Saturday, April 20, 2024

මුලතිව් මාධ්‍යවේදියාට පහර දුන් කතාව කලින් සූදානම් කරගත් නාටකයක් – යුද හමුදාව; මේ පරණ තනුවකට අලුත් වචන දැමීමක් – මාධ්‍යවේදීන්

මුලතිව්හි නිදහස් මාධ්‍යවෙිදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට යුදහමුදාව පහර නොදුන් බවත් යුද හමුදා සෙබළුන් ඉදිරියට එද්දී පස්සෙන් පස්සට ගිය ඔහු සිය යතුරු පැදියේ ගැටී ඇද වැටී තුවාල ලැබූ බව් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව ඉංග්‍රිසි බසින් ප්‍රකාශයක් අද නිකුත් කර තිබේ.

එම ප්‍රකාශය කියා සිටින්නේ මෙම සිදුවීම කලින් සූදානම් කරගත් පිටපතක් බවත් පහර දුන් බවක් පෙන්වීමට ඔහුගේ ජයාරූප ගැනීමට පැමිණියේ කලින් සූදනම්ව සිටි පිරිසක් බවයි.

එම ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

නිදහස් මාධ්‍යවේදියෙකු වන මුලතිව් විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතාට සොල්දාදුවන් විසින් එල්ල කළ බව කියන ප්‍රහාරයක් පිළිබඳව ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ එහි හමුදා පොලිසියට දැනුම් දීම මත මෙම නිශ්චිත ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි 682 බලසේනාවේ භට පිරිස් ද ඇතුළුව එම සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.

විවිධ සමාජ මාධ්‍ය වේදිකා, බොහෝ දුරට ස්වකීය අවශ්‍යතා මත, රටේ සමහර මුද්‍රිත මාධ්‍ය සමඟ, එම සිද්ධිය පිළිබඳ සත්‍යාපනය නොකළ, අතිශයෝක්තියෙන් හා සත්‍ය වශයෙන්ම වැරදි අදහස් ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී අදාළ සොල්දාදුවා ‘ආපදාවට පත්’ මාධ්‍යවේදියාගෙන් විමසා ඇත්තේ පාර අයිනේ මුල්ලිවයික්කාල් නාමපුවරුව ඇතුළු රාජකාරියේ යෙදී සිටින භට පිරිස් සමඟ එම ස්ථානය රූගත කරන්නේ ඇයිද යන්නය.

සෙබළා ඉහත මාධ්‍යවේදියා වෙත ළඟා වීමට පටන් ගැනීමත් සමඟම ඔහු රූගත කිරීම් අතරතුර පසුපසට යන්නට පටන් ගත් නමුත් නාම පුවරුවට මීටර් කිහිපයක් ඔබ්බෙන් නවතා තිබූ ඔහුගේම යතුරුපැදියට එක්වරම වැදී ඉඩමක කටු කම්බි වැටක් තිබූ ස්ථානයට උඩින් වැටී ඇත. මඩ සහිත පැල්ලමක් අසල සිටගෙන ඔහුගේ දෑත් ‘තැළී’ ඇති බව ඔහු ඉන්පසු දුටුවේය.

ඔහුගේ අනතුර සිදුවී තත්පර කිහිපයක් ඇතුළත, ඔහුගේ ජංගම දුරකථන පණිවිඩය එනතුරු බලා සිටි හදිසි ජායාරූප කණ්ඩායම් කිහිපයක් වීඩියෝ කැමරා සහ ජංගම දුරකථන සමඟ සිද්ධිය වූ ස්ථානයට පැමිණ තුවාලකරුට මවාපෑමක් ලෙස වැතිර සිටින ලෙස ඉල්ලා සිටින ලදී. මෙමගින් ඉතා පරිස්සමින් සකස් කරන ලද සහ ද්වේෂසහගත ලෙස සැලසුම් කළ කුමන්ත්‍රණය හෙළි විය. මවා පෑ  රූගත කිරීම් සඳහා බිම සහ දර්ශන සඳහා පෙනී සිටිමින්, පාර අයිනේ නාම පුවරුව රූගත කරමින් සිටියදී එම ස්ථානයේ සිටි හමුදා නිලධාරීන් විසින් තමාට ‘අමානුෂික ලෙස’ පහර දී තුවාල කර ඇති බව පැවසීය. ඔවුන් වහා මුලතිව් පොලිස් ස්ථානයට ද දැනුම් දී අදාළ පුද්ගලයා එදිනම (27) උදෑසන ප්‍රතිකාර සඳහා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කිරීමට සමත් විය.

