Thursday, November 21, 2024

පාස්කුදින ප්‍රහාරය බලය ඩැහැගැනීමට ක්‍රියාවේ යෙදවූ බිහිසුණු කුමන්ත්‍රණයක්ද? – සනත් බාලසූරිය

කිසියම් රටක පුරවැසියන් සියගණනක් ඝාතනය කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක් දැනුවත්ව ම දියත්කරන ලද්දේ, ඒ රටේ නායකයා බලයට ගෙනඒමේ රහසිගත කුමන්ත්‍රණයක් ලෙසයයි එරට පුරවැසියන්ගෙන් කිසියම්ම හෝ පිරිසක් විශ්වාස කරයි නම්, එය ඒ රට ගැන අති බියකරු සිත්තමක් ඇඳ පෙන්වන ඛේදජනක තත්ත්වයකි.

එය තනිකරම පදනම් විරහිත අභූත චෝදනාවක් නම්, තමන් අත කිසිදු වරදක් නැතිනම්, එවැනි චෝදනාවකට ලක්වන රාජ්‍ය නායකයා තමන්ගේ ප්‍රමුඛතම කාර්යය ලෙස නිසැකවම සලකනු ඇත්තේ කුමක්ද?

තමන් සතු සියලු බලතල ද, රාජ්‍යය සතු සියලු විමර්ශන බලඇනි ද, නීතිය හා යුක්තිය පසිඳලන සියලු ආයතන ද මෙහෙයවා සිය නිවැරැදි භාවය ඔප්පු කරමින්, මේ චෝදනාව බොරුවක් බව සැකයකින් තොරව තහවුරු කිරීමට උපරිම කාර්යක්ෂමතාවෙන් කටයුතු කිරීම නොවන්නේද?

මන්ද යත් එවැනි අතිශය බියකරු චෝදනාවකින් පළමුව ඛාදනය වන්නේ අදාළ රාජ්‍ය නායකයාගේත් ඔහුගේ ආණ්ඩුවේත් තර්කානුකූල පැවැත්ම වන බැවිනි.

දෙවනුව, එය අදාළ රාජ්‍යය ද බලය වෙනුවෙන් තමන්ගේම රටවැසියන් ත්‍රස්තවාදී කුමන්ත්‍රණවලින් සමූහ වශයෙන් ඝාතනය කරන්නට පවා මැලිනොවන ම්ලේච්ඡයන්ගේ රාජ්‍යයක් බවට පිරිහෙලී, රාජ්‍යය පිළිබඳ පුරවැසි විශ්වාසය බිඳවැටී, ශිෂ්ට ලෝකය හමුවේ ද අවමානයට පත්වීමට හේතුවන බැවිනි.

ආරම්භක සැකය

දැන් මේ සිනාරියෝව ලංකා පොළොවට අදාළකර බැලූ කල අප ඉදිරියේ පණගැන්වෙන සිද්ධි මාලාව කෙබඳු ද?
2019 වසරේ අප්‍රේල් මාසයේ පාස්කු දිනයේ දී ලංකාවේ පුරවැසියන් ද, විදේශිකයන් ද ඇතුළු 300කට ආසන්න පිරිසක් අමු අමුවේ ඝාතනය කරමින් කතෝලික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන ගණනාවකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, ඒ වසර අග දී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත්වීමට අවශ්‍ය පසුබිම සකසා, ඔහු ජයග්‍රහණය කරවීම උදෙසා දියත්කැරුණු කුමන්ත්‍රණයක් බවට බලවත් සැකයක් ඒ ආරම්භයේදී ම හටගැනී, එතැන් පටන් කෙමෙන් ව්‍යාප්ත වී අද වනවිට බලගතු සමාජ මතයක් බවට පත්වී තිබේ.

මේ ලියන මම ද, පාස්කු දින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ම මේ කාරණය සැකකළ හා සිද්ධිය ගැන විමසූ විදෙස් ජනමාධ්‍යවේදීන් හා මානව හිමිකම් සංවිධාන ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු ද ඇතුළු දෙස්-විදෙස් හිතවතුන් හමුවේ ඒ සැකය එළිපිට ප්‍රකාශකළ පුද්ගලයන්ගෙන් කෙනෙක්මි‍.

ඒ සැකය පදනම් වූයේ කිසිදු අපරාධ විමර්ශනයක ප්‍රතිඵල මත නොවේ. රටේ දේශපාලන ගමන්මග හා ඊට සමාන්තරව රටේ ජනමතය හසුරුවන – හැසිරවෙන ආකාරය අනවරතව නිරීක්ෂණය කරන්නකු තුළ ඇතිවන ‘ඉව’ පදනම් කරගෙන ය.

එදා තර්කානුකූල පදනමකින් ඒ සැකය මතුකළ බහුතරයක් දෙනා පිටුබල කරගත්තේ ඒ ආකාර වූ නිරීක්ෂණ ඔස්සේ ගොඩනැඟෙන ‘දේශපාලන ඉව’ යි‍.

