත්සන් තැබීමට ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් Daniel Christopher Knight නමැත්තාට බලය ලබා දෙන ඇටෝර්නි බලපත්‍රය යි.

ඩැනියල්ට බලය දෙන්නේ NFE Sri Lanka Power Holdings හි ප්‍රධාන මූල්‍ය නිලධාරී (Chief Financial Officer) ලෙස හඳුන්වාගන්නා ක්‍රිස්ටෝපර් ගුන්ටා (Christopher Giunta) නමැත්තෙකි. NFE Sri Lanka Power Holdings සමාගමේ අධ්‍යක්ෂ වරුන් කව්ද? නිලධාරීන් කව්ද? යන්න හෙළිදරව් වන්නේ නැති අතර ගුන්ටා එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී යැයි ගිවිසුමේ සඳහන් ය. ප්‍රශ්නය මතු වන්නේ වෙනත් තැනක දී ය. බලය ලබා දෙන ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් යනු New Fortress Energy නම් මව් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක යැයි ලින්ක්ඩින්හි ඔහු විසින්ම සඳහන් කර තිබේ. එසේම ක්‍රිස්ටෝපර් ගුන්ටා යනු එකී මව් සමාගමේ ද ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස සඳහන් වේ. සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියෙකු එකී නිලයට වඩා ඉහලින් හිඳින අධ්‍යක්ෂක මණ්ඩලයේ කළමණාකාර අධ්‍යක්ෂකට  ඇටොර්නි බලයක් පිරිනමන්නේ කෙසේ ද යන්න බරපතල ප්‍රශ්නයකි.

අනෙක් අතට එහි සඳහන් වන ආකාරයට අත්සන් කළ ඩැනියෙල්ට පැවරූ ඇටෝර්නි බලය ඕනෑම මොහොතක කලින් දැනුම් දීමකින් තොරව කොම්පැනියට යලි පවරාගෙන ඔහුට පයින් ගසා එළවා දැමිය හැකිය. එවිට ඩැනියෙල් අත්සන් කළ ගිවිසුම වෙනුවෙන් වග වෙන්නේ කව්දැයි සඳහන් වන්නේ නැත.

මෙම ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් ගුප්ත චරිතයකි. ඇටොර්නි බලපත්‍රයේ පවා සඳහන් වන්නේ Daniel Christopher Knight (”Mr. Knight”) ලෙස ය. නීතිමය ලියැවිල්ලක එසේ පුද්ගලයෙකුගේ නමක් සඳහන් කර වරහන් තුන ඉන්වර්ටඩ් කොමා ඇතුලේ මිස්ටර් කියා වෙනම කෑල්ලක් සඳහන් කළ යුතු නැත. එසේ කෙළේ ඇයි..? අනෙක් අතට ඔහුගේ සේයාරුවක් අන්තර් ජාලය තුල සොයා ගැනීමට නොහැකි ය. ගිවිසුමේ අත්සන්කරුවා ගුප්ත චරිතයක් වූයේ ඇයි?

6) මෙකී ඇටෝර්නි බලපත්‍රයේ තවත් ප්‍රධාන නීති විරෝධී කාරණයක් තිබේ. එනම් බලය පවරන අය මිස බලය ලැබූ අයගේ අත්සනක් නොමැති වීමයි.  NFE Sri Lanka Power Holdings සමාගම වෙනුවෙන් ඩැනියෙල්ට බලය පවරා දීමට ඇටා්ර්නි බලපත්‍රයට අත්සන් තබා ඇත්තේ පෙර කී ප්‍රධාන මූල්‍ය නිලධාරී ක්‍රිස්ටෝපර් ගුන්ටා සහ කැමරන් මැක්ඩොගල් (Cameron MacDougall) නමැත්තෙකි. මෙකී කැමරන් Permanent Capital & Fortress Private Equity නම් සමාගමක General Counsel වරයා ලෙස සඳහන් වනවා මිස NFE Sri Lanka Power Holdings සමාගමේ කිසිවෙකු යැයි සඳහන් වන්නේ නැත. එසේම ඔහු අත්සන් තබා ඇත්තේ කිසිවෙකුගේ බලය ලත් අත්සන්කරු ලෙසය. ඒ කාගේ බලය දැයි සඳහනක් නැත.

