Wednesday, April 24, 2024

නැනෝ අංශු ලෙහෙසියෙන්ම මිනිස් සිරුරද විනිවිද යයි; නැනෝ පොහොර මහත් විපතක ආරම්භය විය හැකිය – මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන

ඡයාරූපය: නැනෝ අංශු මගින් සිරුරට ඇති කළ හැකි බලපෑම.

කාබනික ගොවිතැන උපරිම වශයෙන් සාර්ථක වූ විට පවා එයින් ලබා ගත හැක්කේ ඕනෑම රටක ජනතාවගේ ආහාර අවශ්‍යතාවයෙන් ඉතා සුළු කොටසක් පමණක් බව කවුරුත් දන්නා කාරණයකි. එසේ නොවන්නට නම් ජනගහනය හරි අඩකින් අඩු කිරීම සහ සියල්ලන්ම ශාක භක්ෂකයන් කිරීම වැනි අමානුෂික පියවර ගත යුතුය. (කියවන්න – https://www.dh-web.org/green/CD-Mueller-OrganicL.pdf )

අද වන විට අවම අස්වැන්නක් ලබා ගැනීම සහ සාගතයෙන් මිදීම සඳහා පවා අවශ්‍ය “කාබනික පොහොර” විශාල වශයෙන් ලබා දීමේ නොහැකියාව වටහා ගෙන ඇති ලංකාවේ රජය, ඉන්දියාවට දණ ගසමින් නැනෝ-පොහොර මිල දී ගනිමින් සිටී.

අර්බුදකාරී ආකාරයෙන් වැඩ කටයුතු කරන රජය නැනෝ-යූරියා භාවිතයෙන් ගොවි ප්‍රජාවට සිදු විය හැකි සෞඛ්‍යමය අනතුරු පිළිබඳව විමසීමක් කර නැත. ඒ වෙනුවට ඉන්දියානුවන් පවසන දේ පිළිගෙන ඇත.

මෙම නැනෝ-යූරියා නිෂ්පාදනය දියත් කරන ලද්දේ 2021 මැයි 31 වන දා තරම් මෑතකය. ඉන්දියාවේ එහි මිලි ලීටර් 500 ක බෝතලයක් ඩොලර් 3-4 කට අලෙවි වේ.

ඉන්දියානු ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතිය මගින් පසු ගිය වසරවල මේ පිළිබඳ ගොවි පොළ අත්හදා බැලීම් 11,000 ක් සිදු කර ඇති බව ප්‍රකාශ වේ. ප්‍රකාශ වී ඇති කරුණු කාරණාවලට අනුව, ඒ පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත්තේ අස්වැන්න දිහා පමණකි; නැනෝ-යූරියා භාවිතය නිසා ගොවි ප්‍රජාවට වන සෞඛ්‍යමය අනතුරු ඔවුන් විසින් නිරීක්ෂණය නොකරන ලද බව මම සැක කරමි.

විවිධ නැනෝ ද්‍රව්‍යවල විෂ බව ගැන තොරතුරු තවමත් අප නොදනී.

DDT, තැලිඩෝමයිඩ්, ග්ලයිපොසේට්, නැති නම් න්‍යෂ්ටික අපද්‍රව්‍ය හෝ වේවා, මිනිස් සෞඛ්‍යයට ඇති බලපෑම දැන ගැනීමට පරම්පරා කිහිපයක් පුරා අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. ක්ෂුද්‍ර ජීවීන් සහ කෙටි ආයු කාලයක් සහිත කුඩා සතුන් පිළිබඳව පවත් වන සම්ප්‍රදායික පරීක්ෂණවලින් ප්‍රයෝජනවත් තොරතුරු ලැබෙනු ඇති නමුත් නැනෝ අංශු සඳහා මෙය සත්‍ය නොවේ, මන්ද ඒවායේ අවශෝෂණ හා පරිවෘත්තීය ප්‍රතික්‍රියා තොරතුරු අප තවමත් නොදන්නා බැවිනි.

