Thursday, March 28, 2024

නොදැන බණ කියන මහාචාර්ය චන්න ජයසුමනගේ මුඛයට එළුබෙටි නැලියක් නොලැබේවා! – දිවුල්වැවේ ජිනරතන හිමි

ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ථේරවාදී බුදු දහම අදහන රටවල් පහ තුළ කොවිඩ් රෝග ව්‍යාප්තිය අවම මට්ටමක පැවැති බව වෛද්‍ය විද්‍යා මහාචාර්ය වරයකු වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා ඇති බවක් පසුගිය දිනයෙක අපට දැන ගත හැකි වූයේ අපගේ දායක මහතෙකු වෙතිනි. එහෙත්, කොවිඩ් රෝගය සහ ථේරවාදය මුල් කොට ඔහු විසින් කරන ලදැයි පැවසෙන එම ප්‍රකාශයේ පුර්වාපර සන්ධි ගලපා ගත නොහැකිව මඳක් දුර්මුඛ වූ මම එය පිළිගැනීම පවා ප්‍රතික්‍ෂේප කළෙමි. එහෙත්, එම දායක මහතා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් එකී වෛද්‍ය මහාචාර්ය තුමන් ගේ එම ප්‍රකාශය අසන්නටත් දකින්නටත් සැලසීම මත එය පිළිගැනීමට අපට සිදුවිය.

ථේරවාදී බුදු දහම පවත්නා රටවල් පහ..

මහාචාර්ය චන්න ජයසුමන මහතා එහි දී කියා සිටියේ ලොව සෙසු රටවලට සාපේක්‍ෂව ථේරවාදී බුදු දහම පවතින රටවල් පහ තුළ පසුගිය කාලය තුළ කොවිඩ් රෝග ව්‍යාප්තියේ අඩුවක් පැවැති බව ය. අප බොහෝ දෙනකු දන්නා අන්දමට ථේරවාදී බුදු දහම පවත්නා රටවල් පහ ථේරවාදී බෞද්ධ ජන අනුපාතය අනුව ප්‍රතිශතයන් වශයෙන් දැක්වුවහොත් කාම්බෝජය 98% වශයෙනුත් තායිලන්තය 95% වශයෙනුත්, මියන්මාරය 87%ක් වශයෙනුත් ලාඕසය 66% වශයෙනුත් ශ්‍රී ලංකාව 65% වශයෙනුත් හැඳින්විය හැක. ඒ අනුව ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව එම රටවල කොවිඩ් පැතිරීමේ අඩුවක් තිබේ ද යන්න ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත සහ සංඛ්‍යා ලේඛන විමැසීමෙන් නිවැරදිව වටහා ගැනීමට මහාචාර්ය තුමන්ට හැකිවිය යුතු ය. එහෙත්, මුළුමනින් විද්‍යාත්මක පදනමක් යටතේ කටයුතු කරනු ලබන එම සංවිධානය රටක ජනගහනය අනුව මිස එම රටේ ආගම් අනුව එම රෝග ව්‍යාප්තිය පිළිබඳව දත්තයන් එක් රැස් නොකරනු ඇත.

මහාචාර්ය චන්න ජයසුමනගේ දැනුමේ පදනම..

ආගමික විශ්වාස සහ කායික මානසික සුව සෙත සම්බන්ධයෙන් ලොව පුරා විවිධ හැදැරීම් කොට තිබේ. ඒ සමාජ විද්‍යාත්මක සාධක සහ නිදර්ශක උපයෝගී කර ගනිමිනි. දුරාතීතයේ මිනිසා ගේ රෝග සුවය සහ ආගමික විශ්වාස අතර පැවැතියේ සෘජු සබැඳියාවකි. අතීත ග්‍රීක ශිෂ්ටාචාරයේ අදහනු ලැබූ ඇපලෝ දෙවියන් ගේ පුත් එස්කුලේපස් නම් දෙවියා රෝග සුව කාරක දෙවියන් ලෙස ප්‍රකට විය. එහෙත්, මිනිසා ගේ රෝග වැළඳීම බුද්ධියට නතු නොවන ගුප්ත හේතුන් මත සිදුවන බවට පැවැති පෞරාණික විශ්වාසය ක්‍රිස්තු පූර්ව සිව් වන සියවසේ ග්‍රීසියේ විසූ හිපොක්‍රටිස් නම් මහා දාර්ශනිකයා විසින් බිඳ හෙළන ලදී. එනිසාම විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයන් හි පීතෘත්වය අදත් එතුමන් හට ප්‍රදානය කොට තිබේ. එහෙත්, මහාචාර්ය චන්න ජයසුමන මහතා එහි දී තම දැනුමේ පදනම වන විද්‍යාත්මක චින්තනයෙන් ඉවත් වී එම අදහස් පළ කළ බව අපගේ වැටහීම ය.

