Wednesday, May 8, 2024

ඊ නිවුස් මාධ්‍යවේදී  කීර්ති රත්නායක අත්අඩංගුවට ගැනීම: හේතු හෙළිදරව් කළ යුතුයි: ජීවිත ආරක්ෂාව සහතික කළ යුතුයි – කරු ජයසූරිය

ඡායාරූපය: පණිවිඩකරුවාට  වෙඩි තැබීම

ලංකා ඊ නිවුස් ආයතනයේ මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ බලවත් අවධානය යොමු වී තිබේ. ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කරන අන්දමට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩුදුන් කරුණක් පිළිබඳව පොලීසිය විසින් නිශ්චිතව කිසිවක් සඳහන් කර නැත.

එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර ඇත. එය ඉතාමත් භයානක ප්‍රවනතාවයකි. එබැවින් අප පොලීසිය ද ඇතුළු වගකිව යුත්තන්ගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ප්‍රථමයෙන්ම රටට හෙළිදරව් කරන ලෙසටය.

එමෙන්ම ඔහුට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනාවක් වෙත්නම් ඒ බව සඳහන් කරමින් අධිකරණයක් හමුවට යොමු කරවන ලෙසය. නොඑසේ නම් ඔහු නිදහස් කරන ලෙසය.

මේ පිළිබඳව ඔහුගේ නීතිඥයන් සහ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට පසුබිම වී ඇත්තේ විදේශ දූත මණ්ඩල කාර්යාලයක ආරක්ෂාවට අදාළ කරුණක් අදාළ ආයතනය වෙත දැනුම් දීමය. එය එසේ නම් එය පණිවුඩයක් ලබාදීමකි. එය එසේ වන්නේ නම් එය සැලකිය හැක්කේ පණිවිඩකරුවකු අත්අඩංගුවට ගැනීමක් ලෙසටය.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි අත්අඩංගුවට ගැනීමක් විමතිය දනවන කරුණකි. එමෙන්ම අසාධාරණ ක්‍රියාවකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ඒකාධිපති ක්‍රියාදාමයකි.

මේ රටේ ජනමාධ්‍ය වේදින් බොහෝ දෙනෙකුට පසුගිය කාලය තුළ අත්ව ඇති ඛේදජනක ඉරණම සලකා බැලීමේදී මෙවැනි සිදුවීම් අප තුළ මහත් තැති ගැන්මක් ඇති කරවයි. එමෙන්ම එවැනි ක්‍රියා තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදුවීමේ පෙර නිමිති පහළ වන්නේ ද යන සැකය අප තුළ ඇති කරවයි. එබැවින් මේ පිළිබඳව සමස්ථ සමාජයේම දැඩි අවධානය යොමුවිය යුතුව තිබේ.

එබැවින් අප මේ මොහොතේ පොලීසිය ද ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතාගේ ජීවිත ආරක්ෂාව සහතික කරමින් කටයුතු කරන ලෙසය. එමෙන්ම ඔහුට එරෙහිව නැඟිය හැකි සාධාරණ චෝදනාවක් වෙත් නම් නොපමාවම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසය. නොඑසේ නම් වහාම ඔහු නිදහස් කිරීමට කටයුතු කරන ලෙසය.

දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news