Thursday, April 25, 2024

පරීක්ෂා නොකර ඇණවුම් කළා; අනවසරයෙන් නැව් ගත කළා – “හිපෝ ස්පිරිට්” චීන ගූ පෝර නැවට මොකද වෙන්නෙ..?

පරීක්ෂා කරන ලද පොහොර හානිකර බැක්ටීරියාවලින් ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වූ පසු ශ්‍රී ලංකා බලධාරීන් විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබිය දීත්, චීන කාබනික පොහොර තොගය රැගත් ප්‍රශ්න ගත නෞකාවක් වන ‘Hippo Spirit’ මේ වන විටත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළඟා වී තිබේ ද යන්න පිළිබඳව ආරංචි පැතිරෙමින් පවතී.

සාම්පලවල හානිකර රෝග කාරක ඇති බව හඳුනා ගත් පරීක්ෂණ දෙකකට පසුව පවා, පෝර ගොඩ නැවත භාර ගැනීමට සූදානම් නැති චීන බලධාරීන් විසින් ස්වාධීන විශ්ලේෂකයෙකු මගින් තුන් වන පරීක්ෂණයක් පවත් වන ලෙස ඉල්ලා ඇත.

මේ අතර, තත්ත්වය වඩාත් බැරෑරුම් මට්ටමකට ගෙන යමින්, මුදල් ගෙවීමට අපොහොසත් වූ බව කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාධු ලේඛන ගත කිරීමට චීන රජය කටයුතු කළේය. කෙසේ වෙතත්, චීන පොහොර සැපයුම්කරුට කිසිදු ගෙවීමක් නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණය බැංකුවට නියෝග කර තිබුණි.

මෙම පසුබිම තුළ, පරිසරවේදීන් ඇතුළු මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව අනුමාන කරන්නේ, ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා භාණ්ඩ භාර ගැනීමටත්, අනෙක් අතට, විශේෂයෙන්ම ණයවර ලිපි (LC) ගිවිසුම් සම්බන්ධයෙන් සිය ගනුදෙනු දිගටම කර ගෙන යාම සඳහා බැංකුවට උපදෙස් දීමටත් ශ්‍රී ලංකා රජයට සිදු වනු ඇති බවයි.

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් පී. සිල්වා

ප්‍රශ්න ගත නෞකාව හම්බන්තොට වරාය ආසන්නයේ දක්නට ලැබෙන බවට ප්‍රවෘත්ති කිහිපයක් පළ වුව ද, කොළඹ වරායේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් පී. සිල්වා එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය. “මගේ අනුමැතියකින් තොරව එම යාත්‍රාවට හම්බන්තොට වරායට ඇතුළු විය නොහැකියි. නමුත් එය ශ්‍රී ලංකා මුහුදේ තිබේ ද නැද්ද යන්න මට කිව නොහැකියි, මන්ද සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UNCLOS) අනුව ඔවුන්ට නිර්දෝෂී ගමනාගමන අයිතිය ඇති නිසයි. නමුත් එය මෙරට කිසිදු ගැසට් කළ වරායක නොමැති බව මට තහවුරු කළ හැකියි. මේ නෞකාව අපේ මුහුදු සීමාවට ඇතුළු වුනත් එය නීති විරෝධී නැහැ. වරායකට ආවොත් තමයි නීති විරෝධී වෙන්නේ,” යයි කපිතාන් සිල්වා පැහැදිලි කළේය.

නිර්දෝෂී ගමනාගමනය යන පදය ජාත්‍යන්තර නීතිය යටතේ නිර්වචනය කර ඇත්තේ නැවකට හෝ ගුවන් යානයකට වෙනත් රාජ්‍යයක සාමයට, යහපත් පැවැත්මට හෝ ආරක්ෂාවට අගතියක් නොවන තාක් කල් වෙනත් කෙනෙකුගේ භූමියට ඇතුළු වීමට සහ ඒ හරහා ගමන් කිරීමට ඇති අයිතිය යනුවෙනි.

“Hippo Spirit” යාත්‍රාව මුලින්ම ලියාපදිංචි කර ඇත්තේ ‘Global Explorer’ ලෙස බව Daily Mirror පුවත් පතට දැන ගන්නට ලැබිණි. 2012 දී ඒ් නම ‘Seiyo Explorer” ලෙස වෙනස් කරන ලද අතර පසුව එය “Hippo Spirit” ලෙස යළි නම් කරන ලදී.

කෙසේ වෙතත්, ඔක්තෝබර් 14 වන දිනැති එහි අවසන් යාවත්කාලීන කිරීම අනුව යාත්‍රාව ඉන්දු-මලක්කා සමුද්‍ර සන්ධියේ නැංගුරම් ලෑමට බලා සිට ඇත. යාත්‍රාවේ GPS ලුහුබැඳීමේ උපකරණ ඕෆ් කර ඇති බව පෙනෙන්නට තිබුණ ද, සාගර විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, වෙනත් රටකට බඩු තොගයක් රැගෙන යන අතරේ නැවකට එහි නම වෙනස් කළ හැකි ද යන්න සැක සහිත බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ නඩුව

ඔක්තෝබර් 15 වන දින පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් මෙම දූෂිත කාබනික පොහොර ආනයනය කිරීම වළක්වන වාරණ නියෝගයක් ඉල්ලා නඩුවක් ගොනු කරන ලදී.