බුදුන්ගේ දහනව දහසක් සූත්‍ර අතරේ පිරිත් නැත..

තමන්ට වැළඳෙන රෝග පීඩා ඇතුළු අනේක විධ දුක් කරදර වලදී ලෞකික පක්ෂයේ සේම ඊට ප්‍රතිවිරුද්ධ ආධ්‍යාත්මික පක්ෂයේ පිළිසරණක් පැතීම මිනිසා ගේ නිසර්ග ස්වභාවයකි. ඒ සඳහා වන ශමනකාරක හෙවත් සුවකාරක උපාය මාර්ග සියළු ආගම් වලින් හඳුන්වා දී තිබේ. ඒ එකී ආගම්වල සංස්ථාමය පදනම රැකගැනීම පිණිස වන උපාය මාර්ගයකි. බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ බව පැවසෙන ධර්මස්කන්ධය සුත්‍ර වශයෙන් ගත් කළ දහ නව දහසක් ද ඉක්මවයි. නමුදු ඒ සූත්‍ර අතරේ පිරිත් වශයෙන් දේශනා කරන ලද එකම සූත්‍රයක් වත් නැත. පිරිත් යනු ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ මනෝ කායික සංහිඳියාව උදෙසා අප රටේ වැඩ විසූ අතීත සංඝ පරපුර විසින් එම සූත්‍ර අතරින් උකහා ගන්නා ලද ධර්ම කොටසක් පමණි.

පිරිත් එකක්වත් ඉතිරි ථෙරවාදී රටවල් හතරේ නෑ..

චතුභාණවර පාලි හෙවත් ‘සතර බණවර’ ලෙසින් හැඳින්වෙන මෙම පිරිත් දේශනා පිළිබඳ අර්ථ කථනය වනුයේ ‘පරිසමන්ත තායස්සු රක්ඛතීති පරිත්තං’ යනුවෙනි. එහි සිංහල අරුත ‘හාත්පසින් එළැඹෙන උවදුරු වලින් රකිනු ලබනුයේ කුමක්ද? එය පිරිත් නම් වේ’ යන්න ය. නමුදු මහාචාර්ය චන්න ජයසුමන මහතාට සහ ඔහුගේ මෙම අදහස් අසා සිටි අපගේ බෞද්ධයනට විශේෂයෙන් කිව යුත්තේ අප රටේ ව්‍යවහාර වන සතර බණවර ඔහු කී සෙසු ථේරවාදී රටවල් හතරෙන් එකක වත් භාවිතා නොවන බව ය. එනිසා ඔහුගේ එම ථේරවාදී ඒකීයත්වය ශාස්ත්‍රීය වශයෙන් ද එතරම් සනාථ කළ හැක්කක් නොවේ.

ගිනි නිවන රථයකින් සේරුවිල දාගැබට සුවඳ පැන් පූජාවක්..

