Friday, May 3, 2024

දේවස්ථානයන්ට එල්ල වන ප්‍රහාරයක් ගැන නාවික හමුදා අනතුරු හැඟවීම මාරක රංගනයක්ද?.

ඊයේ උදෑසන බෝපිටිය ශාන්ත නිකලස්  දේවස්ථානය වෙත පැමිණි නාවික හමුදා පිරිසක් එදිනම එම දේවස්ථානයට ‍ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ප්‍රවේසම් වන ලෙස දන්වා තිබේ. ප්‍රහාරකයින් දේවගැතිවරුන් මෙන් ලෝගු ඇඳගෙන පැමිණිය හැකි බවත් එබැවිිින් ප්‍රවේසම් වන ලෙසත් නාවික හමුදා පිරිස දන්වා තිබේ.

එම තොරතුර වත්තල, මා‍බෝල සහ වැලිගම්පිටිය දේවස්තාන වලටද ලබා දී තිබේ.

පණිවිඩය ලබා දීමට පැමිණි  වැලිසර නාවික හමුදා කණ්ඩායම පිළිබඳ රූපමය සාක්ෂි හිරු  රූපවාහිනී නාලිකාව මගින් ප්‍රචාරය කර ඇත.

ඕනෑම අවස්ථාවක මෙරට අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති විය හැකි බවට ඥණසාර හිමිගේ ප්‍රකාශය ප්‍රචාරය කළේද එම නාලිකාවම විසිනිි.

දේවස්ථානයන්ට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුර ගැන  මෙම තොරතුර ඇත්ත බවට කරුණු දක්වන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර ඇත්තේ මෙම තොරතුර දැනුම් දෙන ලද්දේ ඔවුන්ට ලැබුණු සාමාන්‍ය නැත්නම් මුලික තොරතුරක් උඩ බවය.

ඥණසාර හිමිගේ ප්‍රකාශය නිවැරදි බවත් තමා  එහිමියන්ට ස්තුතිවන්ත වන බවත් පාර්ලිමෙන්තුවට කීවේ ද ඔහුය.

එසේ නමුත් එවැනි භයානක තොරතුරක් ලැබුණේ නම් දැන් විය යුතුව තිබුණේ දේවස්ථාන මූලස්ථානය ට ඉතා පැහැදිලි  සරළ කරුණකි. මන්ද එමගින් සෑම දේවස්ථානයකටම අනතුරු හැඟවීම යැවිය හැකි බැවිනි.

එසේ නො කළේ  ඇයිද යන්න ප්‍රශ්නයකි.

දේවස්ථානයේ දේවගැතිවරයා නාවික හමුදා නිලධාරියාට දුරකතනයෙන් කතා කර මේ පිළිබඳ විමසන අවස්ථාවෙහි ඔහු දැනුම් දෙන්නේ කවර හෝ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බව ආරංචියක් නාවික හමුදාවට ලැබුණු බවත් අනතුරු ඇඟවීම කළ බවත්ය.

ඔහු කියන්නේ මෙය නේවි එකට මොනිටර් වූ බවයි.

මෙහි පුදුමාකාර තත්ත්වය නම් එවැනි තොරතුරක් ලැබුණේ නම් සෑම දේවස්ථානයකට දැනුම් දිය යුතු නමුත් මෙම තොරතුර දැනුම් දී ඇත්තේ බෝපිටිය දේවස්ථාන‌ෙ අතුලු හතරකට පමණක් වීමයි.

එමෙන්ම ඔහු කියා සිටින්නේ අගරදගරු මැදුර මේ සම්බන්ධයෙන් දැනුවත් නොකළ බවත්ය. ඇයිද කියා ඔහු කියන්නේ නැත.

මෙය ඉතාමත් පුදුමාකාර ආරක්ෂක විධිවිධානයකි.

අනතුරක් ඇත්තේ නම් එය දැනුම් දිය යුත්තේ සෑම දේවස්ථානයකටම පරිදි නමුත් ශාන්ත නිකලස් දේවස්ථානයට හැර ප්‍රදේශයේ කිසිම දේවස්ථානයකට මෙම අනතුරු ඇඟවීම කර නැත.

”නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා පියතුමන්ලාට දැනුම් දෙන මේ තොරතුර බැරෑරුම් තොරතුරක් නේ, එතකොට මේ තොරතුර මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම්, මේක වැරදීමකින් සිද්ද වෙච්ච දෙයක් කියලා එතකොට ලොකු ප්‍රශ්නයක් තියනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව. මේකද ආරක්ෂක වැඩපිළිවෙළක එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව වගේ ඉතාම බැරෑරුම් කාර්යබාර්යකදී සිදු විය යුතු දේ. ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් තියනවා නම් එහෙනම් කළ යුතුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධි අංශය හරි කවුරුහරි නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ට නිල වශයෙන් දැනුම් දෙන එක.මේ ආපු නිලධාරීන් ඒගොල්ලන්ගේ උවමනාවෙන් කල්පනා කරලා යන්න නැතුව ඇති නේ. කොහෙන් හරි අණකිරීමක් වෙන්න ඇතිනේ මේ නිලධාරීන්ට මේ මේ පල්ලිවලට ගිහිල්ලා නැත්නම් මේ මේ ප්‍රදේශයට ගිහිල්ලා දේවස්ථානවලට දැනවත් කරන්නට කියලා. එතකොට කොතන ද මේ වරද්දගත්තේ කියන එක සොයා බලන්නට ඕනි. මොකද මේක විහිළුවක් නෙමෙයි” – කතෝලික සභාවවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

මෙම තත්වය පිළිතුරු නැති ප්‍රශ්ණ ගණනාවකට උපත දෙයි.

