Wednesday, April 24, 2024

මහේස්ත්‍රාත්වරුන් කොළඹට කැඳවා කිව්වේ මොනවාද? ඇත්ත කියනු- NMSJ*, අධිකරණ සේවා කොමිසමට කියයි

රටේ සියලුම මහේස්ත්‍රාත්වරුන් කොළඹට කැදවමින් පවත්වා ඇති සම්මන්ත්‍රණයේ දී සිදුව ඇතැයි කියන තත්වයන් පිළිබදව රටට විධිමත් කරුණු දැක්වීමක් සිදුකරන ලෙස  අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බව සඳහන් කරමින් එම ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

සම්මන්ත්‍රණයේදී ලබාදී ඇතියි කියන නිරීක්ෂණයන් හා මගපෙන්වීම් පිළිබදව පලවී ඇති තොරතුරුවලට අනුව එම කටයුතු සිදුවී ඇත්තේ ඒ ආකාරයට නම් එය සැලකිය හැක්කේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ස්වාධීන අධිකරණයක පැවැත්මට මෙන්ම ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම්වලට සීමා පැනවීම සදහා ගෙන ඇති චේතනාන්විත උත්සහයක් ලෙස බවත් එම නිවේදනය සඳහන් කරයි.

(NMSJ* යනු සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයයි)

නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.

රටේ සියලුම මහේස්ත්‍රාත් අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් කැඳවා පවත්වා ඇති සම්මන්ත්‍රණයට අදාලව අධිකරණ සේවා කොමිසම රටට කරුණු පැහදිලි කළ යුතුය.

රට මේ වනවිට මුහුණදෙමින් සිටින බිහිසුණු අර්බුදකාරී තත්වය හමුවේ වගකීම් සහගතව ක්‍රියාකළ යුතුව ඇති ප්‍රමුඛතම අංශ පවා තමන් සතු නිශ්චිත කාර්යභාරය හදුනානොගනිමින් හා එම ආයතනයන්හි වගකීම් හා කාර්යභාරය අනිසි ලෙස යොදා ගනිමින් කටයුතු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව ජන ජීවිතයේ යහපැවැත්මටද බරපතල අගතීන් නිර්මාණය කළ හැකිය. මේ රටේ ප්‍රමුඛතම අංශ පවා ඒ පිළිබදව වගකීමකින් සහ අවධානයකින් යුක්තව කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබීම රට මුහුණදෙමින් සිටින මෙම දැවැන්ත අර්බුදය තව තවත් සංකීර්ණ කළ හැකිය.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මේ බව අවධාරණය කරන්නේ රටේ පැවැත්මට තීරණාත්මක වගකීම් උසුලන විධාකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතු සිදුකරමින් සිටින ආකාරය පිළිබදව පමණක් නොව යුක්තිය පසදලීමේ බරපතල වගකීම් පැවරී ඇති අධිකරණ ක්ෂ්‍රේත්‍රයට අයත් ඇතැම් ආයතනයන්හි කටයුතු සිදුවෙමින් පවතින ආකාරයද බරපතල ලෙස සැලකිල්ලට ගනිමිනි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව රටේ සියලුම මහේස්ත්‍රාත් අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් විශේෂ සම්මන්ත්‍රණයක් සදහා කොළඹට කැදවමින් නිකුත් කරඇති ලිපියෙහි ඇතුළත් බොහෝ අවධාරණයන් මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයන්හි ඇතැම් කටයුතුවලට අදාලව එම සම්මන්ත්‍රණයේදී ලබාදී ඇතියි කියන නිරීක්ෂණයන් හා මගපෙන්වීම් පිළිබදව පලවී ඇති තොරතුරුවලට අනුව එම කටයුතු සිදුවී ඇත්තේ ඒ ආකාරයට නම් එය සැලකිය හැක්කේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ස්වාධීන අධිකරණයක පැවැත්මට මෙන්ම ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම්වලට සීමා පැනවීම සදහා ගෙන ඇති චේතනාන්විත උත්සහයක් ලෙසට ය.

ශිෂ්ඨ සම්පන්න ලෝකයෙහි ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස මෙන්ම අත්නොහැරිය යුතු අයිතිවාසිකම් පිළිබදව ගරුත්වයක් ඇති කිසිවෙකු හෝ එවැනි තත්වයකට එකගත්වය පල නොකරනු ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසය යි. ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස අගයන සාධාරණ සමාජයක් උදෙසා පෙනී සිටින අප සංවිධානය එවැන්නක් ගැන අසන්නට ලැබීමෙන් බලවත් තැති ගැනීමකට ලක්ව සිටින බව දැනුම් දෙන අතරම, එවැනි තත්වයකට කිසිසේත්ම එකගත්වයක් පල නොකරන බව අවධාරණය කරන්නෙමු. එමෙන්ම එවැනි තත්වයක් හරහා රටට ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල පිළිබදව ජනතාව දැනුවත් කරමින් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත සමාජය හා එක්ව පෙළගැසෙන්නෙමු.

රටේ පාලනය උදෙසා ඉහළම වගකීම් පැවැරී ඇති පළමු පුරවැසියාගේ සිට වගකිව යුතු සෑම පුද්ගලයන් මෙන්ම ආයතනයන් ද රට වෙනුවෙන් වූ එම කාර්යභාරය ඉටුකල යුතුව ඇත්තේ රටේ මූලික නීතියට අනුගතවය. එය නොසලකමින් හෝ බැහැර කරමින් කවර ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන්නට උත්සහ කරන්නේ නම් හෝ එවැනි දෙයකට අනුබල සපයන්නේ නම් හෝ එය සැලකිය යුත්තේ රටේ ව්‍යවස්ථාවට පිටුපෑමක් ලෙසටය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත පිහිටා ගොඩනගා ඇති සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයට එරෙහිවීමක් ලෙසට ය. රටේ කවර හෝ ආයතනයක් එවැනි ප්‍රවේශයකට යොමුවන්නට උත්සහ කරන්නේ නම් ඒ මගින් සිදුවනු ඇත්තේ රටක් ලෙස අප මුහුණදෙමින් සිටින දැවැන්ත අර්බුදය තව තවත් උත්සන්න කිරීමකි.

එබැවින් අප මේ මොහොතේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ එම  ආයතනය මගින් රටේ සියලුම මහේස්ත්‍රාත්වරුන් කොළඹට කැදවමින් පවත්වා ඇති සම්මන්ත්‍රණයේ දී සිදුව ඇතැයි කියන තත්වයන් පිළිබදව රටට විධිමත් කරුණු දැක්වීමක් සිදුකරන ලෙසටය.

එමෙන්ම අප මේ මොහොතේ රටේ විධායකයෙන් හා ව්‍යවස්ථාදායකයෙන් මෙන්ම අධිකරණයෙන් ද ඉතාමත්ම ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටින්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව අද වනවිට මුහුණදෙමින් සිටින දැවැන්ත අර්බුදයට විසදුම් සොයායාමේදී රටේ මූලික නීතියට ඉහළ ගරුත්වයක් ලබාදෙමින් ඒ මගින් සුරක්ෂිත කරඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායට හා ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසට ය.

ස්තූතියි !
මෙයට

දේශබන්දු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news