Friday, April 19, 2024

ඥණසාරගේ පත් කිරීම අලි සබ්රි දන්නෙත් නෑ; පත් කරපු මුස්ලිම් සාමාජිකයෝ දන්නේත් නෑ

එකක් හැර එකක් හත් පොලේ ගා ගනිමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව දැන් “ එක් රටත් එක් නීතියක්” කාර්‍ය සාධඛ සභාව පිහිටුවා නා ගනිමින් සිටින බව පෙනේ.

ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා වූත් “වියත් මඟ” ප්‍රධානියකු වූත් අලි සබ්රි අධිකරණ ඇමැති වශයෙන් පත් කරන ලද්දේ ඒ නිසාය.

“ එක් රටක් එක් නීතියක්” ඇති කිරීම ඔහුගේ ඇමැති විශය පථයට අයත් නීති ප්‍රතිසංස්කරණයකි.

එනමුත් ඒ සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ  නායකත්වයට රාජපක්ෂ විසින් මුස්ලිම් විරෝධී ගිනි අවුලවන්නකු වන  බොදු බල සේනා අධිපති චීවරධාරී ඥණසාර පත් කර ඇත්තේ අලි සබ්රිටත් රහසේය.

අලි සබ්රි මේ නිසා සිත් තැවුලට පත්ව ඉල්ලි අස්වන්නට යන්නේ යැයි වාර්තා පල වී අති නමුත් තතු දත් ආරංචි මාර්ග පවසන්නේ එකට කුඩු කෑ අයට කට ඇරීමට ඉඩක් නැති බවයි.

මෙම කාර්ය සාධක බලකායට පත් කරන ලද කොළඹ මහ නගර සභිකයකු වන කලීල් රහුමාන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා ඇත්තේ තමන් මෙවැනි කාර්ය සාධක බලකායකට පත් කරන බව තමන් නොදැන සිටි බවයි. බශිර් සේගු ඩාවුඩ් නායකත්වය දරණ සමගි සාම සන්ධානයේ නියෝජිතයකු වන කලීල් රහුමාන්ට කාර්ය සාධක බලකායෙන් ඉවත් වන ලෙස එම සන්ධානය දැනුම් දී තිබේ.

එයට පත් කරන ලද මුස්ලිම්වරුන් කිසිවකුට එහි නායකත්වය ඥණසාරට දෙන බවට දක්වා නැත.

මෙම කාර්ය සාධක බලකායට පත් කරන ලද බවට ජනාධිපති කාර්යාලයේ නිවේදනයේ සඳහන් වන මවුලවි මොහොමඩ් යන පුද්ගලයා හදුණා ගන්නේ කෙසේදැයි නීතිඥ ජාවිඩ් යූසුප් ප්‍රශ්න කර තිබුණි. මන්ද යත් බොහෝ මුස්ලිම්වරුන්ට මොහොමඩ් යන නම ඇති බැවිනි.

ඥණසාර මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට පත් කිරීම ගැන මෙරට මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ආයතනය වන සමස්ත ලංකා ජමයතුල් උලමා සහ කතෝලිකයින්ගේ ප්‍රධාන ආගමික ආයතනය වන බිෂොප්වරුන්ගේ සභාව  සිය බලවත් අප්‍රසාදය පළ කර තිබේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මෙම කාර්ය සාධක බලකාය හරහා බොදු බල සේනාව මෙතෙක් කියු දේ ඉෂ්ඨ කිරීමට අවස්ථාවක් ලැබෙන බව ඥණසාර ප්‍රකාශ කර තිබේ. වන්දානුකරණ ( වද කොත්තු)  ආගමික බඳවා ගැනීම්, සංස්කෘතික ආක්‍රමණය වැනි කරුණු ගැන තටයුතු කිරීම ඔහු සිය අරමුණ ලෙස දක්වා තිබේ.

(SLB)

Archive

Latest news

Related news