Saturday, April 20, 2024

ජනාධිපතිට අසම-සම බලයක් දෙන හදිසි නීතිය අහෝසි කිරීමට එක් වෙමු – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය

2021 අගෝස්තු 30 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් පැහැදිලිව හේතුවක් නොමැතිව ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් එමගින් රට තවදුරටත් මිලිටරිකරණය කිරීමත්  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD) හෙළා දකී.

එම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගතවූ දින 10 තුළ අනීතික ලෙස සහල් ව්‍යාපාරිකයින් බියවද්දමින් සහ කඩා පනිමින් කර ගෙන යන බලහත්කාර ක්‍රියාවළිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායන්ට සහමුලින්ම පටහැනිය.

මහාජනයාට පහසු මිලට ආහාර ලබා දීම රජයක වගකීමක් වන නමුත් ඒ සඳහා නීතියෙන් පිට පියවර ගැනීම මගින් ඇති කරන පූර්වාදර්ශය භයානක එකකි.

අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සහතික කිරීම සඳහා හදිසි නීති පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළද ඇත්ත වශයෙන්ම සිදු කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමක් බව දැන් අවිවාදිතය.

පසුගිය සම්ප්‍රදායන්ට පිටින් යමින්  එකවරම පෙනී නොයන පරිදි මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබීමෙන්ද පෙනෙන්නේ සිය ඇත්ත අවශ්‍යතාවය සැඟවීමට ආණ්ඩුවේ ඇති උවමනාවය.

මෙම ගැසට් නිවේදනය මගින් මහජන ආරක්‍ෂක ආඥාපනතේ දෙවන කොටස ක්‍රියාත්මක කර තිබේ. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර ඕනෑම නීතියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, සංශෝධනය කිරීම හෝ අත්හිටවීම යන නීතිමය බලපෑම් ඇති කිරීමේ නීති පැනවීමේ බලය දැන් ජනාධිපතිවරයා ලබා ගෙන තිබේ.

තවද රෙගුලාසියක් නීතියක් බවට පත්වීමට පෙර එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය සහ අවස්ථාව මෙම හදිසි නීති ප්‍රකාශය මගින් අහෝසි වෙයි.

ජනාධිපතිවරයාට දැන් පාර්ලිමේන්තුව මඟ හැර ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නීතිය ක්‍රියාත්මක කිරීමේ රෙගුලාසි සකස් කළ හැකිය. දැනටමත් පෙන්නුම් කර ඇති පරිදි ඔහුගේ විශ්වාසවන්ත තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය සෑම මසකම හදිසි නීතිය ප්‍රකාශ කිරීම අනුමත කරනු ඇත.

කොවිඩ් -19 වසංගතය ආරම්භ වී 18 කට ආසන්න කාලයක් ගත වී ඇතත් රාජපක්ෂ පාලනයට වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය  කළේ නැත. එය දැන් වුවත් එය කළ හැකිය. ජාතික ආරක්‍ෂාව හෝ ආපදා කළමනාකරණය සම්බන්ධ ඕනෑම කරුණක් සඳහා හදිසි පනත් කෙටුම්පත් සඳහා හදිසි පනතක් ගෙන ඒමට හදිසි නීතිය පැනවීම හෝ මහජන ආරක්ෂක පනත යොදා ගැනීම අවශ්‍ය නැත.

වසංගතය මැඩපැවැත්වීමට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම සහතික කිරීමට රජය අසමත් වී තිබේ. ඒ සඳහා මුළුමනින්ම වගකිය යුතු  පාර්ලිමේන්තුව මඟ හැර හුදෙක්ම හදිසි නීතිය යටතේ රට පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශ කිරීමට රජය තීරණය කළ බව පැහැදිලිය.

ජනතා අප්‍රසාදයට පත්ව සිටින රාජපක්ෂ රෙජීමය, තමන් අලුතින් සන්නද්ධ වූ මෙම හදිසි නීති බලතල මහා ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා අයිතිය මැඩපැවැත්වීම සඳහා යොදා ගනු ඇතැයි අපි බිය පළ කරමු.

මෙරට අතීත අත්දැකීම් පෙන්නුම් කරන්නේ හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කළ පසු  එම තත්වය දිගු කලක් පවත්වා ගැනීමට මෙරට දේශපාලනයින් හුරු වී ඇති බවයි. එසේ වුවහොත් සහල් මෝල් කරා දිගු වන අනීතික හස්තය මහා ජනතාවගේ අයිතීන් පාගා දැමීමට යෙදවීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

එබැවින් හදිසි අවස්ථා ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, නීති සැකසීමේ පිළිගත් විනිවිදභාවයෙන් යුත් ව්‍යවස්ථාදායක ක්‍රියා පටිපාටිය පිළිපදිමින් වසංගතය පාලනය කිරීම සඳහා නීති පැනවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD)  රජයට බල කර සිටී.

සිය දේශපාලන වෙනස්කම් නොසලකා එවැනි  බල කිරීමේ සාමූහික ව්‍යාපාරයකට එක් වන ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති සියලු  ශ්‍රී ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD)   උදක්ම ඉල්ලා සිටී.

රංජිත් හේනායකආරච්චි
සේනක වත්තේගෙදර
සිවසාමි සිවරාජන්
ස්ට්‍රට්ගාට්, ජර්මනිය/10.09.2021

Archive

Latest news

Related news