Friday, May 3, 2024

පොලිසිය ඇමැති ඩලස්ට කොකා පෙන්වයි!

සතොස සුදු ලූණු වංචාව සම්බන්ධයෙන්  ඇමැති බන්දුල ගුණවර්ධන විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ජනමාධ්‍යවේදීන් ගණනාවක් රහස්  පොලීසියට කැදවිම තමා වැළැක්වූ බවත්  එළෙස ප්‍රශ්ණ කිරිමට සුදානම්වීඹ  පිළිබඳව තමා ජනමාධ්‍යවේදීන්ගෙන් සමාව ගන්නා බවටත් අද (28) ජනමාධ්‍ය ඇමැති විසින් කරන ලද ප්‍රකාශයට  රහස් පොලිසිය කොකා  පෙන්වා තිබේ.

ඒ ජනමාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවනු වෙනුවට මාධ්‍ය ආයතන කරා රහස් පොලිස් කණ්ඩායමක් යවා ප්‍රශ්ණ කිරීමට සැලැස්වීමෙනි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  හිටපු විධායක අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන  මහතා  ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ  එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ  ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විශේෂ නිලධාරීහු  කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප  ප්‍රධාන  කාර්යාලයට අද  (28) උදේ  පැමිණි බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්    ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට  සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන  කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන  නිලධාරී කණ්ඩායම   ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන්    පිටව ගොස් ඇත.

ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා   වෙනත් දිනයක නැවතත්  පැමිණෙන බව එම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දී තිබේ.

ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර  තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ  තුෂාන් ගුණවර්ධන  මහතා  විසින් පළ කරන ලද අදහස්ය. සතොස සුදුළූනු  වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා  සම්බන්ධයෙන්  ඒ මහතාගෙන් ප්‍රශ්න කර  තොරතුරු ලබාගෙන  විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් සහ  එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන්  ප්‍රශ්න කිරීමට  සූදානම්වීම  විහිළු සහගත මෙන්ම   මාධ්‍ය  නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ  තර්ජනයක්  බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන බව මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ කරන ලංකාදීප පුවත්පත කියා සිටී.

Archive

Latest news

Related news