ඡායාරූපය: වර්ගවාදී ප්‍රහාරකයෝ කුකුලු ගොවිපලකට ගිනි තබා එහි ආරක්ෂාවට සිටි දෙමළ ජාතිකයා කපා කොටා මැරූහ.
2014 ජූනි 15වන දින අලුත්ගම, දර්ගා නගරයෙහි සහ බේරුවල මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රහාරයන් ඇවිල ගියේ චීවරධාරී ඥණසාර විසින් කරන ලද ප්‍රකෝපකාරී වචාල කතාවෙන් පසු බව ඉතිහාසීය සත්‍යයකි. එමෙන්ම මෙවැනි ප්‍රහාරයක් සඳහා කලින්ම සූදානම් වූ පිරිස් එහි පැමිණ සිටි බවද ඒ තරමටම ඇත්තය.
රටක ජන ජීවිතයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම රජයක මූලික යුතුකමකි. කවර පුද්ගලයකු හෝ කවර කණ්ඩායමක් විසින් හෝ ජන ජීවිතයේ නීතිය සහ සාමය ප්‍රචණ්ඩ ලෙස කඩ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම රාජ්‍යයක පරම යුතුකමයි.
අලුත්ගම සහ බේරුවල මුස්ලිම් ජනයාට එරෙහිව මුදා හරින ලද වාර්ගික ප්‍රහාරයන් සම්බන්ධයෙන් පියවර ගත යුතු වූයේ ද ඒ අනුවය.
මේ වනාහී 1983 දෙමළ විරෝධී වාර්ගික ප්‍රහාරයන්ගෙන් පසු මෙරට ඇති වූ බරපතලම වාර්ගික ප්‍රචණ්ඩත්වයයි.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පුද්ගලයින් 88 දෙනෙකුට බරපතල තුවාල සිදුවිය. ඒ අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් ද ඇතුළත් විය. වැඩිහිටියන්, කාන්තාවන්, ළමුන් සහ තරුණයින් 100 කට අධික පිරිසක් සුළු තුවාල ලැබූහත නොවේ. පුද්ගලයන් 8,000 ක් පමණ තාවකාලිකව අවතැන් විය. තුවාල ලැබූ සහ අවතැන් වූවන්ගෙන් අති බහුතරය මුස්ලිම් ජාතිකයන් විය.
මුස්ලිම් ජාතිකයන් සතු ව්‍යාපාර හතළිස් එකක් විනාශ විය. ඉන් 11ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. මුස්ලිම් වාසස්ථාන 500කට පමණ ද ප්‍රහාර එල්ල විය. බොහෝ නිවෙස් ගිනිබත් කරන ලදී. තවත් නිවාස විශාල ප්‍රමාණයකට බරපතල හානි සිදු විය. අවම වශයෙන් නිවාස 25 ක් සම්පූර්ණයෙන්ම ගිනිබත් විය. මුස්ලිම් ජාතිකයන් සතු වාහන ගණනාවක්ද ප්‍රහාරකයින්ගේ ඉලක්ක බවට පත් විය.
2014 ජූනි 16 වැනි දින රාත්‍රියේ 50-60 දෙනෙකුගෙන් යුත් මැර පිරිසක් තුවක්කු, මොලොටොව් කොක්ටේල් සහ පිහිවලින් සන්නද්ධව කඩ සාප්පු 26ක් සහ නිවාස 9ක් විනාශ කිරීමත් සමඟ ප්‍රචණ්ඩත්වය වැලිපැන්න දක්වා පැතිර ගියේය. වැලිපැන්නට නුදුරින් හේනගම ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට අයත් කුකුළු ගොවිපළක් වටලා මැර පිරිසක් විසින් නිරායුධ දෙමළ ආරක්ෂක නිලධාරියකු වූ කරුප්පන් සිවලිංගම් (58) කපා කොටා ඝාතනය කරන ලද්දේ ය.
මේසා විනාශයකට වගකිය යුතු අයෙක් මේ දක්වා ශ්‍රී ලංකා රජ්‍ය විසින් අධිකරණය හමුවට පමුණුවා නැත. එසේ නමුත් යුද්ධයේදී විපතට පත් සිය ඥතීන් සාමකාමීව අනුස්මරණය කිරීමට උත්සාහ දරන පිරිස් අත්අඩංගුවට ගනිති.
එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුුවේ අගමැති වූයේ දි.මු. ජයරත්නය. එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් එම ජූනි 17වන දින පාර්ලිමේන්තුවට අගමැතිවරයා මෙසේ කීවේය:
“අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් පිළිබඳ රහස් පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවත් දැනට කෙරී ගෙන යන මෙම කටයුතු අවසන් වූ වහාම මෙම නීතිය හා සාමය කඩ කිරීම සඳහා වගකිය යුතු සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරනු ඇත.” ( 2014 ජූනි 17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව /692)
ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකා රහස් පොලිසිය විසින් එවැනි විස්තීර්ණ පරීක්ෂණයක් කරන ලදී. එය කරන ලද්දේ දැන් විශ්‍රාමික අමරදේව නම් පොලිස් අධිකාරීවරයකු විසිනි. එම වාර්තාව රහස් පොලිසිය විසින් ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලදී. එවකට නීතිපති වූයේ රියර් අද්මිරාල්වරයකු සහ නාවික හමුදාවේ යුද අධිකරණයන්හි විනිසුරු ධුරය දරා තිබූ නීතිඥ සරත් පාලිත ප්‍රනාන්දුය.