ඉන්දියානු රජයේ මාර්ගෝපදේශ මෙන්ම OECD “ජාත්‍යන්තර මාර්ගෝපදේශ” අනුගමනය කරමින් නැනෝ-යූරියාවල ජෛව ආරක්ෂාව සහ විෂ පිළිබඳව පරීක්ෂා කර ඇති බව ඉන්දියානුවන් පැවසුව ද, කිසිදු විස්තරයක් ප්‍රකාශයට පත් කර නොමැත. විවිධ නැනෝ ද්‍රව්‍යවල විෂ බව සඳහා පිළිගත් OECD මාර්ගෝපදේශ නොමැති බව ප්‍රසිද්ධ රහසකි.

දශක දෙකකට පමණ පෙර අංක CN1269774C දරන, චීන පේටන්ට් බලපත්‍රය යටතේ ප්‍රකාශයට පත් කරන ලද පැරණිතම නැනෝ-යූරියා මෙන්ම, වසර කිහිපයක් පැරණි SJP විශ්ව විද්‍යාලයේ හයිඩ්‍රොක්සි-ඇපටයිට් නැනෝ-යූරියා හෝ මාස කිහිපයක් පැරණි ඉන්දියානු නැනෝ-යූරියා නිෂ්පාදනය ද ඒවායේ පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස විමර්ශනය කර නොමැත.

ඉන්දියානුවන්ගේ නිෂ්පාදනය “පරිසර හිතකාමී” සහ මිනිසුන්ට ආරක්ෂිත බවට ඔවුන් විසින් කරන ලද ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් වන අතර එය බොහෝ දුරට සාවද්‍ය විය හැකිය.

නැනෝ අංශු කොවිඩ් 19 වෛරස් සයිස්; ගර්භාෂ කලල විනිවිද යා හැකියි

නැනෝ අංශු අතිශය කුඩාය. ඒවායේ විශාලත්වය Covid-19 කොරෝනා වෛරස් අංශුවල ප්‍රමාණයයි. ඉතා කුඩා බැවින් නැනෝ අංශු ඉතා කාර්යක්ෂමව ශාක පත්‍ර, මුල් හෝ පස තුලට විනිවිද යයි.

නැනෝ ද්‍රව්‍ය, ඒවා නිෂ්පාදනයට යොදා ගත් මව් ද්‍රව්‍යයට වඩා සිය ගුණයකින් වැඩි විෂක් බවට පත් වෙමින් ඒවා ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරනු ඇත. නැනෝ අංශුව “මැජික් උණ්ඩයක්” මෙන් ශාක පත්‍ර විනිවිද යනු ඇත; පසේ, පත්‍ර ජීවීන්ගේ සහ පරාගනය සිදු කරන කෘමීන්ගේ ක්‍රියාකාරකම් අවිචාරවත් ලෙස විනාශ කරන එම නැනෝ අංශු, “පොකුරු බෝම්බයකට” සමාන කළ හැකිය.

 

මෙම ද්‍රව්‍ය, විශේෂයෙන් ඒවා ඉසින විට, මිනිස් සම, ඇස්, කන්, පෙනහලු, බඩවැල් ආදියට ඇතුළු විය හැකිය; අපිච්ඡද පටක ස්ථර හරහා සෑම ඉන්ද්‍රියයකටම සහ සෛලයකටම, ගර්භාෂය සහ කලල රූපයකටම, මොළය සහ නියුරෝනවලට, වර්ණදේහ සහ ජානවලට ක්ෂණිකව විනිවිද යයි.

නැනෝ අංශුව මැජික් උණ්ඩයක්.. පොකුරු බෝම්බයක්..

නැනෝ ද්‍රව්‍ය, ඒවා නිෂ්පාදනයට යොදා ගත් මව් ද්‍රව්‍යයට වඩා සිය ගුණයකින් වැඩි විෂක් බවට පත් වෙමින් ඒවා ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරනු ඇත. නැනෝ අංශුව “මැජික් උණ්ඩයක්” මෙන් ශාක පත්‍ර විනිවිද යනු ඇත; පසේ, පත්‍ර ජීවීන්ගේ සහ පරාගනය සිදු කරන කෘමීන්ගේ ක්‍රියාකාරකම් අවිචාරවත් ලෙස විනාශ කරන එම නැනෝ අංශු, “පොකුරු බෝම්බයකට” සමාන කළ හැකිය.