ගෝඨාට ඇදුණු ජාතික ආක්ෂාවේ ජිම්කානාව

එහෙත් ඒ ආරම්භක අවස්ථාවේ මේ සැකය පැවැතියේ අප වැනි ඉතාම සීමිත පිරිසක් අතර බව පැහැදිළි ය.
එවැනි සැකයක් ඇතිකරගනු වෙනුවට, මේ ප්‍රහාරයේ ඍජු වින්දිතයන් වූ කතෝලික ප්‍රජාවත්, ඔවුන්ගේ ආගමික නායකයනුත් ඇතුළු සාතිශය බහුතර ලක්වැසියන් දැඩිව විශ්වාස කළේ ඊට ඉඳුරාම පටහැනි දෙයකි.
එනම්, ඒ වනවිට බලයේ සිටි ජනාධිපති සිරිසේනත්, අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවත් යටතේ රටේ ආරක්ෂාව මුළුමනින් අනතුරේ වැටී ඇති බවත්, ඒ ආරක්ෂාව යළිත් තහවුරු කර රට බේරාගතහැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බවත් ය.

ඇත්තටම, පාස්කුදින ප්‍රහාරයේ උණුසුම මැකීයන්ටත් පළමුව, එනම් ප්‍රහාරයෙන් සතියක් ගතවන්නට මත්තෙන් ගෝඨාභය ප්‍රසිද්ධියේ කියාසිටියේ, තමන් එළැඹෙන ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකු වශයෙන් නිසැකව ම ඉදිරිපත් වන බවත්, ඉස්ලාම් අන්තවාදය තුරන් කර අනතුරේ වැටී ඇති රටේ ජාතික ආරක්ෂාව තමන් යළි තහවුරු කරන බවත් ය‍.

මෙහිදී සැලකිල්ලට ගතයුතු තවත් වැදගත් කරුණක් වන්නේ, සිය දේශපාලන ආගමනයට සූදනමින් පාක්ෂිකයන්ගේ මහත් වූ හරසර මැදින් ගෝඨාභය අමෙරිකාවේ සිට ලංකාවට සැපත්වන්නේ ද පාස්කුදින ප්‍රහාරයට හරියටම දින 09කට කලින් එනම් 2019 අප්‍රේල් 12වැනිදා බව ය.

ගෝඨා නම් කපටි ආරක්ෂකයා

ඒ අනුව ප්‍රහාරයෙන් මාස හතක් ගියතැන එළැඹුණු ජනාධිපතිවරණයේ දී කතෝලික සභාවේ ද, එහි පූජ්‍ය පක්ෂයේ ද, කිතුනු භක්තියකයන්ගේ ද සාතිශය බහුතර සාහාය ලැබුණේ ‌ගෝඨාභය රාජපක්ෂට ය‍. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා ද ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශවලින් දේශපාලන වාසි සැලසුණේ ගෝඨාභය ආගමනයටය යන්න නොරහසකි.

පාස්කු දින ප්‍රහාරයේ සුලමුළ ගෝඨාභය පාලනයක් යටතේ කඩිනමින් අනාවරණය කරගනු ඇතැයි ද, අපරාධකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි ද, වින්දිතයන්ට සැකයකින් තොරව යුක්තිය ඉටුකරනු ඇතැයි ද, එපමණක් නොව නැවත කිසිදා මෙබඳු ත්‍රස්ත ප්‍රහාර එල්ල නොවන අයුරින් රටේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි ද ඔවුහු බලාපොරොත්තු වූහ‍.‍

භයංකර සිහිනයට ඇහැරීම

එහෙත් ඔහු බලයට පත්වීමෙන් පසු ගෙවුණු පසුගිය මාස 21 පුරා සිදුවී ඇත්තේ කුමක්ද?

පාස්කු දින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මා වැනි ඉතා සීමිත පිරිසක් විසින් මතුකරන ලද සැකය වැඩි වර්ධනය වී වණයක් ඔඩුදුවන්නාක් මෙන් රට පුරා ඔඩුදිවීම නොවන්නේද?

පාස්කුදින ප්‍රහාරය සිදුවී මාස 28ක් ගතවූ තැන, එනම් ගෝඨාභයගේ ආගමනයෙන් මාස 21ක් ගතවූ තැන, සිදුවී ඇතිදේ සලකා බලමු‍.

රටේ ආරක්ෂාව මුළුමනින් තහවුරු කර, පාස්කුදින ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදී, වින්දිතයන්ට පූර්ණ සාධාරණය ඉටුකිරීමට සමත් එකම පුද්ගලයා ලෙස පාස්කු දින ප්‍රහාරයේ වින්දිත ජනකණ්ඩායම ඇතුළු රටේ අති බහුතරයක් හිස් මුදුනින් පිළිගත් ගෝඨාභය ම මේ අමානුශික වූද බිහිසුණු වූද ප්‍රහාරයේ සැඟවුණු හස්තයක් බවට බරපතල මතයක් ඇතිවී තිබේ.

