Wednesday, April 24, 2024

උතුරේ සිවිල් වැසියන්ට තවත් පොලිස් පහරදීමක්!

(MediaLK) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පලෙයි ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකට ඇතුළු වූ පිරිසක් එම ආපන ශාලාවේ රැඳී සිටි පිරිසකට පහර දී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
එසේ පැමිණි පිරිස අතර පලෙයි පොලිසියේ ස්ථානාධිපතිවරයා ද සිටි බව ඔවුහු පවසති. ස්ථානාධිපතිවරයා යැයි හැඳින්වෙන පුද්ගලයකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද MediaLK.com වෙත ලැබී තිබේ. පොල්ලක් වැනි යමක් අතැතිව පසුගිය 24 වැනිදා එම රාත්‍රී ආපන ශාලාවට කඩා වැදුණු මේ පිරිස, එහි මුදල් අයකැමි ඇතුළු පිරිසට පහර දෙන අයුරු එම සීසීටීවී දර්ශන සහිත වීඩියෝවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකුගෙන් MediaLK විමසීමක් කළ අතර, ඔහු ප්‍රකාශ කළේ මුව ආවරණ (මාස්ක්) නොමැති නිසා එම පහරදීම සිදුකර ඇති බවට පොලිසිය පාර්ශ්වයෙන් පැවසූ බවයි. මේ ගැන සොයාබැලීමට සහකාර පොලිස් අධිකාරිවරයකු පත්කර ඇති බව ද එම නිලධාරියා කීවේය.
මුව ආවරණ දමාගෙන ආපන ශාලාවේ ආහාර ගත නොහැකි බවත්, ආහාර ගැනීමට නම් එම ආවරණ ගැලවිය යුතු බවත්, මුව ආවරණ නොමැති වීම පහරදීමට හේතුවක් නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීහු කියති.
මේ සම්බන්ධයෙන් මේ වන තෙක් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැති බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා පැවසීය. පැමිණිල්ලක් නොකිරීමට හේතුව පොලිසියෙන් සිදුකරන බලපෑම් බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පලෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලරත්න මහතාගෙන් MediaLK විමසීමක් කළ අතර, ඔහු ප්‍රකාශ කළේ තමන් වාහනයක යන ගමන් නිසා සුළං පහරේ ශබ්දයට හරියට කියන දෙයක් නෑසෙන බවයි.
මේ ආකාරයට උතුරු පළාතේ ව්‍යාපාරිකයන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් ම පසුගිය කාලයේ වාර්තා විය. කිලිනොච්චිය ප්‍රදේශයේ ම ව්‍යාපාරිකයකුගෙන් උසස් පොලිස් නිලධාරියකු අරක්කු බෝතල් ඉල්ලන හඬපටයක් ද මීට ටික කලකට ඉහතදී නිකුත් විය.
palei-1
palei-2
palei-3

Archive

Latest news

Related news