Thursday, May 2, 2024

යුදකරණය: ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී තනතුරටත් හමුදා නිලධාරියෙක් පත් කිරීමට යයි! – රවි කුමුදේශ්

මාසයකට වැඩි කාලයක්  ප්‍රධාන විධායක නිළධාරීයෙකු නොමැතිව කටයුතු කරන ඖෂධ නියාමන අධිකාරියට හමුදා නිලධාරියකු පත් කිරීමට ඇති සැළසුම මහත් වරදක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර සදහා හමුදා නිළධාරියෙකු පත් කිරීමේදී අප නිහඩ සහයෝගයක් ලබා දීම මගින් සමස්ත සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි බරපතල අවුලක් නිර්මාණය වී ඇති බව තහවුරු වී තිබියදී, නැවත එම වරදම සෞඛ්‍ය සේවාවට සිදු නොකරන ලෙස  ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවත් ඔහු සඳහක් කරයි.

එම ප්‍රකාශය පහත පළවේ.

මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය මාසයකට වැඩි කාලයක් ප්‍රධාන විධායක නිළධාරීයෙකු නොමැතිව කටයුතු කරන අතර,  කැබිනට් ඇමතිවරයාගේ බලය අභිබවමින් රාජ්‍ය ඇමතිවරයා කටයුතු කිරීම හේතුවෙන් ඇතිවූ බල අරගලය ඊට හේතු වී ඇත.

මෙම තනතුර සදහා පත් කිරීමේදී 2015/05 පනතට අනූව පහත පරිදි කටයුතු කිරීම අනිවාර්‍යවේ
1. ප්‍රසිද්ධ දැන්වීමක් මගින් සුදුස්සන් කැදවීම
2. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුස්සන් තේරීම
3. කැබිනට් අමාත්‍යවරයාගේ නිර්දේශය.

කෙසේ නමුත් ඊට අදාලව 2021. 09. 09 දින ඊට අදාල සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී “ව්‍යුහගත” ක්‍රමවේදයකට අනූව සුදුසුකම් සදහා ලකුණු ලබා දී නොමැති බවටද විවේචන එල්ල විය.

ඒ අතර වාරයේ අදාල ක්‍රමවේදයන් සියල්ලට පටහැනිව හමුදා නිලධාරීයෙකු ඒ සදහා පත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් වරයා විසින් නිර්දේශ කොට ඇති බව මධ්‍ය වාර්ථා කර තිබීම, ඉදිරිය පිළිබද විශාල අවිනිශ්චිත බවක් නිර්මාණය කර ඇත.

හැකියාව සහිත සුදුස්සන් තනතුරු වලට පත් කිරීම පිළිබදව ජනාධිපතිවරයාගේ සංකල්පයට අනූව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුර සදහා හමුදා නිළධාරියෙකු පත් කිරීමේදී අප නිහඩ සහයෝගයක් ලබා දීම මගින් සමස්ත සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි බරපතල අවුලක් නිර්මාණය වී ඇති බව තහවුරු වී තිබියදී, නැවත එම වරදම සෞඛ්‍ය සේවාවට සිදු නොකරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

එසේම මෙලෙස පත් කරනු ලබන නිළධාරීන්ගේ ක්‍රියා කලාපයෙහි ගැටලුසහගත බව හේතුවෙන් අවසන් වශයෙන් විවේචනයට ලක් වන්නේ  ජනධිපතිරයා බවද අප මෙහිදී අවධානයට ලක් කරමු.

රවී කුමුදේශ් සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Archive

Latest news

Related news