සමස්ත ප්‍රහාරයම ගෝඨාභය ජනාධිපති කරවීමේ වුවමනාවෙන් දියත් කැරුණු බිහිසුණු කුමන්ත්‍රණයක් බවට මතයක් සමාජය පුරා පැතිර ගොස් තිබේ.

දේව දූතයාගේ යක්ෂාගමනය

ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ පටන් සෙමෙන් ඔඩුදුවන වනයක් මෙන්, කෙමෙන් වැඩෙන පිළිකාවක් මෙන්, හැල්මේ පැතිරෙන වසංගතයක් මෙන් සමාජය වසාගෙන පැතිරුණු මේ සැකය තීරණාත්මක ලෙස හෙළිදරව් වූ මෑතකාලීනම අවස්ථාව උදාවූයේ මෙයින් සතියකට පෙර ය‍.

පාස්කුදින ප්‍රහාරයට මාස 28ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ කළුකොඩි ව්‍යාපාරය ඇතුළු විරෝධතාවන්ට සමගාමීව පැවැති මාධ්‍ය හමුවකදී ශෙහාන් මාලක ගමගේ Shehan Malaka Gamage නම් තරුණ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කළේ ය.

ඒ අතර වූ අතිශය බරපතල කාරණයක් වන්නේ, තමන් සමීක්ෂණයකට භාජනය කළ පුද්ගලයන් සියදෙනෙකුගේ නියැදියකින් 92 දෙනකු ම, පාස්කුදින ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒම සඳහා සිරිසේන ගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක කරන ලද දේශපාලන කුමන්ත්‍රණයකැයි කියාසිටින බවට ඔහු කළ හෙළිදරව්වයි‍.

මේ හෙළිදරව්වෙන් බැලූ බැල්මට ම පෙනෙන්නේ, රටේ ජනතාවගෙන් සාතිශය විශාල බහුතරයක් මේ වනවිට මේ අදහසේ සිටින බව ය.

මෙය හුදෙක් එක්තරා තරුණයකු ගේ වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස පමණක් ගත නොහැක්කේ, ඔහු ඒ ප්‍රකාශය කරන වටපිටාව, ඔහු හා සිටින බලවේග මෙන් ම ඉන් පසු ඔහුට අඛන්ඩව දින ගණනක් පුරා සිදුවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නකිරීම් ඇතුළු අඩන්තේට්ටම් වලදී ඔහු වෙනුවෙන් පෙනීසිටි, ඔහුට සහාය පළකළ පූජ්‍ය පක්ෂය ඇතුළු බලවේග ගැන ද සලකා බලන කල්හි ය.

“පාස්කුදින ප්‍රහාරය දැවැන්ත කුමන්ත්‍රණයක්’’

මෙතැනින් නොනැවතී දැන් දැන් කතෝලික සභාවේ ඉහළම පූජක කාරකාදීහු ද මේ සැකය ව්‍යංගයෙන් මෙන්ම ඍජුව ද ප්‍රසිද්ධියේ හෙළිදරවු කරමින් සිටිති.

පසුගිය අගෝස්තු 14වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා කියාසිටියේ මේ ආණ්ඩුව තුලින් හා මේ සිදුවෙමින් යන ක්‍රියාදාමය තුළින් සාධාරණය ඉටුවනු ඇතැයි කියා හෝ සත්‍යය හෙළිදරව් වනුඇතැයි කියා කොහෙත්ම විශ්වාස කළ නොහැකි බව යි.

විදෙස් ඇමැති ජී එල් පීරිස්ගෙන් සාකච්ඡාවක් සඳහා ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් යවන ලද ලිපියකින් ද මැල්කම් රංජිත් කාදිනල්වරයා පසුගියදා කියාසිටියේ මේ ආණ්ඩුව පාස්කුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකරනු ඇතැයි යන විශ්වාසය මේ වනවිට පළුදුවී ඇති බව යි.

පාස්කුදින ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් වුවත්, ඒ පසුපස බරපතල කුමන්ත්‍රණයක් පැවැති බව පිළිගන්නට සිදුවන බව අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියනම ද පසුගිය දා YouTube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ ය‍.

සේම, තමන් හමුවී අදහස් විමසූ පුද්ගලයන් 100 දෙනකුගෙන් 92ක් ම පාස්කුදින ප්‍රහාරය ගෝඨාභය බලයට ගෙනඒමට කළ කුමන්ත්‍රණයකැයි මත පලකරන බව ප්‍රසිද්ධියේ කී ෂෙහාන් මාලක ගමගේ දවස් අටක් පුරා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරමින් අනියමින් හිංසනයට ලක්කරන විට, කතෝලික සභාවේ පූජක පක්ෂය ඇතුළු පිරිස් ඔහුගේ සහායට ඉදිරිපත් වෙමින් ඔහුගේ සහායට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පවා යාමෙන් පෙන්නුම් කරන්නේ, ඔහු ඉදිරිපත් කළ අදහස්වලට සමාජ බලයක් තිබෙන බව හා ඔහු ඒ බලවේගවල ප්‍රකාශකයෙක් ය යන්න යි.

