Saturday, April 27, 2024

දේශපාලන පොලිසියේ් තවත් පළිගැනීමක් දොයි: අසාත් සාලි වන්දිත් සමඟ නිදොස් කොට නිදහස්; ව්‍යාජ චෝදනා කළ මංත්‍රීන් අධිකරණයට!

ඡායාරූපය:  රෝද පුටුවක වාඩිවී සිටින අසාද් සාලි සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න
ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ අධිචෝදනා ලබා සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (02) නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයි.සී.සී.පී.ආර්) යටතේ කොළඹ මහාධිකරණ අංක 02හි 2778/21 යටතේ චූදිත අසාත් සාලිට එල්ල කර ඇති චෝදනා දෙකෙම ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කර ඇත.
මේ අතර ප්‍රමාණවත් හේතු නොමැතිව සාලි අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව කියන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන් තිදෙනකුට පෙබරවාරි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නොතීසි කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 වැනි වගන්තිය ප්‍රකාරව අසාද් සාලි මහතා වෙනුවෙන් නීතීඥවරයා කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය කළේය.

අසාද් සාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවෙන් තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු වන්දියක් ඉල්ලා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුඅත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් නොමැතිව ද්වේශ සහගත ලෙස පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවට ගුණරත්න චෝදනා කළේය.

අසාත් සාලිට එරෙහිව පැමිණිලි කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන මහත්වරුන් ය. ඔවුන් මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු, දෙවැනි සහ තෙවැනි සාක්කිකරුවෝ වූහ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයාට කාලය, ආදායම සහ මෙම ප්‍රශ්නයේදී ඔහුගේ වියදම් සඳහා වන්දි ලබා දෙන ලෙස ඔහු අධිකරණයට කරුණූ ඉදිරිපත් කළේය. 17(2) වගන්තියට අනුව, අත්අඩංගුවට ගැනීමට හේතු වූ පුද්ගලයන් විසින් ගෙවීමට සුදුසු යැයි සිතන පරිදි අධිකරණයට වන්දි ප්‍රදානය කළ හැකිය.

කරුණු සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පෙබරවාරි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නොතීසි නිකුත් කළේය.

සාලි 2021 මාර්තු 9 වැනි දින සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ එන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් මාස අටක කාලයක් සිරගතව සිටියේය.

චූදිත අසාත් සාලි ආගමික කණ්ඩායම් සහ ජාතීන් අතර වෛරී සහ එදිරිවාදී හැඟීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි චෝදනා එල්ල කර තිබුණද, ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පරීක්ෂා කිරීමේදී එවැනි හැඟීමක් ඇතිවන ආකාරයක් දක්නට නොලැබෙන බව තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
අසාත් සාලි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු රූපවාහිනී නාලිකාව තත්පර 32ක් ද, දෙරණ රූපවාහිනී නාලිකාව මිනිත්තු 01යි තත්පර 36ක් ද විකාශය කර ඇති බවත්, එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවේ දී චූදිත කළ අදහස් දැක්වීම් සහ සංස්කරණය කළ කොටස් දෙක විශ්ලේෂණය කළ බවත්, කොවිඩ් තත්ත්වය යටතේ විද්‍යාත්මක පදනමකින් තොරව දේහයන් ආදාහනය කිරීමට ගත් තීරණය ගැන චූදිත තමන්ගේ අදහස් දක්වා ඇති බවත් තීන්දුවේ සඳහන් වෙයි.
තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ගැන විවේචනය කිරීම, ත්‍රස්තවාදයට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීම, එදිරිවාදිකම්වලින් තොරව හැම කෙනෙකුම එකතු විය යුතු බව ආදිය සම්බන්ධයෙන් ද එම මාධ්‍ය සාකච්ඡාවේදී චූදිත අසාත් සාලි අදහස් දක්වා ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
මුස්ලිම් පෞද්ගලික නීතිය සහ අනෙකුත් නීති සම්බන්ධයෙන් ද ඔහු සාකච්ඡා කර තිබෙන බවත්, පැමිණිලිකරුවන් සඳහන් කළ ආකාරයට මාධ්‍ය සාකච්ඡාව තුළින් එදිරිවාදී හැඟීම් ඇතිවෙනවාදැයි අධිකරණය සලකා බැලූ බවත්, මුස්ලිම් පෞද්ගලික නීතිය ව්‍යවස්ථාදායකයෙන් ඉදිරිපත් කර ඇති දැනටත් ක්‍රියාත්මක වන නීතියක් බවත්, එය ස්වේච්ඡාවෙන් සංශෝධනය කිරීමට චූදිත විරුද්ධත්වය දක්වා ඇති බවත් සඳහන් කරන මහාධිකරණය, ආගම් හෝ ජාතීන් අතර වෛරී හා එදිරිවාදී හැඟීම් ඇති වන කිසිවක් එම මාධ්‍ය හමුවේදී චූදිත ප්‍රකාශ කර නැති බව හැඟී යන බවත් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වසන්ත පෙරේරාගෙන් මහාධිකරණ විනිසුරුවරයා කරුණු විමසා සිටි අතර, 17.2 යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නැතත් පැමිණිලිකරුවන් ගෙන්වා ඔවුන්ගෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අසාත් සාලිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ තිදෙනාට ලබන පෙබරවාරි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.
2021 මාර්තු 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අසාත් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියේය.

medialk.com වාර්තාවක කරුණූ ද ඇසුරිණි.

(ඡායාරූප අසාත් සාලි මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.)

Archive

Latest news

Related news