මහාචාර්ය ගණනාථ ඔබේසේකර වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුණු සමාජ විද්‍යාඥයන් ගේ පිළිගැනීමට අනුව දැන් අප රටේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත්තේ මූලික බෞද්ධ දර්ශනයෙන් බිඳී ගත් ජනප්‍රිය බුද්ධාගම නම් ඇදහිලි දාමයයි. තමන් ගේ ලෞකික අභිමතාර්ථයන් උදෙසා සිදු කෙරෙන විකාර රූපී ඇදහිලි චාරිත්‍ර හෙවත් අභිචාර විධි හැරුණු කොට මූලික බුදු සමයෙන් ඉගැන්වෙන චිත්ත දමනය මුල් කොට ගත් අනුපූර්වගාමී සාදාචාර ශික්ෂාවන්ට වත්මන් ජනප්‍රිය බුද්ධාගමින් කිසිදු පිටිවහලක් නොලැබේ. විවිධ බෞද්ධ පිරිස් ඒකරාශී කර ගනිමින් තමන්ගේම ආගමික ඉගැන්වීම් මත පදනම් ව විකාර රූපී පූජා චාරිත්‍ර මෙහෙය වන ආගමික කල්ලි නායකයන් බවට පත්ව හිඳින භික්ෂුන් ථේරවාදී භික්ෂුන් සේ අර්ථ කථනය කිරීම ධර්ම ශාස්ත්‍රීය වශයෙන් අතිශය දෝෂ සහගත ය. පසුගිය දිනයෙක එබඳු භික්ෂු පිරිසක් ගිනි නිවන රථයක උපකාරයෙන් සේරුවිල දාගැබ සඳහා සුවඳ පැන් පූජාවක් පැවැත්වීම මීට ආසන්නතම නිදසුනකි.

දහම සර්පයකු අල්ලන්නාක් මෙන් සීරුමාරුවට ග්‍රහණය කර ගත යුතුය..

මජ්ජිම නිකායට අයත් අලගද්දූපම සූත්‍රය මගින් බුදු රජාණන් වහන්සේ අවධාරණය කොට ඇත්තේ දහම සර්පයකු අල්ලන්නාක් මෙන් සීරුමාරුවට ග්‍රහණය කර ගත යුත්තක් බව ය. එහෙත්, මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ එම ප්‍රකාශයන් තුළ එවැනි සීරු මාරුවක් නොපෙනෙයි. කිසියම් සංසිද්ධීන් දෙකක් පිළිබඳව තුලනාත්මක විශ්ලේෂණයේ දී යම් සහව්‍යතා සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට පුළුවන. නිදසුනක් ලෙස මස් මාංශ අනුභව කරන්නවුන් සහ නිර්මාංශාරිකයන් යම් ප්‍රමාණයක් ගෙන ඔවුන් ගෙන් එක් කොටසක බුද්ධි ඵලය ඉහළ මට්ටමක පවතින බව මූලිකව වටහා ගත හැකි වනු ඇත. එහෙත්, එම ප්‍රතිඵලය මත යමකු ගේ බුද්ධි ඵලය ඉහළ නැංවීම මාංශ භක්ෂණය හෝ නිර්මාංශ ආහාර ගැනීම යන සාධක දෙක මත පමණක් රඳා පවතින බව තීරණය කිරීම සැබෑ බුද්ධිමතකු ගේ කාරිය නොවේ. ඊට හේතුව මේ සඳහා බහුවිධ සාධක උපයෝගී කරගත යුතු බැවිනි. යමකු එලෙස සත්‍යය වෙත සමීප විය යුතු නිවැරදි ක්‍රමවේදය වටහා ගැනීමට මජ්ජිම නිකායේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපකාරී වනු ඇත.

ජයසුමනයාණෙනි, අභය රාජ සූත්‍රය කියවන්න..

වාග් සංවරය යන්න බුදු දහමින් මනාව අවධාරණය කෙරෙන ආචාර විද්‍යාත්මක ධර්මයකි. අප කතා කළ යුත්තේ කුමක්ද? ඒ කවර අරමුණකින් ද? යන්න පිළිබඳව මජ්ජිම නිකායේ අභය රාජ සූත්‍රය මහාචාර්ය තුමන්ට වටිනා උපදෙස් රැසක් ගෙන දෙනු ඇත. ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව දිගු කාලීන වශයෙන් තම ජීවිතයේ යහපැවැත්ම, ලෞකික සමෘද්ධිය, ඉෂ්ටාර්ථ සිද්ධිය උදෙසා පිරිත් ශ්‍රවණය කළ සහ සජ්ජායනා කළ බව ඇත්තකි. එහෙත්, එම පිරුවණා පොත් වහන්සේ නමින් අප ජන සමාජයේ පිදුම් ලබන සතර බණවර සහිත එම ග්‍රන්ථය තුළ ගැබ්ව ඇති චිත්ත දමනය මුල් කොට ගත් සදාචාරාත්මක ශික්ෂණ මාර්ගය විමසා බලන විට අපට ඒ බව පැහැදිලි ය. එහෙත්, ඒවායේ අඩංගු ධර්ම කරුණු මනාව ධාරණය කර නොගෙන ගිරා පෝතකයන් මෙන් පිරිතේ ඇති ශබ්ද රසය පමණක් ඉස්මතු කිරීම පිට ගෑමට දෙන ඖෂධයක් බොන්නාක් වැනි අරුත්සුන් එමෙන්ම අහිතකර ක්‍රියාවකි.