එහෙත් මේ සියල්ලන්ට ම කලින් පාස්කුදින ප්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබී ඇතැයි ප්‍රකාශ කළ නිල ධූරාවලිය තුළ බලවත්ම පුද්ගලයා වූයේ ඒ ප්‍රකාශය කරන අවස්ථාවේත් නීතිපති ධුරය දැරූ දප්පුල ද ලිවේරා ය යන්න ද මෙහිදී අමතක නොකළ යුතු ය. පසුගිය මැයි මාසයේ දී ඔහු ඒ බව අනාවරණය කළේ News 1st වෙත කළ විශේෂ අදහස් දැක්වීමකදී ය.

මේ සියල්ලෙන් පෙනීයන්නේ, ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේදී ම එය රටේ දේශපාලන බලපෙරළියක් ඉලක්ක කරගෙන සිදුවූ කුමන්ත්‍රණයකැයි යනුවෙන් ඉතා සීමිත පිරිසක් තුළ ඇතිවූ සැකය අද වනවිට සමාජය පුරා අස්සක් මුල්ලක් නෑර ඔඩුදුවා ඇති තරම යි.

කොටින්ම පාස්කුදින ප්‍රහාරය ගෝඨාභය බලයට ගෙනඒම සඳහා දැනුවත්ව කරන ලද කුමන්ත්‍රණයක් බව අද රටේ සැලකියයුතු බහුතරය එළිපිට හෝ රහසිගතව පිළිගන්නා බව දැන් සැඟවිය නොහැකි සත්‍යයක් බවට පත්ව තිබේ.
ත්‍රස්තවාදී මිනිස් බෝම්බ වැලක වින්දිතයන්ට යුක්තිය ඉටුකරගැනීමට, ත්‍රස්තවාදයෙන් තමන් ආරක්ෂා කරගැනීමට වඩම්මාගෙන එන ලද රාජ්‍ය නායකයා ම, ඒ බෝම්බ වැල තමන්ගේ බල ග්‍රහණය වෙනුවෙන් කුමන්ත්‍රණකාරීව පත්තුකරන ලද්දක් බව සිතන්නට කරුණු යෙදීම, රටක පුරවැසියෙකුට මොනතරම් භයානක හීනයකට ඇහැරෙන්නට සිදුවීමක්ද?

තමන්ට එල්ලවන මේ බිහිසුණු චෝදනාවෙන් නිදහස් වීම සඳහා නීතිය ක්‍රියාවේ යොදවනු වෙනුවට වත්මන් ජනාධිපති ගෝඨාභය සිදුකරමින් සිටින්නේ මොනවාද, ඒ කරමින් සිටින දෙයින් ඔහු මේ චෝදනාව තවදුරටත් සාධනය කරන්නේ කෙසේද යන්න ඉදිරියේදී සාකච්ඡා කරන්නට අදහස් කරමු.

ගෝඨාගමනයෙන් කඩාකප්පල් කෙරුණු විමර්ශන

2019 සිදුවූ ‘ගෝඨාගමනය’ උත්කර්ශවත් වාග්චිත්‍රයකට දැමුවහොත් ඒ චිත්‍රයේ පත අට එකට හින්දූ කසාය කෝප්පය මෙපරිදි ය.

//මරාගෙන මැරෙන ප්‍රහාර අටකින් සුන්නද්දූලි වී ගිය ජාතික ආරක්ෂාව යළි නගාසිටුවන්නට සමත් එකම ආරක්ෂකයා වශයෙන් ද,
අතීත කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවාක් මෙන්, අසමත් පාලනයක් හේතුවෙන් කාටත් හොරා හිටි අඩියේ මාරාන්තික මුදුනටම නැඟි මුස්ලිම් අන්තවාදයෙනුත් රට බේරාගන්නා වීරයා වශයෙන් ද,
ඒ සුන්නද්දූලි වූ රටට ඇමරිකාවේ සිට කලකට පසු ගොඩබැස්ස ගෝඨාභය –

“මම මව්බිම බේරාගනිමි’’ යි ප්‍රතිඥා දුන්නේ ය.

“පාස්කුදින ප්‍රහාරයේ වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දී වහ වහා යුක්තිය පසිඳලමි”යි ශපත කළේ ය.//

මහා ගෝඨාභය වන්දනා සමය

එතැන් පටන් නොවැම්බරයේ ජනාධිපතිවරණය දක්වා සත් මස් කාලය ‘ මහා ගෝඨාභය වන්දනා සමය’ විය.
මේ බිහිසුණු ප්‍රහාරයෙන් භෞතිකව පමණක් නොව ආධ්‍යාත්මිකව ද තැලී පොඩිවී ගොස් තිබූ කතෝලික සමාජයේ අති බහුතරය, තමන්ගේ පරණ දේශපාලන ලැදියාවන් වෙනත් තැනක් හා බැඳී තිබිණි නම් ඒ සියල්ල ද පසෙක ලා, ගෝඨාභය වන්දනාවට එක්වූහ.

