Friday, April 19, 2024

නඩුත් හාමුදුරුවන්ගේ- බඩුත් හාමුදුරුවන්ගේ නොහොත් කරන්නාගොඩ නිදහස් කිරීම

ඡායරූපය නිව්ස් 19 අනුග්‍රහයෙනි.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට විරුද්ධව 2008-2009  අතර කාලයේ දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන යාම, වධහිංසා පැමිණ වීම, කප්පම් ලබා ගැනීම සහ මරණයට පත් කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට තීරණය කර ඇති බව හිටපු නීතිපති දප්පුල ලිවේරා ප්‍රකාශ කළේ 2019 වසර අග භාගයේදී ය.

මෙම නඩුව දෙස් විදෙස්හි දෝංකාර දුන් නඩුවකි.

අනතුරුව 2020 පෙබරවාරි හත් වැනිදා ඔහු ඇතුළු පිරිසකට විරුද්ධව විශේෂ මහාධිකරණය හමුවෙහි චෝදනා ඉදිරිපත් කරන ලදී.

එම දරුවන් පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන් සයිට් නම් කුටියක රඳවා තැබූ බවටත් වසන්ත කරන්නාගොඩ ඒ බව දැනගෙන සිටි බවටත් සාක්ෂි ඉදිරිපත් විය.

හිටපු අමාත්‍ය පීලික්ස් පෙරේරාගේ සාක්ෂිය

එවකට නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩට එළෙස රඳවා සිටි එක් දරුවකු ගැන තමා කතා කළ බව හිටපු ශ්‍රිලනිප මංත්‍රීවරයකු වන ෆීලික්ස් පෙරේරා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. සන්ඩේ ඔබ්සවර් පුවත්පත කියා සිටියේ මෙම පුද්ගලයින් රඳවා සිටි බව කරන්නාගොඩ දැන සිටි බවට සාක්ෂි ගණනාවක්ම ඇති බවයි.

පසුව තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ එම නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් තමන් නම් කරමින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස වසන්ත කරන්නාගොඩ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

එම රිට් පෙත්සම 2020 ජූනි මාසයේදී විභාගයට ගන්නා ලදී.

කිසිදු නීතිමය පදනමක් නැති නඩුව දිනයි!

එම විභාගයට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේ, මෙම පෙත්සම ගොනු ඇත්තේ කිසිදු නීතිමය පදනමක් නොමැතිව බවයි.

වසර 135 ක ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය තුළ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරමින් මේ ආකාරයේ නඩුවක් ගොනු කර නොමැති බවත්, අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද විශේෂ මහාධිකරණයක් හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් මැදිහත් වීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න තවදුරටත් පැවසීය.

ඒ කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා විනිසුරු මඩුල්ල හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රි-පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ 2020 ජූනි 23 දිනය.

පළිගැනීම් කොමිසමේ අපූරු තීන්දුව

මේ අතර වසන්ත කරන්නාගොඩ ජනාධිපති රාජපක්ෂ විසින් පත් කළ පළිගැනීම් කොමිසමට තමාට නීතිපති විසින් පවරා ඇති නඩුව පිළිබඳ පැමිණිලි කළේය.

එකී නඩුව සම්බන්ධයෙන් තමන් නීති ප්‍රකාරව සිය ධුරයට අදාළ කටයුතුවලින් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කිරීමට එම කොමිසමට නීත්‍යානුකූල බලයක් නැතැයි නීතිපතිවරයා කොමිසමට දැනුම් දුන්නේය.

ඒ නොසළකා වසන්ත කාරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රි-පුද්ගල මහාධිකරණය පවරා ඇති 1448/2020 දරණ නඩුවේ අධි චොදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම මගින් පැමිණිලිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට පළිගැනීම් කොමිසම ඒකමතිකව තීරණය කළේය.

ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා

මෙම බොහෝ නඩු සඳහා වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වාය. විශේෂයෙන්ම විශේෂ මහාධිකරණයෙහි කරන්නාගොඩ විරුද්ධව පැවැරූ නඩුවට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ද ඔහුය.

ඒ නීතිපතිවරයාට විරුද්ධව කරුණු දැක්වීම මගිනි.

2019 ඔක්තෝම්බර් පළවැනිදා ගාමිනි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියකු බවව ඉදිරිපත් කරන ලද පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවෙහි ගොඨාභය වෙනුවෙන් පෙනී සිටියේද ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වාය.

ගෝඨාභය රාජපක්ෂ විසින් නව ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කර ඇති විද්වත් කමිටුවෙහි ප්‍රධානියා වන්නේ ද ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වාය.

කරන්ජානාගොඩ රාජපක්යාෂවරුන්රූ සමඟ: ඡායාරූපයක් වචන දහසකට වඩා වටී.

ඇමැති මණ්ඩලයෙනුත් නිදහස්

මේ අතර පළිගැනීම් කොමිසම විසින් කරන ලද කරන්නාගොඩ නිදහස් කිරීමේ නිර්දේශය ඇතුළු තවත් නිර්දේශ ගණනාවක් 2021 ජනවාරි මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ යටතේ අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කරන ලදුව එම ජනවාරි 19 දා  මහින්ද රාජපක්ෂ විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන ලදී.