7) මෙම ඇටෝර්නි බලපත්‍රය අවනීතික, බල රහිත එකක් වීමට ප්‍රධානම කාරණය නම් ඇටෝර්නි බලපත්‍රයකට අත්සන් කළ යුතුම පුද්ගලයාගේ අත්සන නොමැති වීමයි. එනම් ඇටෝර්නි බලපත්‍රයකට අත්සන් කළ යුතුම පුද්ගලයා වන්නේ බලය ලබා ගන්නා පුද්ගලයා ය. බලය පවරන අයගේ අත්සන් නැතත් ප්‍රශ්නයක් නැත. මෙම බලපත්‍රයේ බලය ලබා ගන්නා ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් අත්සන් තබා නැත. ඒ අනුව මෙය බල රහිත ඇටෝර්නි බලපත්‍රයකි. ඒ නිසාම එවැනි  බලයක් නොමැති අයෙකු අත්සන් තැබු මුළු ගිවිසුමද බල රහිත ලියවිල්ලකි.

8) මෙම ඇටෝර්නි බලපත්‍රය තවත් අතෙකින් හොර එකක් කියා සැක කළයුතු එකකි. එසේ වන්නේ මෙය අත්සන් කළ දිනය අනුව ය. මෙය අත්සන් කළ දිනය ලෙස සඳහන් වන්නේ 2021 සැප්තැම්බර් 16 වැනි දා ය. ඒ නිව්යෝර්ක් නගරයේ ජුලියානා මේඩ් (Juliana Mead) නම් නොතාරිස් වරිය ඉදිරියේ ය. ඇටෝර්නියකට අත්සන් තබද්දී නොතාරිස් ඉදිරියේ පෙනී සිටිය යුත්තේ බලය පවරන්නා නොව බලය ලබා ගන්නා තැනැත්තා ය. මන්ද යත් බලය ලබා ගන්නා පුද්ගලයා සත්‍ය වශයෙන් ජීවතුන් අතර සිටින අයෙක් ද කියා නොතාරිස් දැන ගත යුතු නිසා ය. ඒ අනුව බලට ලබා ගත් ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් 16 දා නිව්යෝර්ක්හි නොතාරිස් ඉදිරියේ පෙනී සිටිය යුතුය. උදේ 9 ට නොතාරිස් කාර්යාලය විවෘත කරද්දීම ඩැනියල් එහි පෙනී සිටියා යයි සිතමු. ඒ වන විට ලංකාවේ වේලාව 16 දා රාත්‍රී 7.30 ය. ඩැනියල් ගිවිසුම අත්සන් තැබීම පිණිස ශ්‍රී ලංකාවේ පෙනී සිටියේ සැප්තැම්බර් 17 දා සවස ය. (ගිවිසුමේ සඳහන් දිනය සැප්තැම්බර් 17 ය) නිව්යෝර්ක් සිට කොළඹට ගුවන් මගින් පැය 24 ක් තුල පැමිණිය නොහැකිය. එසේ පැමිණියා නම් ඒ ගුවන් මගින් නොව ඍද්ධි බලයෙන් විය යුතුය.

මෙකී ඇටෝර්නි බලපත්‍රයේ ඩැනියෙල්ගේ අත්සන නොමැත්තේ 16 දා ඩැනියල් නිව්යෝර්ක් හි නොසිටි නිසා විය යුතුය. එසේ නැතිනම් මෙම ඇටෝර්නි බලපත්‍රය ඩැනියෙල් ගිවිසුම අත්සන් කළ පසුව සකස් කළ එකක් විය යුතුය. කෙසේ වෙතත් මේ දිනය පිළිබඳ ප්‍රශ්නය අනුව මෙකී ඇටෝර්නි බලපත්‍රය හොර එකක් කියා සැක කළ හැකිය. ඇටෝර්නි බලපත්‍රය හොර එකක් නම් ගිවිසුම ද අවලංගු එකකි.