පෙනහැල්ලේ දැවිල්ල හා කැටිති, සහ ශ්වසන ආබාධ වැනි රෝග පිළිබඳ අධ්‍යයනවල දී SiO2 නැනෝ අංශු හමු වී තිබේ. රන් නැනෝ අංශු ආහාර තාක්ෂණයේ දී භාවිතා වන අතර, ඒවා මිනිස් පෙනහලු සම්බන්ධක පටක සෛලවල න්‍යෂ්ටියේ ක්‍රොමැටින්වල වෙනස්කම් ඇති කරන බව සොයා ගෙන ඇති අතර, පෙනහළු පිළිකා ඇති කිරීමට තුඩු දෙන කලල ජානවල වෙනස්කම් ඇති කරයි. රිදී නැනෝ අංශු බඩවැල් ශ්ලේෂ්මල බාධකයට ඇතුළු වන අතර ඔක්සිකාරක ආතතිය වැඩි කරයි; සෛල පටල, DNA හා වර්ණ දේහවලට ද හානි කරයි. රිදී නැනෝ අංශුවල විෂජනන බලපෑම් එහි අඩු සාන්ද්‍රණයක දී පවා පැහැදිලිව පෙනෙන අතර, වැඩි සාන්ද්‍රණයක දී සෛලවල අසාමාන්‍ය හානි, හැකිලීම්, විහිනතාවය සහ සමේ පිළිකා ඇති කරයි.

භාවිතා කළ යුත්තේ නවීන ආරක්ෂිත ඇඳුම් ඇඳගත් පුහුණු අයයි.

නැනෝ පොහොර භාවිතයෙන් අනාගතයේ දී නවීන කෘෂි කර්මාන්තයක් නිර්මාණය වනු ඇත. නැනෝ පොහොර මගින් අස්වැන්න වැඩි වන නමුත් ඒවා යෙදීමේ දී ඉතා නවීන ආරක්ෂිත ඇඳුම් සහ පාවිච්චිය පිළිබඳ පටිපාටි තිබිය යුතුය. සම්පූර්ණ මුහුණු ආවරණ සහ (ඕවරෝල්) උඩු කබා මගින් නැනෝ අංශුවල විනිවිද යාමේ හැකියාව මැඩලිය යුතුය. නැනෝ ද්‍රව්‍ය පරිහරණය කළ යුත්තේ, නැනෝ ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන අපාරගම්‍ය “ආරක්ෂිත කාමර” තුළ වැඩ කරන කාර්මික ශිල්පීන්ට සමාන පුහුණුවක් ඇති ගොවි පොළ කාර්මිකයන් විසිනි.

1980 ගණන්වල සිට කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලයේ නැනෝ ද්‍රව්‍ය පිළිබඳ මගේ පර්යේෂණ සිදු වූයේ වැසූ නිෂ්පාදන යන්ත්‍රාගාරවල භාවිතා කරන දෘශ්‍ය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳවයි. ඒ හා සමානව, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ද, හරිත විප්ලවයෙන් ඔබ්බට ඇති පියවර මෙම නවීන තාක්ෂණය බවට මම එකඟ වෙමි.

නැනෝ පොහොර භාවිතයට ගෙන ගත වී ඇත්තේ ඉතා කෙටි කාලයක් වන අතර, මෙම නව ද්‍රව්‍ය සඳහා විශ්වාසදායක සෞඛ්‍ය-ආරක්ෂිත මාර්ගෝපදේශ අප සතුව නොමැත.

