Tuesday, July 16, 2024

සිරකරු දිනය: 20 වසරකටත් වඩා දඩුවම් විඳින සිරකරුවන් සිටියදී දුමින්ද වේවා රංජන් වේවා නිදහස් කළත් කැතයි! – සේනක පෙරේරා

ජායාරූපය: nsadvocate.org ඇසුරෙනි.

මෙරට විසි වසරක්ටත් වඩා දඩුවම් විඳින සිරකරුවන් සිටියදී දුම්න්ද සිල්වා හෝ රංජන් රාමනායක හෝ ජනාධිපති සමාව යටතේ නිදහස් කරද එය අසාධාරණ එමෙන්ම කැත දේශපාලනයක් බව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුටව් සභාපති සේනක පෙරේරා සඳන් කරයි.

ඔහු මේ බව පවසන්නේ සැප්තැම්බර් 12 වන දිනට යෙදෙන ජාතික සිරකරු දිනය වෙනුවෙන් සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව CPPR විසින්  නිකුත් කරන ලද ප්‍රකාශයට අදාළවය.

එම ප්‍රකාශය  කිසිදු වෙනසකින් තොරව සිරකරුවන්ට සහන ලබා දෙන ලෙසත් විශේෂයෙන්ම මරණ දඬුවම සහ ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිරගතව සිටින පිරිස් සම්බන්ධයෙන් සහන ලබා දෙන ලෙසද ඉල්ලීමක් කරයි. එය සදහන් කරන්නේ දහසක් පමණ එවැනි සිරකරුවන් මෙරට සිටින බවයි.

තවද එය දක්වන්නේ බන්ධනාගාර ආඥා පනතේ ප්‍රතිපාදන අනුව සිව්වස් සමාලෝචනය ඇතුළු අනෙක් සමාලෝචන ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක නොකිරිම තුළ රැඳවියන්ට විශාල අසාධාරණයකට මුහුණ දීමට සිදුව ඇති අතර මෙසේ ලැබිය යුතු සහන නොලැබීම නිසා දීර්ඝ කාලයක් (අවු 20 ක් වැනි) ඔවුන්ට බන්ධනාගාර ගතව සිටීමට සිදුව තිබෙන බවය.

එම සම්පුර්ණ ලිපිය පහත පළවේ:

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

ශ්‍රි ලංකා ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමණි,

මරණ දඬුවම සහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම ලැබු රැඳවියන්ට සහන ලබාදෙන ලෙස ඉල්ලීම.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුල මරණ දඬුවම සහ ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබු රැඳවියන් විශාල ප්‍රමාණයක් සිටින අතර, ඒ අතරින් මරණ දඬුවම ලැබු පිරිස 1000 කට අධිකය.

“අපරාධ දරුවන් උපදින්නේ නැත”, යන්න සමස්ථ ලෝකයම පිළිගත් සමාජ විද්‍යාත්මක කරුණකි. පවතින විවිධ සමාජ විෂමතාවයන් මත බොහෝමයක් අපරාධ සිදුවී අවසානයේ වැරදිකරුවන් ලෙස මෙසේ දඬුවම් ලබයි.

ඒ අනුව මරණ දඬුවම ලැබුරැඳවියන් සහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබු රැඳවියන් විසින් පසුගිය කාලයේදී විවිධ ආකාරයේ විරෝධතාවයන් වල යෙදෙමින් තමන්ට සහන ලබාදෙන ලෙස ඉල්ලා ඇත. 2020.11.18 වන දින ඔවුන් තමන්ගේ මරණ දඬුවම ජිවිතාන්තය දක්වා වන සිර දඬුවමකටත් ජිවිතාන්තය දක්වා වන සිර දඬුවම නිශ්චිත සිරදඬුවමකටත් (අවු 20 ක සිර දඬුවමක්) පත් කරන ලෙස ඉල්ලා ආහාර වර්ජනය කරමින් විරෝධතා උපවාසයකට යොමු වී ඇත. මෙම උපවාසයට දින 9 ක් පිරුණ තැන (2020.11.27) බන්ධනාගාර ඇමතිවරයා උපවාසයේ නියුතුව සිටි රැඳවියන්ට පොරොන්දු වූයේ එතැන් සිට ඉදිරි වෙසක් පෝය දිනට පෙර අදාළ සහන ලබාදෙන බවය. නමුත් මේ දක්වා එකී සහන ලැබී නැත.

එසේම මෙම වසරේ (2021) ජුනි මාසයේදි මරණ දඬුවම ලබා සිටි රැඳවියෙකු වු දුමින්ද සිල්වා යන අයව අවුරුදු 5 කටත් අඩු කාලයක් තුල නිදහස් කිරිම සම්බන්ධයෙන් රැඳවියන් ඊට විරෝධය පා ආහාර වර්ජනය කරමින් සිදුකල උපවාසය දින 8 ක් පුරා ක්‍රියාත්මක විය.

එසේම ඒ සදහා රැඳවියන් විශාල සංඛ්‍යාවක් සහභාගි විය. සෑම අවස්ථාවකම රැඳවියන් ඉල්ලා සිටියේ සියලු දෙනාටම සමානව සහන ලබාදෙන ලෙසයි.

සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ගේ පොස්ටුවක්

ඒ අනුව බන්ධනාගාර ආඥා පනතේ ප්‍රතිපාදන අනුව සිව්වස් සමාලෝචනය ඇතුළු අනෙක් සමාලෝචන ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක නොකිරිම තුළ රැඳවියන්ට විශාල අසාධාරණයකට මුහුණ දීමට සිදුව තිබේ. මෙසේ ලැබිය යුතු සහන නොලැබීම නිසා දීර්ඝ කාලයක් (අවු 20 ක් වැනි) ඔවුන්ට බන්ධනාගාර ගතව සිටීමට සිදුව තිබේ. මේ නිසාම සමහර රැඳවියන්ව ඔවුන්ගේ පවුල් වලින් පවා ඉවත් කර ඇත. මේ සියලු කාරණා නිසා විශාල මානසික පීඩනයකින් සිටීමට ඔවුන්ට සිදුව තිබේ.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ සිටින තමන්ට සහන නොදී තමන්ගේ දඬුවමම නියම කර ඇති සමහර රැඳවියන් කෙටි කාලයකින් නිදහස් කිරිම නිසා රැඳවියන් තුළ විශාල නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

ඒ අනුව දඬුවම් ලැබු රැඳවියන්ට සහන ලබා ගැනීමට හැකිවන ලෙස බන්ධනාගාර ආඥා පනතේ ඇතුළත් සිව්වස් සමාලෝචනය ඇතුළු අනෙකුත් සමාලෝචනයන් විධිමත්ව ක්‍රියාත්මක කිරිමටත්, වර්ගීකරනයකින් තොරව සියලු සිරකරුවන්ට සමානව සැලකිය හැකි ක්‍රමවේදයක් සෑදීමටත්, ඒ තුළින් ,සිරකරුවෝ මනුෂ්‍යයෝය, යන පාඨය යථාර්ථයක් කිරිමටත් මැදිහත් වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

(අත්සන් කලේ)

නීතිඥ සේනක පෙරේරා,

සභාපති,

පිටපත් : 1. බන්ධනාගාර ඇමතිතුමා,

  1. අධිකරණ ඇමතිතුමා,
  2. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා

Archive

Latest news

Related news