එහි පුදුම වන්නට කිසිදු කාරණාවක් නොතිබිණි.

මේ ප්‍රහාරය දේශපාලන බලපෙරළියක් උදෙසා සැලසුම් කළ බිහිසුණු කුමන්ත්‍රණයක් බවට ඒ අවස්ථාවේ සැකකළ පිරිස අතිශය සුළුතරයක් පමණක් විය‍.

වින්දිතයන් ද ඇතුළු රටේ සාතිශය බහුතරය මේ ප්‍රහාරය තේරුම් ගත්තේ, රාජපක්ෂ පාලනයෙන් බැහැරව ගතවූ වසර 5තුළ සිදුවූ ඊනියා ‘ජාතික ආරක්ෂාවේ’ දැවැන්ත බිඳවැටීමක් ලෙසට ය.

ඉතින්, ‘කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ පතාක යෝධයෙක් ය’ යන ලේබලය අලවාගෙන සිටි ගෝඨාභය, සිය පුරවැසිකම ඇති භූමිය වූ අමෙරිකාවේ සිට මෙහි ගොඩබැස, “මම රටේ ජාතික ආරක්ෂාව භාරගනිමි” යි කී විට, ලෝක මට්ටමින් ම නැඟ එන ‘මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත බිල්ලාගෙන්’ බේරීමට සිතා බහුතර ලාංකිකයා ඔහු පසුපස්සේ වන්දනාවකට වැටීම පුදුමයක්ද‍?

ඒ අනුව ප්‍රහාරයේ සිට ජනපතිවරණය දක්වා මාස හතක කාලය පාස්කුදින ප්‍රහාරය හොඳටම අලෙවි වන වෙළෙඳ භාණ්ඩය බවට පත්වී, ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයේ හෝල්සේල් විකිණිමේ කිසිදු අරුමයක් නැත.
ගෝඨාගමනයෙන් ඉක්බිති…

දැන් අපට එන්නට සිදුවන්නේ පශ්චාත් ජනාධිපතිවරණ සමයට ය.

එනම්, ගෝඨාභය අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් 2019 නොවැම්බර් 18 වැනිදායින් පසු කාලයට ය.
එතැන් පටන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතුවලට සිදුවූයේ මොනවාදැයි එළැඹි සිහියෙන් කල්පනාවට ගැනීම දැන්වත් කළ යුතු ය.

ගෝඨාගමනයෙන් අනතුරුව සිදුවූ එක් ක්ෂණික හා අතිශය තීරණාත්මක පියවරක් වූයේ, ඒ වනවිට පාස්කු ප්‍රහාරයට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාන්විත තලයේ මෙහෙයවමින් සිටි ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී, එවකට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විමර්ශනවලින් පමණක් නොව දෙපාර්තමේන්තුවෙන් ද පන්නා දැමීම ය.

ඔහු මාරුකර හරින ලද්දේ ඔහුගේ තනතුරට හා වෘත්තීය ඉතිහාසයට කොහෙත්ම ගැලපෙන තැනකට නොවේ. වෛරී සහගත දේශපාලන පළිගැනීමක් බව යුක්තිය ගැන අදහසක් ඇති ඕනෑම පුද්ගලයකුට පෙනීයා යුතු තැනකට ය. පාස්කුදින ප්‍රහාරය පමණක් නොව සමාජයේ දැඩි කතාබහට ලක්වූ විමර්ශන ගණනාවක් අවසන් කර සිටි, තවත් එවැනි ම ආන්දෝලනාත්මක විමර්ශන ගණනාවක නියැලී සිටි, ඒ බොහොමයක් ක්‍රියාන්විත තලයේ මෙහෙයවූ මේ නිලධාරියා ගෙනගොස් අතහැරියේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ‘පියන් ජොබ් එකකට’ ය.
ශානි අබේසේකර යනු ඒ වනවිට රටේ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරුන් අතර ජ්‍යේෂ්ටත්වයෙන් 8වැනි තැන සිටි නිලධාරියා ය.

ශානි – මේ කවුද? කරමින් සිටියේ මොනවාද?

ගෝඨාගමනයත් සමඟ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නා දමනවිට ඔහු මෙහෙයවමින් සිටි තීරණාත්මක විමර්ශන මොනවාද?

ඒවායින් කිහිපයක් මෙසේ ය.

කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද සිසුන් 11දෙනා ගේ සිද්ධිය
වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමූහ ඝාතන
ලසන්ත වික්‍රමතුංග ඝාතනය
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
වසීම් තාජුදීන් ඝාතනය
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීම
‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීම
‘රිවිර’ පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට එල්ලවූ ප්‍රහාරය
මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදීම

මහා පොදු සාධකය වූ ‘බුද්ධි අංශ’

මේ හැම සිදුවීමකම පාහේ විමර්ශනවලින් හෙළිදරව් වෙමින් පැවැති එක් භයංකර මහාපොදු සාධකයක් විය.
එනම් මේ හැම සිදුවීමක් පිටුපස ම පාහේ රජයේ බුද්ධි අංශ නමින් පොදුවේ හැඳින්වෙන ආණ්ඩුවේ ඔත්තුසේවා ක්‍රියාත්මක වී ඇති බව ය. මේ හැම අපරාධයක් ම ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස සිටි සමයේ සිදුවී, ඒ කාලය පුරා හරිහමන් විමර්ශනයකට ඉඩ ලබානොදී තිබී, 2015 බලයට පත් සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ මොන අඩුපාඩු හා බාධාකිරීම් මධ්‍යයේ වුවත්, මන්දගාමීව හෝ විමර්ශන සිදුවෙමින් පැවැති අපරාධ ය.

ඉහතින් සඳහන් කළ හැම සිදුවීමක් පසුපස ම ඊනියා ‘ආණ්ඩුවේ බුද්ධිඅංශ’ සිටි බවත්, ඒ බුද්ධි අංශ ගෝඨාභය රාජපක්ෂට අතිශය පක්ෂපාතීව හා ඔහුගේ අණ අනුවම ක්‍රියාත්මක වූ බවත් මේ අවස්ථාවේ සිහියට නඟගැනීම ප්‍රයෝජනවත් ය. මන්ද යත්, අප මේ දිගහරිමින් සිටින්නේ ද පාස්කුදින ප්‍රහාරය පසුපස ඇත්තේ ගෝඨාභය බලයට ගෙනඒම සඳහා මේ කියන බුද්ධි අංශවල මැදිහත්වීමෙන් දියත්කරන ලද දැවැන්ත කුමන්ත්‍රණයක්ය යන බලවත් සැකයට අදාළ අනුල්ලංඝනීය සාක්ෂ්‍ය සහ තර්කානුකූල පසුබිම වන බැවිනි.

ගෝඨාගේ වැඩ ඇල්ලීම

ශානි අබේසේකර විමර්ශනවලින් පන්නා දැමූ ගෝඨා ප්‍රසිද්ධියේ කියාසිටියේ “ශානි එයාට හිතෙන දේ හරි කියලා හිතාගෙන ඒකට හරියන්න විමර්ශන කරනවා” කියා ය. ශානි අබේසේකරට එරෙහිව සිදුකළ ඒ දේශපාලන පලිගැනීම සාධාරණීකරණය කිරීමට, ජනාධිපතිවරණය උඩින්ම දිනා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ගෝඨාභය පාවිච්චි කළේ ශානි යනු දේශපාලනිකව අභිප්‍රේරණය වී තමන්ගේ කඳවුර අසාධාරණ ලෙස අමාරුවේ දැමීම අරමුණු කරගෙන විමර්ශනය සිදුකරන නිලධාරියෙකැයි යන මතය වැපිරීමට උත්සාහ කිරීම යි.

එහෙත් ගෝඨා ආරක්ෂක ලේකම් ලෙස සිටියදී, සිය අයියණ්ඩිය මහින්ද ජනාධිපතිකම් දරද්දී, තමන්ට අත්‍යාවශ්‍ය විමර්ශන සිදුකිරීම සඳහා ඔවුන් දෙදෙනා ම ඉල්ලා සිටියේ ශානි අබේසේකර ය යන්න, ගෝඨා අද නොකියන කතාව යි. “එහෙට මෙහෙට වැනෙන්නැති, කොන්ද පණ තියෙන නිලධාරියෙක් දෙන්නැ” යි ඉල්ලා මේ ගෝඨා-මහින්ද අයියා-මලෝ තමන්ට ඉතාම වැදගත් විමර්ශන සඳහා යොදාගත් නිලධාරියෙකි ශානි අබේසේකර. එකල ඔහු සිදුකළ ප්‍රසිද්ධ විමර්ශන අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය, ගෝඨාටමත් පිත්තල හින්දියේ දී එල්ලවූ ප්‍රහාරය, මහින්දගේ පෞද්ගලික හිතවතෙක් වූ මොහොමඩ් සියාම් ඝාතනය ආදී සිද්ධි ණනාවක් විය.

එහෙත් මේ කාලයේදී ද ලසන්ත ඝාතනය වැනි අපරාධයක් ලුහුබැඳයාම ශානිට පැවරුණේ නැත. හේතුව පැහැදිළි ය. ඒ ඝාතනය යටගැසීමට මිස හෙළිදරව් කර යුක්තිය ඉටුකිරීමට ගෝඨලාට අවශ්‍ය නොවීම ය.