1981 වසරේ පනවන ලද ශාක ආඥා පනත සහ 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුව පාංශු අංශු, සජීවී වස්තු, වෛරස, බැක්ටීරියා, හෝ දිලීර රට තුළට ආනයනය කිරීම තහනම්ය. කාබනික පොහොර/කොම්පෝස්ට් සෑදී ඇත්තේ රෝග කාරකවලින් සමන්විත විය හැකි දිරා පත් වන සත්ව හා ශාක කොටස්වලින් බවත් ඒ අනුව කිසිදු තත්වයක් යටතේ කිසිදු රටකින් කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකි බවත් CEJ සිය පෙත්සමෙන් කියා සිටී.

මෙම මතභේදයට තුඩු දී ඇති පෝර තොගයෙන් මීට පෙර ලැබුණු සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒවාට හානිකර ජීවීන් ආසාදනය වී තිබූ බව අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජාතික ශාක නිරෝධායන සේවය විශේෂයෙන්ම මෙම කාබනික පොහොර තොගය සඳහා ආනයන බලපත්‍රයක් නිකුත් කළේ නැත.

මෙම කරුණු පදනම් කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තා ද සිල්වා විසින් පසු ගිය ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් නිකුත් කරමින් මෙම පොහොර තොගය රැගෙන එන නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලෑම වළක්වන ලෙස ඉල්ලීමක් කර ඇත. එම කාබනික පොහොර තොගයෙන් ශ්‍රී ලංකාවට විශාල කෘෂි ශාක සනීපාරක්‍ෂක අවදානමක් ඇති බව පවසමින් ඉන් කිසිවක් ශ්‍රී ලංකා භූමියට මුදා නොහරින ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මහජන බැංකුවට තහනමක්

සීමාසහිත Qingdao Seawin Biotech Group සමාගමට (QSBG) එරෙහිව Ceylon Fertilizer Company (CFC) විසින් (ඔක්තෝබර් 22 දා) වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබා ගන්නා ලදී. ඒ අනුව, CFC සමග ගිවිසුමකට එළැඹී ඇති QSBG වෙනුවෙන් විවෘත කරන ලද LC යටතේ කිසිදු ගෙවීමක් කිරීම මහජන බැංකුවට තහනම්ය.

කෙසේ වෙතත්, මේ සියල්ල තිබිය දීත්, පසු ගිය සැප්තැම්බර් 29 වැනි දින චීනයෙන් නැව් ගත කරන ලද පොහොර තොගය ඔක්තෝබර් 22 වන දා වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන බව QSBG විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිල වශයෙන් දන්වා තිබේ.

දේශපාලන හෝ මහජන බලපෑම් ඇති වුවහොත් මෙම පොහොර තොගය රට තුළට පැමිණීම වැළැක්වීම සහතික කිරීම සඳහා අංක CA WRIT 476/21 දරන නඩුව කැඳවන ලෙසට CEJ විසින් ඔක්තෝබර් 25 වන දින හදිසි මෝසමක් ගොනු කරන ලදී.

කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවූ අතර, පවතින තත්ත්වයෙහි කිසියම් අනපේක්ෂිත වෙනසක් සිදු වුවහොත් එය හදිසි මෝසමක් මගින් නැවත කැඳවිය හැකි බවට නියෝගයක් කළේය.

ඊළඟ නඩු වාරය 11 දා

“ඔක්තෝබර් 29 වෙනිදා අප අලුත් මෝසමක් ඉදිරිපත් කරලා මේ පොහොර ගොඩබෑම වළක්වන නියෝගයක් ඉල්ලුවා,” යයි CEJ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසීය. “මහාධිකරණයත් තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා, එනිසා දෙවැනි එකක් අවශ්‍ය නැහැ කියලා අපට කිව්වා. කෙසේ වෙතත්, තත්වය අනුව හදිසි මෝසමක් මගින් නඩුව කැඳවිය හැකියි. මීළඟ නඩු වාරය නොවැම්බර් 11 වැනි දා.”

ශ්‍රී ලංකා බලධාරීන් භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට දැඩි ලෙස පෙළැඹී සිටිය ද චීන බලධාරීන් ඔවුන්ගේ උත්සාහය අත්හැරියේ නැත. පසු ගිය සතිය මුල දී ගෙවීම් නිකුත් කිරීමට සම්බන්ධ මහජන බැංකුව නියමිත වේලාවට ගෙවීම් නිකුත් නොකිරීම හේතුවෙන් අසාධු ලේඛන ගත කරන ලදී.