එනමුත් පරිසරයෙන් වෙන් කළ “අහස උසට නැගුණු” වගා කුළුණු තුළ එය ක්‍රියාත්මක කළ විට නැවත වන වගාව සඳහා ගොවි බිම් නිදහස් කිරීමට හැකි බව මම බොහෝ කලක සිට යෝජනා කර ඇත්තෙමි. අනාරක්ෂිත පරිසර තුළ එවැනි කෘෂි තාක්ෂණ භාවිතා කිරීමෙන් සිදු වන්නේ ඒ අනුව පරිණාමය වීමේ හැකියාවක් නොමැති පරිසර පද්ධතිවලට කෘත්‍රිම වෛරස් (නැනෝ අංශු) මුදා හැරීමයි.

ලක්ෂ 12 ක් ගොවීන්ට ආරක්ෂිත ඇඳුම් සහ වෙස් මුහුණු කෝ?

කෙටි කාලීනව පරිසරය අමතක කර මිනිස් ආරක්ෂාව ගැන විමසමු. නැනෝ-යූරියා ඉසින ලක්ෂ 12ක් පමණ වන ගොවීන් පිරිසකට අවශ්‍ය නැනෝ ආසාදනය වළක්වන ඇඳුම් සහ වෙස් මුහුණු කෝ? තව ද, ඉලක්ක ගත ශාක හැර අනෙකුත් ශාක හා සත්ත්ව විශේෂ ඉතිරි වන පරිදි නැනෝ-යූරියා ඉසිය යුතුය. එවැනි නිරාවරණයක දිගු කාලීන බලපෑම් දැනට නොදනී.

නැනෝ ද්‍රව්‍යවලට ප්‍රතිවිරුද්ධව, සාම්ප්‍රදායික කෘෂි රසායන දශක ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත. ග්ලයිෆොසේට් හෝ DDT වැනි ද්‍රව්‍ය 1970 ගණන්වල සිට මහා පරිමාණ අධ්‍යයන කිරීම් සහ වරින් වර සමාලෝචනවලට ද මුහුණ දී ඇත.

ග්ලයිෆොසේට් පිළිබඳ එක්සත් ජනපද රජයේ, මහා පරිමාණ සෞඛ්‍ය අධ්‍යයනය විසින් එහි සහායකයින් සමග කාර්තුවකට ආසන්න කාලයක් පුරා ගොවි පවුල් 54,000 ක් පමණ නිරීක්ෂණය කරන ලදී. එය 2018 දී අවසන් වී එහි ආරක්ෂිත බව තහවුරු කෙරිණ. බොහෝ කෘෂි රසායන පිළිබඳව බොහෝ රටවල ගැඹුරු අධ්‍යයන රාශියක් සිදු කර ඇත.

නැනෝ ‌ අංශු ශාක පත්‍ර මෙන්ම මිනිස් සිරුරද විනිවිද යයි.

එහෙත් ඊට හාත් පසින්ම වෙනස්ව, නැනෝ පොහොර භාවිතයට ගෙන ගත වී ඇත්තේ ඉතා කෙටි කාලයක් වන අතර, මෙම නව ද්‍රව්‍ය සඳහා විශ්වාසදායක සෞඛ්‍ය-ආරක්ෂිත මාර්ගෝපදේශ අප සතුව නොමැත.

මතවාදීමය ව්‍යාපාර විසින් තීන්දු තීරණ ගනු ලබන්නේ සාධක මත පදනම්ව නොවේ. වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ, සිරිසේනගේ ආණ්ඩුව පමණක් නොව ලෝකයේ සියලුම ජාතීන් ද අභිබවා ගොස් සියලු කෘෂි රසායන තහනම් කරමින් සමස්ත ලෝකයේම “100% කාබනික වීරයා” නම් බොරු කීමේ තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ය

ජාතිවාදීන් සහ පුහු වීරයන්ගේ ව්‍යාජ ඝෝෂාව..