ඔහු විසින් මෙම පරීක්ෂණ වාර්තාව බාර දෙන ලද්දේ එවකට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ රොහන්ත අබේසූරියටය. අද රොහන්ත අබේසූරිය නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිටර් ජෙනරල්වරයෙකි.
අලුත්ගම සහ බේරුවල ප්‍රචණ්ඩ ක්‍රියා විමසා බැලූ රහස් පොලිසියේ අමරදේව වාර්තාව මගින් එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් කළ යුතු අයකු ලෙස චීවරධාරි ගලබොඩඅත්තේ ඥණසාර දක්වා තිබුණි.
මෙම වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නොතිබූ බැවින් 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව මෙම වාර්තාව යළි ඉදිරියට ගැනීමට තීරණය කර ඒ බව නීතිපති දෙපාර්තමේන්තුවට දන්වන ලදී.
එසේ නමුත් ඒ වන විට එවැනි වාර්තාවක් රොහන්ත අබේසූරිය බාරයේ තිබුණේ නැත. එය සොයා ගැනීමට දරන ලද ප්‍රයත්නයන් අසාර්ථක විය.
එමෙන්ම රහස් පොලිසිය විසින් සකස් කරන සෑම වාර්තාවකම පිටපතක් එහි ලේඛනාගාරයට යවන නමුත් දැන් එම ලේඛනාගාරයේද එම අමරදේව වාර්තාව නැති බව වාර්තා වේ.
එම වාර්තාව බාරව සිටි රොහන්ත අබේසූරිය දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ තීරණාත්මක කාර්යන් ඉටු කරමින් සිටින සොලිසටර් ජෙනරල්වරයෙකි.
දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසම යනුවෙන් පත් කරන ලද උපාලි අබේරත්න කොමිසමෙහි රජයේ නීතිඥයා වූයේ ඔහුය. එම කොමිසම මගින් දෙන ලද බොහෝ තීන්දු නීති විරොධී එ්වාය. ඒම තීන්දු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා දුන්නේ ඔහුය. එම තීරණ මගින් රාජපක්ෂවාදී දේශපාලනඥයින් නිදහස් කිරීමටත් විපක්ෂ දේශපාලනඥයින්ට දඩුවම් කිරීමටත් නියම කර තිබේ.
එම කොමිසම විසින් සිය වාර්තාව මත යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් සහ තවත් ප්‍රකට පුද්ගලයින් ගණනාවකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කරන ලදී.
එළෙස ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පියවර ගැනීම පිනිස ජනාධිපති රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලදී.
එම කොමිසමෙහි සභාපති වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනය. ඊටත් වඩා එම කොමිසමෙහි ද රජයේ නීතිඥයා වන්නේ මතු සඳහන් සොලිසටර් ජෙනරල් රොහන්ත අබේසූරියමය.
පසුගිය කාලය පුරා මෙම කොමිසම විවිධ පුද්ගලයින්ගෙන් සාක්කි සටහන් කර ගෙන තිබේ. එම ක්‍රියාදාමය බාරව සිටින්නේද සොලිසටර් ජෙනරල් රොහන්ත අබේසූරිය වේ.
හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ අක්‍රීය කරන්නැයි දැන් අධිකරණය හමුවට ගොස් තිබේ. මෙයට පෙර නීතිපති දෙපාර්තමේනතුවේ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙක් වන ජනක බණ්ඩාරය ද රොහන්ත අබේසූරිය නීතිඡ සේවය සැපයූ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වන සේ අධිකරණය හමුවට ගියේය.
රාජපක්ෂ ආණ්ඩුවේ ඊළඟ දේශපාලන කුරුමානම විය හැකි මෙම ප්‍රජා අයිතිය අහෝසි කිරීම සාර්ථක වනු ඇත්තේ ඒ සඳහා පාර්ලිමේන්තුවෙහි 2/3ක බහුතර ඡන්දයක් ලබා ගත හැකි නම් පමණි.
චීවරධාරී ඥණසාර ගගැන පරීක්ෂණ වාර්තාව අතුරුදහන් වූ අතර දැන් සිදුවෙමින් යන්නේ විපක්ෂ දේශපාලනඥයින්ගේ ප්‍රජාඅයිතිය අහොසි කිරීමේ කූඨ දේශපාලන නීතිමය ක්‍රියාවලියකි.
මෙම ක්‍රියාවලීන් දෙකම මැද එකම නීතිඥවරයකු සිටීම පුදුමයට කරුණක් නොවේ.