චීන තානාපතිගේ ඒකාධිපති හැසිරීම

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෑත කාලීන ට්වීටයකින් සිදු වීම් කාල දාමයක් නිකුත් කළේය. ඒ මෙසේය: “Seawin විවෘත ලංසුවක් දිනා ගත්තා; ගිවිසුම් අත්සන් කළා; චීනයේ සහ CFC විසින් නම් කරන ලද ජාත්‍යන්තර ඒජන්සියේ පරීක්ෂණවලින් පෝර ගොඩ සමත් වුණා; නියමිත කාලයට පෙර නැව් ගත කළා; NPQ SL (ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවය) අතරමග දී එකඟ වුණේ නැත; එවා විෂ/හානිකර යයි කියා සිටීනවා; නැව ප්‍රතික්ෂේප කළා; තෙවන පාර්ශවීය පරීක්ෂණය ද ප්‍රතික්ෂේප කළා; L/C ගෙවීමේ වගකීම ද ප්‍රතික්ෂේප කළා; PBSL අසාධු ලේඛන ගත කළා.”

බැංකුව අසාධු ලේඛන ගත කිරීමට ප්‍රතිචාර වශයෙන් මහජන බැංකුව ඔක්තෝබර් 29 වැනි දින ප්‍රකාශයක් නිකුත් කළේය. LC හා අදාල එම ගෙවීම් සැකසීමේ තාවකාලික ප්‍රමාදය තනිකරම රටේ නීත්‍යානුකූල උපදෙස් අනුව කටයුතු කිරීමට වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස බැංකුවට ඇති බැඳීම නිසා සිදු වූවක් බව එහි සඳහන් විය. “බල පවත්නා නීතිමය බාධක ඉවත් කළ පසු, සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව LC ගෙවීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇත,” යනුවෙන් බැංකුව සිය ප්‍රකාශයෙන් තව දුරටත් කියා සිටියේය.

සාගර හා සමුද්‍රීය නීති විශාරද මතය

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීති විශාරද සහ සාගර හා සමුද්‍රීය නීතිය පිළිබඳ උපදේශක ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කියා සිටියේ, භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට නැව් ගත කර ඇති බැවින් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවයි. “උසාවි නියෝගය පොහොර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පමණක් අදාල වන නිසා නැව අත්අඩංගුවට ගන්න බැහැ. නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වීම අවහිර කිරීම ගැන සඳහනක් නැහැ. එතකොට නැව අත්අඩංගුවට ගැනීම සඳහා යමෙකුට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදු වෙනාවා එනිසා නෞකාවට ශ්‍රී ලංකා මුහුදේ නිදහසේ යාත්‍රා කළ හැකි නමුත් වරායට පැමිණිය හැක්කේ වරාය මාස්ටර්ගේ අනුමැතිය ඇතිව පමණයි,” යනුවෙන් ආචාර්ය ගුණසේකර වැඩි දුරටත් පැවසීය.

අලුත්ගමගේ අලුගුත්තේරුවා කට අරී…

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිකාරයාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ, නැව් ගත කළ බඩු ආපසු ගෙන නිසි ද්‍රව්‍ය රැගෙන ඒමට චීන සමාගමට සිදු වන බවයි. “අදාල ටෙන්ඩර් පිරිවිතර සපුරා ලීමෙන් පසු අපි භාණ්ඩ භාර ගනිමු,” යයි ඇමතිකාරයා පැවසීය.

මහජන බැංකුව අසාධු ලේඛන ගත කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, බැංකුව කිසිදු වරදක් කර නොමැති බවයි. “ගෙවීම් නිකුත් කිරීම නවත්වන්න කියලා උසාවි නියෝගයක් නිකුත් කරලා තියෙනවා. බැංකුව ඒ නියෝගයට අනුව ක්‍රියා කළා. චීන රජය බැංකුව අසාධු ලේඛන ගත කළේ ඇයි ද කියා මා දන්නේ නැහැ.”

මෙම අවශ්‍යතා චීන බලධාරීන්ට සන්නිවේදනය කළේ දැයි ඇසූ විට අලුත්ගමගේ කියා සිටියේ, රාජ්‍ය අමාත්‍යවරයා චීන මහ කොමසාරිස්වරයා සහ අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කළ බවයි.

“තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. උදාහරණයක් ලෙස ඔවුන් රජයෙන් බලපත්‍රයක් නොමැතිවයි පෝර ගොඩ නැව් ගත කර තියෙන්නේ. එබැවින් අප නැවේ භාණ්ඩ භාර ගැනීමට නම් මේ සියලු ගැටළු නිවැරදි කළ යුතුයි,” යනුවෙන් ඇමැතිකාරයා වැඩි දුරටත් පැවසීය.

-2021 නොමැම්බර් 2 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Kamanthi Wickramasinghe ලියූ, ‘Chinese controversial fertiliser shipment: Where is ‘Hippo Spirit’?’ නම් වූ විශේෂාංග ලිපිය සිංහලට පරිවර්තනය කළේ, – ආනන්ද

( උපුටා ගැනීම ලංකා ඊ නිව්ස් වෙතිනි)

Archive

Latest news

Related news