එදා තමන්ට අවශ්‍ය විමර්ශන නිසිපරිදි ඉටුකරගැනීමට ඉල්ලා ලබාගත් ‘වැනෙන්නේ නැති කොන්ද පණ තියෙන’ විමර්ශන නිලධාරියා පාස්කුදින ප්‍රහාරයෙන් පසු හිතාමතා තමන්ට එරෙහිව විමර්ශන සිදුකරන දේශපාලනික අභිප්‍රේරණයකින් කටයූ කරන්නකු ලෙස ලේබල්කර පන්නා දමන්නේ, ඊනියා බුද්ධි අංශ ද හවුල්කරගෙන සිදුකළ පෙර අපරාධ පමණක් නොව මේ කුමන්ත්‍රණය ද හෙළිදරව් වීම වැළැක්වීමටය යන්න ය මේ පැහැදිළි වෙමින් එන්නේ.

ගෝඨාගමනයත් සමඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවූ එකම වෙනස්කම ශානි අබේසේකර පන්නාදැමීම පමණක් නොවේ. ගෝඨාභය බලයට පත්වී සතියක් හමාරක් ඇතුළත ඒ වනවිට පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන්

විමර්ශන සිදුකරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
ශානි ඇතුළු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරීවරු දෙදෙනෙක්,
සහකාර පොලිස් අධිකාරීවරු 5 දෙනෙක්,
ප්‍රධාන පොලිස් පරීක්ෂක මට්ටමේ නිලධාරීන් හා නිලධාරිනියන් 8 දෙනෙක් හා
පොලිස් පරීක්ෂක මට්ටමේ 6 දෙනෙක් පමණ මේ අන්දමින් මාරුකර යවන ලදහ.‍

දැන් ඔබට මේ කතාවේ සුලමුල ගැන කිසියම් අදහසක් ඇතිකරගත හැකි වනු ඇත. පාස්කුදින ප්‍රහාරය විකුණා බලයට පත් ගෝඨාභය, තමන් බලයට පැමිණ සතියක් හමාරක් ගතවන තැන අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවමින් සිටි ශානි අබේසේකර ඇතුළු විමර්ශනවල කෙලින්ම නියැලී සිටි විස්සකට අධික පිරිසක්, කිසිදු විශේෂ හේතුදැක්වීමකින් තොරව, හුදෙක් ‘පරිපාලන අවශ්‍යතා’ නම් ව්‍යාජ හේතුව මත මාරුකර යවා ඇත. ශානිට එරෙහිව පමණක් වෙනත් අභූත චෝදනා තැන තැන නඟන ලදී‍.

එවකට විමර්ශනවල තත්ත්වය

චිත්‍රය තවත් පැහැදිළි වීමට නම්, ගෝඨාගමනය සිදුවී මේ මාරුකිරීම් කරන අවස්ථාව වනවිට පාස්කුදින ප්‍රහාරයට අදාළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විමර්ශන පැවැතියේ කෙබඳු අදියරකද යන්න ගැන අදහසක් ඇතිකරගැනීම වැදගත් වෙයි‍.

ඒ වනවිට ප්‍රහාරයෙන් ගතවී තිබුණේ මාස හතක කාලයකි. ඒ කාලය තුළ සිද්ධියට ඍජුව සම්බන්ධ වූ හා ඒ සම්බන්ධිතයන්ට තව තවත් ආකාරවලින් සම්බන්ධ වූ ප්‍රධාන පිරිස් සියල්ලම පාහේ අත්අ‌ඩංගුවට ගෙන තිබිණි.
ඊට අමතරව මේ වනවිට මේ විමර්ශන තවත් ඉතා වැදගත් අවදියකට අවතීර්ණව තිබිණි.

එනම්, ඒ වනවිට ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන්ගේ අවධානය ප්‍රමුඛ වශයෙන් යොමුවී තිබුණේ මේ මතුපිට සැකකරුවන් හැරුණුකල මේ මහා අපරාධය පසුපස සිටිබවට සැකකළ හැකි තෙවැනි පාර්ශවයක් කෙරෙහි ය.
මේ තෙවැනි පාර්ශවය යනු අන් කිසිවෙක් නොව, ගැටමුසු තීරණාත්මක තැන් කිහිපයක් හෙළිදරව් කරගැනීම සඳහා තවත් හරිහමන් විමර්ශන කිහිපයක් අවශ්‍ය හා ඉන් අනතුරුව සිදුවන සාධාරණ අධිකරණ ක්‍රියාදාමයක් ඔස්සේ තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් බව පෙනෙන සාක්කි සාධක ඔස්සේ අප මේ දිගහරිමින් සිටින කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ය‍.

අපරාධයේ කුමන්ත්‍රණකරුවෝ

ගෝඨාගමනය සිදුවන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ඇස යොමුවී තිබූ මේ තෙවැනි පාර්ශවය සැදුම් ලද්දේ කවුරුන්ගෙන්ද?

ශානි අබේසේකර ප්‍රධාන පිරිස පාස්කුදින ප්‍රහාරයට අමතරව කරමින් සිටි බවට අප ඉහතින් සඳහන්කළ ආන්දෝලනාත්මක අපරාධවලට ඇඳෙමින් සිටි රජයේ බුද්ධි සේවා නමින් හැඳින්වෙන ඔත්තුසේවාවල පිරිසකගෙනි‍.