වත්මන් ආණ්ඩුවේ හෝ පසු ගිය ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති වඩාත් සකසා තිබුණේ, වස විසෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ප්‍රභූ පන්තියේ ප්‍රචාරවලින් වසඟ වූ මිත්‍යා මතධාරී ක්‍රියාකාරීන් විසිනි. ජානමය වශයෙන් නිර්මාණය කරන ලද ආහාර “ජාන විකෘති ආහාර” ලෙස ලැයිස්තු ගත කරන, කැලිෆෝනියාවේ සහ යුරෝපයේ ධනවත්, පාරිසරික, රාජ්‍ය නොවන සංවිධානවලින් ඔවුහු උපදෙස් ලබා ගත්හ. ඔවුන් ශක්තිමත් වූයේ සාම්ප්‍රදායික කෘෂිකර්මය “කාබනික ගොවිතැනට” සමාන කළ ජාතිවාදීන් සහ “පුහු වීරත්වය” පෙන්වීමට Bayer-Monsanto වැනි බහුජාතික සමාගම් ඉලක්ක කර ගත් වාමාංශිකයන් මගිනි.

ඒ අනුව, “රුක්-රැකගන්නෝ” වැනි අසාමාන්‍ය සංවිධාන කොළඹ-7 න් බිහි වෙද්දී, අතුරලියේ රතන වැනි චීවරධාරීන් ද, මාක්ස්වාදී MONLAR ක්‍රියාකාරීන් ද, “නාථ දේව” වරම් ලත් “හෙළසුවයේ” මිය ගිය සේනානායක වැනි කාන්තාවන් ද, නලින් ද සිල්වා සහ ඔහුගේ ගැත්තන් වැනි අමන බුද්ධිමතුන් ද, GMOA සමිතියේ අනුරුද්ධ පාදෙණිය වැනි දොස්තරලා ද, ස්ටෙෆානි සෙනෙෆ් සහ “ආචාර්ය” මර්කෝලා වැනි චරිතවලින් ආභාෂය ලත් කැලිෆෝනියාවේ සනත් ගුණතිලක වැන්නවුන් ද රට පුරා බිහි විය.

සෑම බෝ නොවන රෝගයක් උදෙසාම ඔවුන්ගේ හොරණෑවලින් චෝදනා කළේ කෘෂි රසායනවලටය. ෆ්ලෝරයිඩ් සහ අනෙකුත් ලවණ අඩංගු භූ විද්‍යාත්මකව දූෂිත ජලය නිසා ඇති වන බවට බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන අසාමාන්‍ය ආකාරයේ වකුගඩු රෝගයක් වර්ධනය වීම ඔවුන්ට තුරුම්පුවක් විය.

සාම්ප්‍රදායික කෘෂිකර්මයට (සහ පාරම්පරික වෙදකමට) දැඩි ලෙස අනුග්‍රහය දක්වන ඕනෑම ජඩයෙකුට මෙවැනි වැරදි ප්‍රකාශයක් කළ හැකිය, ඒ මෙසේය: “වසර දහස් ගණනක් මේ රටේ වී සහ අනෙකුත් වගාවන් රසායනික පොහොර නොමැතිව සිදු කර ඇත. ඒ කාලවල දී බරපතල නිදන්ගත වකුගඩු රෝග (CKD) ගැටළු නොතිබිණ. 1950 ගණන්වල සිට රසායනික පොහොර භාවිතය ආරම්භ කළ අතර ඉන් වසර 20-30 කට පමණ පසු බරපතල CKD ගැටළු ඇති විය.”

“වස විස රහිත”  රතන නම් චීවරධාරියා  කළ හානිය.

මේ අතර විද්‍යාඥයින් විසින් ද කෘෂි රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීම සහ පස හා පරිසරය හායනය වීම සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබුණි. මෙය තවත් උග්‍ර වන්නට පටන් ගෙන තිබුණේ පාලනයකින් තොර “නිදහස්” වෙළඳ පොළ ආර්ථිකයෙන් පසුව පැමිණි සහනාධාර පොහොරවලිනි.

එබැවින් කෘෂි රසායන සඳහා දැඩි සීමා පැනවීමට වේදිකාව සකස් විය. ඒ වෙනුවට, “වස විස රහිත” හොරණෑව බෙරිහන් දෙන්නට පටන් ගත්තේය.

