Friday, April 19, 2024

කොවිඩ් මරණ 80% මිනිස් ඝාතන; මාරාන්තික ක්‍රීඩාවක යෙදෙන ගෝඨාභය රාජපක්ෂ  වගකිව යුතුයි – අනුර කුමාර දිසානායක

ඡායාරූපය සිලොන් ටුඩේ අන්‍රුගහයෙනි.

මේ වනවිට ලැබෙන වාර්තා අනුව මියයන 75%කට වඩා වයස අවුරුදු 60කට වැඩි අය. මේ තත්වය සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් එක් රටවල එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළක් සකස් කර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයට මාර්ගෝපදේශනයන් ලබාදුන්නා. ඒ අනුව අපේ රටේ විශේෂඥවරුන් එකතුවී අපේ රටේ ජාතික වැඩපිළිවෙළ සකස් කර ලෝක සෞඛ්‍ය සංවිධානයට බාරදුන්නා.

ඒ අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රමුඛ කරගත යුතුයි. ඊළඟට විවිධ සංකූලතාවලින් පෙළෙන අය සහ අවුරුදු 60ට වැඩි පුරවැසියන්. නමුත් මේ වැඩපිළිවෙළ සහ විශේෂඥයන්ගේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කර ආණ්ඩුව අවුරුදු 30-60 අතර අයට මුලින් එන්නත් ලබාදෙන්න ක්‍රියා කළා.

මේ සඳහා නිර්දේශ ලබාදුන්නේ කවුද කියලා අපි දැනගන්න කැමතියි. මේ වෙනස් කිරීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියවත් දැනගෙන හිටියේ නැහැ. අද එන්නත්කරණයේ පවා විකෘතිභාවයන් ඇතිකරන ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඒ අතර ජනාධිපතිවරයා තමන්ගේ ලේකම් කාර්යාලයේ සේවකයන් කැඳවීම සීමා කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් විශේෂඥයන්ගේ නිර්දේශ පැත්තකට දමා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාමත්ම මාරාන්තික ක්‍රීඩාවක යෙදී සිටිනවා.

අනාගතය පුරෝකථනය කළ හැකි නිවැරදි දත්ත සහ තොරතුරු විකෘති කරමින් සිටිනවා. මරණ පිළිබඳව, ආසාදිතයන් පිළිබඳව ඉදිරිපත් කරන දත්ත මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නේ නැහැ. බරපතළම දේ මේ දත්ත මත ඉදිරිපත් කරන පුරෝකථන වැරදි වීමයි. අද දිනකට 150කට වැඩිය මියයන්නේ මේ නිසයි.

වසංගතයෙන් එක මරණයක් හෝ සිදුවීමෙන් ඔවුන්ගේ පවුල්වලට, ඥාතීන්ට, සමීපතමයන්ට කෙතරම් බලපෑමක් ඇති කරනවාද? සාමාන්‍ය මරණයකදී පවා දැඩි කම්පාවකට පත්වෙනවා. එයින් මිදීම සඳහා ක්‍රමානුකූලව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාමාර්ගවලින් ආධාරයක් ලබාගන්නවා.

නමුත්අද  අවුරුදු 30-40ක් තමන්ව බලාගත් මව මිය ගියත් ආදාහනය කළ තැනවත් දකින්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්, බිරිඳ ඇතුළු අනෙක් පිරිස ගැනත් ඒ ආකාරයෙන්මයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළා නම් මේ අයගෙන් 80%ක් බේරා ගත හැකිව තිබූ බව ඔවුන් කියනවා. එහෙම නම් මේ 80%ක් මරණ සිදුවන්නේ ඝාතනවලින්. ඒ ඝාතනවලට ජනාධිපතිවරයා වගකිව යුතුයි.

මේ ව්‍යසනය හමුවේ ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාර කිහිපයක් තිබෙනවා. නිවැරදි තීන්දුව නිසි වෙලාවේදී ගත්තේ නැහැ. 20වැනි සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් රට විවෘතව තැබීම, පෝට් සිටි පනත සම්මත කර ගැනීම දක්වා රට විවෘතව තැබීම, මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය අප්‍රේල් මාසය වනවිට රටට ඇතුළත් වීමේ අනතුර පෙන්වා දී තිබියෙදී නිසි තීන්දු නොගැනීම වගේ ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා.

මේ නිශ්චිත මොහොතේ විශේෂඥ කණ්ඩායම් ලබාදෙන නිර්දේශ අනුව ක්‍රියාමාර්ග අද ගත්තත් එයින් ප්‍රතිඵල ලැබෙන්නේ තව දින 10කට පමණ පසුව මරණ අඩුවීමෙනුයි. මෙතෙක් නිසි තීන්දු ගැනීම අත්හැරීමෙන් සිය ගණනක් මිය යමින් තිබෙනවා.

මෙම මරණ ඝාතනයන් නොවන්නේද? ඒ පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට නොපැවරෙන්නේද? මේ සමූහ මිනිස් ඝාතනයන් පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට මිදෙන්න බැහැ.