පාස්කු ප්‍රහාරයට අදාළ සිදුවීම් මාලාවේ එක් අතිශය වැදගත් ආරම්භක සිද්ධියක් වන 2018 දෙසැම්බර් මස මඩකලපුවේ වවුනතිව් පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමට සාවද්‍ය වාර්තා පහක් හා ගොතන ද සාක්කි ද සපයමින් පරීක්ෂණ නොමග යවන්නට උත්සාහ කළබවට පැහැදිළි සාක්කි ඇති රාජ්‍ය බුද්ධි සේවාවේ ( State Intelligence Service) ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිස් ය.

පාස්කුදින ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව එහි වගකීම ISIS සංවිධානය විසින් භාරගන්නාබවට වගබලාගැනීමේ වගකීම දරමින් මාතලේ සහරාන් හෙවත් පොඩි සහරාන් සමඟ ‘සොනික් සොනික්’ නම් සංඛේත නාමයෙන් සම්බන්ධවෙමින් කටයුතු කළ රාජ්‍ය බුද්ධි සේවයේ SI බණ්ඩාර වැන්නවුන් ය‍.

ප්‍රහාරක කණ්ඩායමේ සිටි ප්‍රබලම චරිතයක් වූ සහරාන් භාවිත කළ විනාශයට පත්ව තිබූ ජංගම දුරකතනයෙන් ඉහළම තාක්ෂණ ක්‍රම යොදාගනිමින් අමෙරිකාවේ FBI ආයතනය විසින් නැවත ලබාගන්නා ලද තොරතුරුවල වූ අයිපී ලිපිනයක් (IP Address) ඔස්සේ ගොස් සොයාගත්, එහෙත් යුදහමුදා බුද්ධි සේවාවේ බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කුගේ මැදිහත්වීම පිට අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ, සහරාන් සමග දිගින් දිගටම ගනුදෙනු කර තිබූ යුදහමුදා බුද්ධි සේවාවේ සාමාන්‍ය සෙබළෙක් වූ මුස්ලිම් ජාතිකයා ය.

මේ ලැයිස්තුව තව දිග නමුත්, දැනට අපගේ තර්කයට ඇවැසි ප්‍රමාණයෙන් නවත්වමු. මේ සියලු කරුණු ඉදිරි ලිපියකින් සවිස්තරව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

විමර්ශනවල දිශානතිය

මේ හදිසි මාරුවීම් කරනවිට පාස්කුදින ප්‍රහාරයේ විමර්ශන වැටී තිබුණේ කෙබඳුනම් දිශාවකටද යන්න දැන් කෙටියෙන් සලකා බලමු.

කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරවාගත් මුහම්මදු හසුතුන්ගේ බිරිය වන, පාස්කු දින ප්‍රහාරයේ ඉතාම වැදගත් තොරතුරු රැසක් සන්තකයේ තබාගෙන සිටින්නියක ලෙස සැකකැරෙන, එහෙත් ප්‍රහාරයෙන් පසු අබිරහස් ලෙස අතුරුදහන් වූපුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්ට සිදුවූයේ කුමක්ද යන්න සෙවීම දෙසට ය.

ඇය මියගිය බව තහවුරු කිරීමට කිසියම් පිරිසකට අවශ්‍යව තිබූ බවත්, ඇයට පලායාමට හැකිවන පරිදි මොහෙයුම් පමා කළබව හා ඇයට පලායාමට යම් පිරිසක් උදව් කළ බවත් හෙළිවෙමින් තිබීමේ දෙසට ය.

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලොජ් හි බෝම්බය පුපුරවාගත් අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමිල් ඒ පුපුරුවාගැනීමට පෙර ටාජ් සමුද්‍ර හෝටලයේ සිටියදී ඔහු හා දුරකතනයෙන් සම්බන්ධ වූ පුද්ගලයා කවුද යන්න සෙවීම දෙසට ය. එසේම පළමු ප්‍රහාර කිහිපය එල්ලවීමෙන් අනතුරුව, ඒ හදිසියේ ම මේ අබ්දුල් ජමීල්ගේ නිවසට ගිය බුද්ධි සේවා නිලධාරීන් කවුරුන්ද, ඔවුන් එහි ගියේ කුමක් සඳහාද යන කාරණා හෙළිදරව් කරගැනීම දෙසට ය.

මේ ලැයිස්තුව ද තවත් දිග නමුත්, දැනට මෙතැනින් නවත්වන්නේ ඉදිරි ලිපිවලදී ඒ පිළිබඳ හෙළිදරව් කරන අදහසිනි.
ගෝඨාගමනයෙන් හා ශානි අබේසේකර ඇතුළු විමර්ශන නිලධාරීන් එලවාදැමීමේ පටන් අද දක්වා ගතවූ 21 මසක විමර්ශන ශේෂපත්‍රය ඊළඟ කොටසින් සලකා බලමු.

(Copied from Santha Balasooriya FM)

 

Archive

Latest news

Related news