9) මෙකී New Fortress Energy නම් මව් සමාගම පිළිබඳවද ප්‍රශ්න රාශියක් පැන නගී. ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ 2021 ජූලි 8 වැනිදා නිල ප්‍රවෘත්තියක් පළ කරමින්  කෙරවළපිටිය බලාගාරය සහ ගෑස් සැපයීම පිළිබඳව තම සමාගම ශ්‍රී ලංකාව සමග ගිවිසුමක් අත්සන් කළ බව නිවේදනය කර ඇත. එහි කොතැනකවත් NFE Sri Lanka Power Holdings LLC නම් ඔවුන්ගේ අනුබද්ධ (Subsidiary) සමාගමක් ගැන සඳහනක් නැත.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමක දී ඇමරිකානු සුරැකුම් සහ විනිමය කොමිසම මගින් 2021 මාර්තු 16 වැනි දා ප්‍රකාශිත New Fortress Energy සමාගමේ වාර්ෂික ගිණුම් වාර්තාවක් අනුව ඊට අනුබද්ධ සමාගම් 117 ක ලැයිස්තුවක් හමුවිය. එහි 94 වැනි අනුබද්ධ සමාගම ලෙස NFE Sri Lanka Power Holdings LLC සමාගමේ නම සඳහන් වේ. (බලන්න https://sec.report/Document/0001140361-21-008724/brhc10021589_ex21-1.htm )

New Fortress Energy සමාගම් ජාලයේ ආරම්භකයා මෙන්ම සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සඳහන් වන්නේ Wesley Robert Edens ය. නිව් ෆෝර්ට්‍රම් එනර්ජි සමාගම කෙරවළපිටිය බලාගාරය සහ ගෑස් සැපයීම පිළිඳව ශ්‍රී ලංකාව සමග ගිවිසුම අත්සන් කිරීම ගැන ඔහු ට්විටර් පණිවුඩයක් ද ජුලි 8 වැනි දා නිකුත් කර තිබිණ.

එසේ නමුත් ඉහත ලංකාව සමග අත්සන් කළ ගිවිසුමේ කිසිදු තැනෙක ඔහුගේ නමක් හෝ ඔහු විසින් කිසිවෙකුට බලය පැවරූ කතාවක් සඳහන් වන්නේ නැත.

10) ඉහත කී වෙස්ලි රොබට් ඊඩ්න් නිල වශයෙන් කියන පරිදි ඔහුගේ New Fortress Energy සමාගම් ජාලය ආරම්භ කර ඇත්තේ 2014 වසරේ දී ය. 2021 මාර්තු 16 වන විට  ඊට අනුබද්ධ විවිධ වර්ගයේ සමාගම් 117 ක් තිබේ. මේ වන විට ඒ ගණන තවත් වැඩි වී ඇතිවාට සැකයක් නැත. මන්ද යත් ඔහු 2014 සමාගම ආරම්භ කළ දිනයේ සිට මාසයකට එකක් පමණ අනුබද්ධ සමාගමක් ආරම්භ කර ඇති නිසාය.

මෙපමණ සමාගම් හිමි New Fortress Energy සමාගම් ජාලයේ සේවක සංඛ්‍යාව 231 කි. ඒ අනුව එක සමාගමක ඉන්නා සේවක සංඛ්‍යාව යාන්තම් දෙදෙනෙක් පමණ විය යුතුය. පුදුමයි ඒත් ඇත්තකි.

මෙපමණ සමාගම් හිමි වෙස්ලි රොබට් ඊඩ්න් ලෝකයේ ධනවතුන් අතර අඩුම ගණනේ මුල් දහය පහලොව අතර හෝ සිටිය යුතු නමුත් එසේ නැත. එයද තවත් පුදුමයකි.

11) අවසානයේ කිව යුත්තේ එකකි. ලංකාවේ දහ අට සන්නි තොවිලයකදී කෙතරම් යකුන් වෙස් බැඳගෙන පිටියට පැමිණ අඩව් ඇල්ලුව ද ඒ සියළු යකුන්ට ඇඳ ඇත්තේ සාලමන් ගුරුන්නාන්සේ ය. බෙරය ගසා ඇත්තේ සාලමන් ගුරුන්නාන්සේ ගේ හොඳම ගෝලයා ය.

( ලංකා ඊ නිව්ස් වෙතිනි)

Archive

Latest news

Related news