Thursday, April 25, 2024

නීතිපතිවරයාට ලියුම් යවා නඩු අස්කර ගැනීම: බැසිල්ට එරෙහි දිවි නැගුම ලිත් නඩුවටත් අබ සරණයි! 

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ලිත් නඩුවෙහි චෝදනාවලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බැවින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගන්නා ලෙස ඔවුන්ගේ නීතිඥයින් නීතිපතිවරයා හමුවේ ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඊයේ (05)  විවෘත අධිකරණය හමුවේ කැඳ වූ සාක්ෂිය සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කර නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරි නඩු දිනයේදී අධිකරණයේදී දැනුම් දෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් අධිකරණයට දැනුම් දී ඇත.

තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න, නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන 11 දා දැනුම් දෙනු ඇත.

මේ වන  විට මෙවැනි නඩු ගණනාවක් නීතිපති සංජේ රාජරත්නම් විසින් ඉවත් කර ගෙන තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැය කර එම ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවි නැගුම ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු අධිචෝදනා යටතේය.

ඊයේ (05) මෙම විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා පත්‍ර කියවා දුන් අතර ඔවුන් එම අධිචෝදනාවලට නිවරැදිකරුවන් බව පැවසීම නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලදී.

පැමිණිල්ලේ 06 වැනි සාක්ෂිකරු ලෙස නම් කර තිබූ එවකට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පාලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.

අනතුරුව අධිකරණය හමුවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සහ ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් කරුණු දක්වමින් සිය විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බැවින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස් කර ගන්නා ලෙස නීතිපතිවරයා හමුවේ ලිඛිතව ඉල්ලීමක් කළ බව අධිකරණයට දැනුම්  දී තිබේ.

නිව්ස් පස්ට් පුවතක කරුණුද ඇසුරිණි.

Archive

Latest news

Related news