පළිගැනීම් කොමිසම ද රාජපක්ෂ ආණඩුව ද වසන්ත කරන්නාගොඩ නිදහස් කළ යුතු බවට තීරණය කර තිබුණි. එසේ නමුත් මෙම එකදු තීරණයවත් නීතිමය වලංගු භාවයක් තිබුණේ නැත.

මේ අතර  ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයේ තරම පෙන්වන අරුම පුදුම වැඩක් සිදුවිය.

නීතිපති දෙපාර්ථමේන්තුවේ ජනක බණ්ඩාරටත් රොමේශ් ද සිල්වා!

පළිගැනීම් කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරට එරෙහිව ද  නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණි. ඒ ඊයේ පෙරේදා සියලු චෝදනාවලින් නිදහස් කරන ලද ඇවන්ගාඩ් හිමිකාර නිස්සංක සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලක් මතය.

එම නිර්දේශය මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා නීතිපති දෙපාර්ථමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අභියාචනාධිකරණය හමුවට ගියේය.

එම නඩුවට නීතිපති දෙපාර්ථමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටියේ අර වසන්ත තරන්නාගොඩ වෙනුවෙන් නීතිපතිට විරුද්ධව නඩු කියූ ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා ම ය!

පුදුම නමුත් ඇත්ත ය.

නිතිඥ ජනක බණ්ඩාරත් දිනුම්!

වසන්ත කරන්නාගොඩ සම්බන්ධයෙන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර වෙනුවෙන් ද අභියාචනාධිකරණය තහනම් නියෝගයක් දුන්නේය.

තහනම් නියෝගය මගින් 2021 ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පළිගැනීම් කොමිසමේ වාර්තාවෙන් පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදු කර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීම ද  තහනම් කළේය.

ඒ මෙම මස එනම් 2021 අගෝස්තු 03දාය.

චාල්ස් ඩිකන්ස් සිය එලිවරි ට්විස්ටි කතාවෙහි මෙසේ ලීවේය,” නීතිය බූරුවෙකි. මොට්ටයෙකි!

ඊටත් වඩා අපූරු සිදුවීම ඊට පසුදා සිදුවීමට නියමිතව තිබුණි.

එදින පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම පිළිබද නඩු විභාගය විශේෂ මහාධිකරණය හමුවෙහි විභාගයට ගැනුණි.

ඔක්කොම හාමුදරුවන්ගේ!

එදින නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට පැමිණ සිටියේ ඊට පෙර දින ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා විසින් ගලවා ගන්නා ලද නීතිඥ ජනක බණ්ඩාරය.

ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා කරන්නාගොඩගේ නීතිඥයා ද විය.

මහාධිකරණය ඇමතූ නීතිඥ ජනක බණ්ඩාර අනපේක්ෂිත ප්‍රකාශයක් කළේය. එනම් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට තම දෙපාර්ථමේන්තුව අපේක්ෂා නොකරන බවයි.

ඔහු ඊට හේතු දැක්වූයේ නැත.

දැන් පළිගැනීම් කොමිසමත්, එ නියෝග සම්මත කළ අමාත්‍ය මණ්ඩලයත්, ජනාධිපති නීතිඥ රොමේශ් සිල්වාත් දිනුම්ය.

නීතිපති දෙපාර්ථමේනතුවේ ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරත් දිනුම්ය.

යුක්තිය ඉටු වීම පමණක් මදි බවත් එය පෙනෙන්නට තිබිය විය යුතු බවටත් කියමනක් තිබේ.

දැන් ශ්‍රී ලංකාවේ තත්වය යටතේ එම කියමන මෙසේ වෙනස් කළ හැකිය.

“යුක්තිය වළ දැමීම මදිය. එය හැමට පෙනෙන සේ වළ දැමිය යුතුය.”

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුවෙහි ප්‍රධානී බ්‍රිටෝ ප්‍රනාන්දුගේ පහත සඳහන් වචන මෙම සටහන අවසන් කිරීමට කදිමය:

බ්‍රිටෝ ප්‍රනාන්දු

“නීතිපති හා නඩුව මෙහෙයවූ රජයේ නීතිඥයා විසින් විත්තිකරුගේ, විත්තියේ නීතිඥයාගේ හෝ කිසියම් දේශපාලන බලාධිකාරියක අයුතු විෂමාචාරි බලපෑමකට හෝ වරප්‍රසාදයකට විත්තිකාර කරන්නාගොඩ ගේ චෝදනා ඉවත් කර ගැනීමේ නීති විරෝධී උත්සහයක නිරත වී තිබේ.

“නඩු විභාගයක් අවසන් වීමට පෙර හදිසියේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කිරීමට නීතිපති කටයුතු කිරීම කිසියම් වරප්‍රසාදයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් බවට සැක මතු වෙයි”.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news