සිරිසේන ජනාධිපතිකාරයාගේ ආණ්ඩුව කාලයේ “රවුන්ඩ්අප්” නම් ජනප්‍රිය වල් නාශකය තහනම් කිරීම මුලින්ම සිදු විය. රතන චීවරධාරියා සිරිසේනගේ කෘෂි කර්මාන්තයේ ප්‍රමුඛයා විය. බැඳුම්කර මගඩියට වඩා තුන් ගුණයක පාඩුවක් සිදු කරමින් සියලුම කෘෂි කාර්මික ක්ෂේත‍්‍ර අඩපණ වූ අතර, තේ අපනයනය කඩා වැටෙන්නට පටන් ගත්තේය.

බොරු කීමේ තරඟයේ 100% කාබනික වීරයා.

මතවාදීමය ව්‍යාපාර විසින් තීන්දු තීරණ ගනු ලබන්නේ සාධක මත පදනම්ව නොවේ. වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ, සිරිසේනගේ ආණ්ඩුව පමණක් නොව ලෝකයේ සියලුම ජාතීන් ද අභිබවා ගොස් සියලු කෘෂි රසායන තහනම් කරමින් සමස්ත ලෝකයේම “100% කාබනික වීරයා” නම් බොරු කීමේ තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ය.

එම තහනම පනවනු ලැබුවේ 2021 මැයි මාසයේ දී අහසින් හෙණයක් පාත් වෙන්නා සේය‍. හමුදාව පවා කොම්පෝස්ට් සෑදීමට යවන ලද අතර “රසායනික” පොහොර සහ පළිබෝධ නාශක නැව් ගත කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. නයිට්‍රජන් (N) 46% ක් අඩංගු යූරියා පොහොර වෙනුවට N 2%ක් පමණක් හෝ අඩංගු කාබනික පොහොරවත් ප්‍රමාණවත් තරම් නිපදවීමට නොහැකි බව රජයේ සැලසුම්කරුවන්ට වැටහුණේ, ඔවුන්ගේ හෙන්චයියන්ගේ උත්සාහය අසාර්ථක වූ විටය. සිරිසේන හිටපු ජනාධිපතිකාරයාගේ යුගයේ ඊනියා “වස විස නැති” කෘෂි කර්මාන්තයේ තර්ජනය රට පුරා එල්ල වී තිබුණ කාලයේ ඒ බව අපේ පෙර ලිපිවල පුරෝකථනය කර තිබුණි.

 ආණ්ඩුවේ පොකුරු බෝම්බය සූදානම් 

දැන් ඇත්තේ, 100% ක්ම කාබනික කෘෂි ද්‍රව්‍ය මත පදනම්ව “වස විස නැති” ජාතියක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ කිරීමට ගොස් එහෙම පිටින්ම මං මුලා වූ ආණ්ඩුවකි. කාබනික හෝ අකාබනික ද්‍රව්‍ය ඉක්මවා ඇති කෘතිම ද්‍රව්‍යවලට පමණක් අදාල ඉතා ඉහළ තාක්ෂණයක් පිළිබඳ දැඩි පරස්පරයකට ද ආණ්ඩුව මුහුණ පා සිටී.

දුර්වල පරිසර පද්ධතියක් සහ සැකයෙන් තොර පුරවැසියෙකු මත නැනෝ අංශු පොකුරු බෝම්බයක් තබා එය පුපුරුවා හැරීමට ආණ්ඩුව දැන් සැලසුම් කරයි.!

චන්ද්‍ර ධර්මවර්ධන කැනඩාවේ ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධාන පර්යේෂන විද්‍යාඥ, න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. 

-2021 ඔක්තෝබර් 29 වන දින The Island හි පළ වූ, Chandre Dharmawardana ලියූ, ‘Human health and nano-fertilizers – where is the safety clothing?’නම් විශේෂාංග ලිපිය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ආනන්ද විසිනි. ලිපිය උපුටා ගත්තේ ලංකා ඊ නිව්ස් වෙතිනි.

Archive

Latest news

Related news