Thursday, May 2, 2024

අධිකරණයෙහි ආරක්ෂාව පැතූ  සැකකරුවකු වෙස්වළා ගෙන එහිදීම වීඩියෝ කළේ රාජ්‍ය බුද්ධි නිලධාරීන් බව හෙළි වේ

අද උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවි ආයුධ සම්බන්ධ නඩුවක සැකකරුවකු රහසිගත ලෙස වීඩියෝ ගත කළ බුද්ධි අංශ සහ එස්ටීඑෆ් කණ්ඩායමක් හෙළිදරව් කර ගැනීමට, සැකකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිවේදි කණ්ඩායම සමත් වී තිබේ.

මේ වන විට වසර තුනක්  සිර ගෙදර රඳවා සිටින කැළුම් ඉන්දික සම්පත් නම් මෙම සැකකරු අද උදෑසන මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරැගොඩ හමුවට පමුණුවා තිබේ. ඒ මහාධිකරණයෙන් ඔහු ඇප පිට නිදහස් කරන ලෙස දෙන ලද තීන්දුව අනුව ඇප ලබා දීමටය.

කැළුම් ඉන්දික සම්පත් ගේ බන්ධනාගාර අංකය 1580 වන අතර නඩු අංකය 87019 වේ.

සැකකරු වෙනුවෙන්  ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, සේනක පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ. සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වත්මන් සභාපතිවරයා ද වේ.

මෙවැනි සැකකරුවන්ට ඇප ලබා දී ඉන් පසුව ඝාතනය කිරීමට ඉඩ ඇති බව, මෙයට පසුගිය ජූලි මාසයේදී  පින්තු නම් පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසු නීති අංශ මෙන්ම දේශපාලන අංශය ද බිය පළ කර තිබුණි.

වැඩිදුර කියවන්න: ලලිත් පිංතු ඝාතනය නීතියේ ආධිපත්‍ය බිදවැටීමේ සංකේතයක්; පරීක්ෂනය රහස් පොලීසියට දෙන්න – සේනක පෙරේරා

අත්අඩංඟුවෙහි සිටියදී ඝාතනය කිරීම නිසා එල්ල වන මානව හිමිකම් චෝදනා වලින් ගැලවීමට ආණ්ඩුවට එමගින් හැකි වේ. ලලිත් පිංතු ඝාතනය කළ මිනීමරුවන් තවමත් සොයා ගෙන නැත.

කැළුම් සම්පත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇප ලබා දිමෙන් පසු ඔහුට උපරිම ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන ලෙසය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරැගොඩ කැළුම් සම්පත්ට ඇප ලබා දීමෙන් පසු අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

නීති කටයුතු අවසන් කර අධිකරණයෙන් පිටතට පැමිණි නීතිඥ  කණ්ඩායම හමුවට දුව ආ කැළුම් සම්පත් ගේ මව කියා සිටියේ, ඔහු බන්ධනාගාර බසයෙන් බහින අවස්ථාවෙහි කණ්ඩායමක් ඔහු වීඩියෝ ගත කළ බවයි.

මෙම කණ්ඩායම කැළුම් සම්පත්ගේ මවට කියා තිබුණේ ඔවුන් කැමරා සම්බන්ධ නඩුවකට පෙනී සිටීමට අධිකරණයට පැමිණි බවයි.

එසේ නමුත් එවැනි නඩුවක් අද විභාග වූ නඩු ලැයිස්තුවේ තිබුණේ නැත.

හය දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම පැමිණ සිටියේ වළලු පැළද, කමිස බොත්තම් ඇර ගෙන සාමාන්‍ය රස්තියාදු කාර ස්වරූපයෙනි.

මෙම තත්වය යටතේ එම කණ්ඩායම කවුරුන්දැයි විමසා බැලීමට නීතිවේදි කණ්ඩායම තීරණය කළහ. දස දෙනෙකු පමණ වූ නීති කණ්ඩායම වහාම එම පිරිස වට කර ගත්හ.

එවිට ඔවුහු සිය බොස් වූ නදීක සිල්වාට කතා කිරීමට අවශ්‍ය බව කීහ.

මෙම කණ්ඩායමේ සැක සහිත හැසිරීම නිසා ඔවුහු මහේස්ත්‍රාත් භූමියේ පොලිස් මුරපොළට බාර දීමට නීතිවේදි කණ්ඩායම ක්‍රියා කර තිබේ.

එහි දී හෙළිදරව් වූයේ මෙම පිරිස කිසිම නඩු කටයුත්තකට ආ පිරිසක් නොව රාජ්‍ය බුද්ධි සේවයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් කණ්ඩායමක් බවයි. ඔවුන් පැමිණ සිටියේ කැළුම් සම්පත් වීඩියෝ ගත කිරීමටය.

මෙම පිරිස අතර සිටි එක් බුද්ධි නිලධාරියකු වූයේ අංක 41436 දරණ නිල අංකය හිමි හිදැල්ල අරච්චිගේ සංජය ප්‍රිය දර්ශන බව කියවේ. මෙම හය දෙනාගේම නම් පොලිස් මුරපොළෙහි සටහන් කර ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි නිලධාරීන් වෙස් වෙලා ගෙන පැමිණ ඇප ලබා නිදහස්ව යෑමට නියමිත සැකකරුවකු වීිඩියෝ ගත කළේ මන්දයි  පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර පැහැදිළි කළ යුතුව ඇති බව මෙම නඩු විභාගයට පැමිණි නීතිවේදීහු පවසති.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීමෙහි තවත් නපුරු සංකේතයක් මෙමගින් පෙනෙන බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කතා කළ නීතිඥවරියක කීවාය.

Archive

Latest news

Related news