කොවිඞ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයෙක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා දෛනික මරණ සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට වාර්තා කොට තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතාමත් භයානක තොරතුරක් හෙළිවුණා. අගෝසතු 01 සිට 09වැනිදා දක්වා ආසාධිතයන් 12,555 වාර්තා වූ බව සෞඛ්‍ය අංශ දන්වා තිබුණා.

නමුත් රජයේ නිල ලේඛනවල හෙළිකර තිබෙන්නේ ආසාධිතයින් 3529ක් පමණයි. රෝගීන් 8,326ක් අවසන් වාර්තාවලට අරගෙන නැහැ. මෙය නිල වාර්තාව මෙන් තුන් ගුණයක පිරිසක්. මේ තත්වය බදුල්ල දිස්ත්‍රික්කයෙන් සහ නැගෙනහිර ප්‍රදේශවලින්ද වාර්තා වුණා.

දත්ත තොරතුරු සඟවලා ව්‍යසනයෙන් ගැලවෙන්න ජනාධිතිවරයා හිතනවාද කියලා අපි දැනගන්න කැමතියි. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්ම ප්‍රකාශ කර තිබුණා, මාරාන්තික දත්ත විකෘති කිරීමක් තිබෙන බව.

මේ නිසා අවදානම පිළිබඳව ජනතාවගේ අවධානය ගිලිහෙනවා. මේ රටේ පුරවැසියන්, සෞඛ්‍ය සංවිධාන, විශේෂඥ සංවිධාන යන කිසිවෙක් ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට එකඟ නොවන බව පැහැදිලියි. සමහර විට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පවා එකඟ නොවන බව පැහැදිලියි.

හමුදාපතිවරයා සමඟ තනි පුද්ගලයෙක් අපේ රටේ මුළු පුරවැසියන්ගේ ජීවිත අවදානමකට හෙළමින් මාරාන්තික ක්‍රීඩාවක යෙදී සිටිනවා. මේ රටේ පුරවැසියන් ඡන්දය දී පාලකයා බවට ජනාධිපතිවරයා පත්කගෙන තිබෙනවා. ඒකෙන් ජනතාවගේ ජීවිතය කඩදාසියක අත්සන් කොට තමන්ට ලබාදී ඇති බවක් ජනාධිපතිවරයා නොසිතිය යුතුයි.

මෙය ආණ්ඩුවේ සාමූහික තීන්දු ගැනීමක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ උද්දච්ච තීන්දුවල ප්‍රතිඵලයක්.

ඔහු නිහතමානී නැහැ. අනෙකාට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. හිට්ලර්ගේ අවසාන පරාජයේදී සේනාංක භාරව සිටි නිලධාරීන් සේනාංක බිඳ වැටෙන බව වාර්තා කරනකොට ඒ කිසිවකට ඇහුම්කන් දෙන්න හිට්ලර්ගේ මනස සූදානම් වුණේ නැහැ. හිට්ලර් කැමති වුණේ ඔහුට කැමති ප්‍රකාශවලට සවන් දෙන්න විතරයි.

අද අකමැති ප්‍රකාශ කරන අය එළවා දමනවා. කැබිනට් මණ්ඩලයේදී පවිත්‍රාව නිහඬ කළෙත් ඒ විදිහට. අද ජනාධිපතිවරයා ඉදිරියේ කිසිම නිලධාරියෙක් තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ තමයි නොදන්නා බවේ නොදන්නාකම.

ජනාධිපතිවරයාට මේ ව්‍යසනයේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. මේ නිශ්චිත මොහොතේ රටේ පාලකයා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා. 20වැනි සංශෝධනය සම්මත කරගැනීම මගින් ඒකාධිකාරී බල ව්‍යුහයක් අත්පත් කරගත්තා.

අද ඒවා උපයෝගී කරගෙන තිබෙන්නේ ජනතාව මරණයෙන් බේරා ගන්න නෙවෙයි. ජනතාව මරණයේ දිශාවට තල්ලු කිරීමට ඒ බලතල සියල්ල උපයෝගී කරගෙන තිබෙනවා. මේ රටේ පුරවැසින්ගේ ජීවිත පිළිබඳව ජනාධිපතිවරයා තවදුරටත් වගකීමක් දරන කෙනෙක් නෙවෙයි.

ඔහු ඔහුටම ආවේණික කෙනෙක් වී සිහින ලෝකයක ජීවත් වෙනවා. රටේ සිදුවන මහා ව්‍යසනය ඔහුට ඇහෙන්නේ නැහැ.

මේ නිසා එහි ප්‍රතිවිපාක මේ රටේ පුරවැසියන් අත්විඳිමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගෙන් අප පක්‍ෂයක් විදිහට ඉල්ලන්නේ, ඔබගේ ආරක්‍ෂාව මේ පාලකයාගෙන් හෝ මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දෛනිකව සිය ගණනක් මිය යමින් තිබියදී පාලකයෙකුට මේ ලෙස ඉන්න පුළුවන් නම් ඔහු කොතරම් මුග්ධ, තෙතමනයක් නැති පාලකයෙක්ද?

ඔබ ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න. ඔබ ඔබගේ ආරක්‍ෂාව ප්‍රමුඛ කොට ගන්න. ඒ නිසා ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔබට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. අනෙක් අයටත් මේ පණිවුඩය කියන්න.

වීඩියෝවක් ඇසුරෙනි.

Archive

Latest news

Related news