මූලික සාක්‍ෂි මත පොලිසිය එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි සෙබළුන් තිදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව පසුව ඇප ලබා දුන්නේය. මේ අතර, එම මාධ්‍යවේදියා රෝහලෙන් පිටව යාමට පැය කිහිපයකට පෙර ඉරිදා (28) නිකුත් කරන ලද මුලතිව් දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය-නීති පරීක්‍ෂණ වාර්තාවෙන් සනාථ වී ඇත්තේ ඔහුගේ කාලය තුළ ඔහුට ප්‍රතිකාර ලබා දී ඇත්තේ ‘සීරීම්’ සහ ‘හිරිවැටීම’ සඳහා පමණක් බවයි. එනමුත් රෝහල්ගතව සිටීම, ” කටු කම්බි එතූ තල් පොල්ලකින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම” යන සිදුවීමට හාත්පසින්ම පටහැනිව පැතිර ගිය ගොතන ලද කතාන්දර ලෙස ප්‍රකාශ කර ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම 2009 මානුෂීය මෙහෙයුමේ කූටප්‍රාප්තියෙන් පසුව දැනටමත් බටහිර රටවල සරණාගතභාවය පතා සිටින එම ‘ඊනියා මාධ්‍යවේදීන්’ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට හොඳින් සූදානම්ව සිටින බව ද මෙහි දී සඳහන් කිරීම වටී.

උතුරු නැගෙනහිර ආරක්‍ෂක හමුදා පසුගිය වසර කිහිපය තුළ ජනතාව සහ ආරක්‍ෂක හමුදාව අතර සෞඛ්‍ය සම්පන්න සංහිඳියාව සහ යහපත් සුහදතාවය නැති කිරීමට විදේශ බලවේගයන්ගේ උවමනාව මත කැරෙන මෙවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ද එම ප්‍රකාශය ඉල්ලා සිටී.”

මෙයට ප්‍රතිවිරුද්ධව අතින් ගත් ගලක් ඇතිව එම ජනමධ්‍යවේදියා හඹා එන සොල්දදාදුවකුගේ ජායාරූපයක් සමාජ මධ්‍යයන්හි පළ කර තිබේ.

යුද හමුදාවේ ප්‍රකාශය මගින් කියන්නේ මෙම සමස්ත සිදුවීමම කලින් සූදානම් කර ගත් එකක් බව නමුත් එම ප්‍රකාශයම  ‍තවත් තැනක කියන්නේ විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් ඇද වැටුණේ අහම්බෙන් බවයි. අහම්බෙන් සිදුවූ දෙයක් කලින් සූදානම් කරන ලද මවා පෑමක් විය හැක්කේ කෙසේදැයි යුද හමුදාව පැහැදිළි කළ යුතු බව යාපන ජනමධ්‍යවේදියකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

බටහිර රටවල් සරණාගත බව ලබා ගැනීම සඳහා සහ යුද හමුදාව සහ දෙමළ ජනතාව අතර ඇති නිරෝගී සබදතා බිද දැමීම මෙම මවා පෑමේ අරමුණ බව යුද හමුදා ප්‍රකශය කියතත් උතුරෙහි දෙමළ ජනයා යුද හමුදාව සම්බන්ධයෙන් දරණ ආකල්ප දන්නෝ දනිති යැයිද එම ආරංචි මාර්ගයම ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ මාධ්‍යවේදියා වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් පවසා ඇත්කේ මෙයයි:

“මම ඔවුන්ට (ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට) ඔවුන්ගේ වෘත්තිය කරගෙන යාමට බාධා කළේ නැහැ. මම මේ ගියේ මුල්ලිවක්කාල් මාර්ග පුවරුවේ පින්තූරයක් ගන්න.”

“ඔවුන් මට කතා කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඊට පස්සේ මීටර් 100ක් විතර එහා ඉඳන් හමුදා නිලධාරීන් මාව එළෙව්වා. සිදුවෙමින් පවතින සිදුවීම් වීඩියෝ ගත කරමින් සිටි මං සෙමින් පසුපසට ගියා. එතැන් සිට මීටර් 75 ක් පමණ දුරින් ඔවුන් මා නවතා මා සතුව තිබූ  වීඩියෝ සාක්ෂි  උදුරා ගැනීමට කිරීමට උත්සාහ කළා.

“මේක කටු කම්බි” ඔහු තම තුවාල පෙන්වමින් කීයා තිබේ. “ඔවුන් මාව කටු කම්බි හරහා ඇදගෙන ගියා. බලන්න, මාව ඇදගෙන යාමේ ලකුණු ඔබට පේනවා නේද? ”

2005 වසරෙහිදී ත්‍රිකුණාමලයෙහි සිසුන් පස් දෙනෙකු රජයේ හමුදා විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ඔවුන් මිය ගියේ ඔවුන් විසින්ම ගෙන එන ලද බෝමබ පුපුරා යාමෙන් යැයි යුද හමුදාව කළ ප්‍රකාශය මෙන්ම මෙම ජනමධ්‍යවේදීයා ද තමන්ම කරගත් තුවාල පෙන්වන බව කීම පරණ තනුවකට අලුත් වචන දැමීමක් බව ද දෙමළ ජනමාධ්‍ය ආරංචි මාර්ග කියා සිටියේය.

Archive

Latest news

Related news