නාවික හමුදාවට මෙම තොරතුර ලැබුණේ කෙසේද? කවදාද? ඒ පිළිබඳ කරන ලද සටහන් තිබේද?

නාවික හමුදා නිලධාරියකුට තමන්ට ලැබෙන මෙවැනි තොරතුරක් එක් දේවස්ථානයකට පමණක් ලබා දීමට ඇති විධානය කුමක්ද?

අනතුර දැනුම් දුන් දේවස්ථානයන්ට හෝ ආරක්ෂාවක් ලබා නොදුන්නේ මන්ද?

ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඒල්ල වන්නේ නම් නිරායුධ සහ ආරක්ෂක විධිවිධාන නැති දේවස්ථානයකට එය වළකවා ගත් හැකිද?

එම තොරතුර දැනුම් දීමට මෙ දේවස්ථාන හතර පමණක් තෝරා ගත්තේ කෙසේද?

නාවික හමුදාව එම තොරතුර ඉහළ නිලධාරීන්ට දන්වා උපදෙස් ලබා ගත්තේද? නැත්තේ නම් ඒ ඇයි?

එසේ නම් අනෙක් දේවස්ථානයන්ට දැනුම් නොදුන්නේ මන්ද?

ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන බව කියන රාජපක්ෂවරුන් යටතේ මෙවැනි දෙයක් සිදු වූයේ කවරකුගේ උපදෙස් අනුවද?

මෙම තොරතුර පදනම වන්නේ විශ්ලේෂණය නො කළ සහ තහවුරු නො කළ තොරතුරක් මත බව ආරක්ෂක ලේකම්වරයා වන ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කර තිබේ.

නමුත් එවැනි තොරතුරක් ලැබුණ බව ඔහු ද සනාථ කරයි.

එනමුත් ජෙනරාල් කමල් ගුණරත්න කියන්නේ මෙම මෙම තොරතුර කිසිසේත්ම බිය වීමට හේතුවක් නොවන බවයි.

ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් ලැබුණේ නම් එය බිය වීමට හේතුවක් නොවේ යැයි ජෙනරාල්වරයා කියන්නේ කෙසේද?

බිය වීමට හේතුවක් නොවේ නම් එය බෝපිටියේ දේවස්ථානයට පමණක් දැනුම් දුන්නේ ඇයි ද යන ප්‍රශ්නයට ආරක්ෂක නිලධාරීන් ආරක්ෂක අංශ පිළිතුරු දිය යුතුය.

මෙයට දින කිහිපයකට පෙර අන්තවාදී භික්ෂුවක් වන ඥාණසාර හිමි කියා සිටියේ ඕනෑම අවස්ථාවක ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ එල්ල වීමට ඉඩ ඇති බවයි.

එම ප්‍රකාශය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර විසින්ද පාර්ලිමේන්තුවේ දී තහවුරු කරමින් කියා සිටියේ ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ ඇති බවයි.

දැන් මතුවන ප්‍රශ්නය තවත් ප්‍රශ්නයක් නම් බෝපිටිය  දේවස්ථානයට  තොරතුරක් දැනුම් දී රාජ පාක්ෂික හිරු නාලිකාව හරහා  ප්‍රචාරය වීමට සැලැස්වීමට පැවැත්වීම එම නාලිකාව මගින්ම ප්‍රචාරය කළ ඥණසාර හිමියන්ගේ ප්‍රකාශය තහවුරු කිරීමට දරන ලද බාල ප්‍රයත්නයක් ද යන්නයි.

එසේ නොවේ නම්  ඇත්ත වශයෙන් එවැනි තර්ජනයක් පිළිබඳ තොරතුරක් ලැබුණේ නම් එය බරපතළ ලෙස රාජපක්ෂ ආණ්ඩුව නො සලකන්නේ මන්ද යන්නයි.

පාස්කු ප්‍රහාරයන්ගේ අත්දැකීම ඇති රටක මෙවැනි තොරතුරක් මොනිටර් වූයේ නම් එය නොසළකා හැරිය හැක්කේ කෙසේද?

එවැනි ප්‍රහාරයකින් ඇති විය හැකි මිනිස් ජීවිත විනාශය නොසළකා හැරිය හැක්කේ කෙසේද?

එවැනි තර්ජනයක අනතුරක් ඇත්නම් මෙරට සංචාරක ව්‍යාපාරයට පවා බරපතළ අනතුරක් වන අතර ඒ පිළිබඳව සියලු අදාළ පාර්ශවයන්ට දැනුම් දීම   ආණ්ඩුවේ යුතුකමක් නොවන්නේද?

මෙම සම්පූර්ණ සිදුවීම භයානක පෙරනිමිත්තකි. එක්කෝ සැබවින්ම තවත් ප්‍රහාරයක් සූදානම් වෙමින් තිබේ. නැතහොත් ප්‍රහාරයක භීතිය මවා දේශපාලන වාසි ගැනීමට පියවර ගැනෙමින් තිබේ. තොරතුර ඇත්තක් වුවත් බොරුවක් වුවත් රංගනය මාරක එකකි.

– සුනන්ද දේශප්‍රිය

Archive

Latest news

Related news