චන්න ජයසුමනගේ ප්‍රකාශය මූලධර්ම වාදයට උඩගෙඩි දීමකි..

වත්මන් සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් හුදෙක් ‘පංච ඉට්ඨ ධම්ම’ ලෙසින් බුදු දහමේ එන ලෞකික ලාභාපේක්‍ෂාවන් තකා තැනේ දී මෙන්ම නොතැනේ දී ද බොහෝ දේ කියති. නමුදු මහාචාර්ය චන්න ජයසුමන මහතා දැන්වත් එම මුග්ධ තත්වයෙන් මඳක් හෝ ඉහළට ඒමට උත්සාහ කළ යුතුය. ආගමික වාක්‍ය පැවසීමෙන් රෝග සුවපත් වන්නේ යන මිථ්‍යාව පසුගිය දශක කිහිපය තුළ ඇමරිකානු මූල ධර්ම වාදී කණ්ඩායම් විසින් රට පුරා ප්‍රචලිත කොට තිබේ. එලෙස යාඥා මගින් සුවපත් වූ බව පැවසුණු බරපතල රෝග සහිත පුද්ගලයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය හමුවට ඉදිරිපත් කිරීමට එක් එක් මූල ධර්ම වාදීන් ආගමික කල්ලි සාමාජිකයෝ සමත් වූහ. එහෙත්, ඔවුන් ගෙන් යම් පිරිසක ගේ රෝග සහ ඒවායේ නිධානයන් සහ සුවපත් වීම් පිළිබඳ විද්‍යාත්මකව විශ්ලේෂණය කළ විද්වත්හු ඒ සියල්ල බොරු මවා පෑම් බව සහතික කළහ. පිරිත් කීමෙන් කොවිඩ් සුවපත් වන බවට මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය එක්තරා අතකින් ඩොලර් බිලියන ගණන් වැය කොට සිදු කෙරෙන එම මූල ධර්ම වාදීන් ආගමික කල්ලි වාදයට අනියමින් අත වැනීමක් ලෙසට ද අර්ථ කථනය කළ හැක. “ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී” යන ජාතක පාළි පාඨයෙන් පැවසෙන්නේ ද දහමෙන් රැකෙනුයේ සදාචාරාත්මක දිවිපෙවෙතක් ගතකරන්නවුන් බව ය.

සාලිය ජාතකයේ එළු බෙටි නැලිය..

තමන් මැනැවින් හදාරා නොමැති කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීම බුදු දහමේ දක්වා ඇත්තේ ‘බහුබාණස්මිං” යනුවෙනි. මෙය තමන්ට සේම අනුන්ටත් අහිත පිණිස පවතින්නක් බව බුදුදහම මනාව අවධාරණය කරයි. මෙසේ ඉවක් බවක් නොමැතිව එක දිගටම කතා කරන්නට වූ බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත බමුණෙකු ගේ කතාව නතර කරවීමේ උපක්‍රමයක් වශයෙන් රජතුමා එවන් කටයුතුවල දක්ෂ ආබාධිත පුද්ගලයකු ලවා පුරෝහිත බමුණා කතා කරමින් සිටින අතරේ ඔහුගේ මුව තුළට රහසින් එළු බෙටි නැලියක් විදීමේ පුවතක් පන්සිය පනස් ජාතකයට අයත් සාලික ජාතකයේ එයි. නමුදු අප සිතනුයේ පින්වත් මාහාචාර්ය චන්න ජයසුමන මහතා නම් එබඳු ඉරණමකට ලක් නොවිය යුතු බව ය.

දිවුල්වැවේ ජිනරතන හිමි

( Lanka e News)

Archive

Latest news

Related news