Sunday, May 19, 2024

ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක පිටුපස පොලීසිය පන්නයි; මහරෑ නිවසට පැමිණෙයි! නිවෙස වටලා අත්අඩංඟුවට ගනී.( Updated)

ලංකා ඊ නිව්ස්හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායකට කට උත්තරයක් ගැනීම සඳහා යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන්නැයි ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් දැනුම් දී තිබේ. කීර්ති රත්නායක ඊට එකඟතාවය පළ කර තිබියදීත් ඊයේ(13) සවස සහ අද පාන්දර ඔහුගේ බිරිඳ සහ දරුවන් වාසය කරන මහනුවර නිවසටත් ඔහුගේ දෙමාපියන් වාසය කරන මාවනැල්ලේ  නිවසටත් පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් කීර්ති සොයමින් ඔවුන් හිරිහැරයට ලක් කර  ඇතැයි ලංකා ඊ නිව්ස් කතුවර සදරුවන් සේනාධීර ප්‍රකාශ කරයි.

දෙමළ මාධ්‍යවේදියකු වන ආර්. සිවරාජා හමුවීමට තමන් රහස් පොලිස් පරීක්ෂකයින් යැයි කියාගත් දෙදෙනෙකු පුගිය 12වැනදා අලුයම 2ග30ට පැමිණ බව ඔහු පොලිස්පතිට පැමිණිළි කර ඇතත් මේ  තාක් කිසිදු  පියවරක් ගෙන නැත.

වැඩිදුර: තමිලන් කර්තෘ සිවරාජ්ගේ නිවසට පොලිස් වෙසින් අලුයම දෙදෙනා ගැන සොයන්න – නිමාව

ලංකා ඊ නිව්ස් කර්තෘ  සඳහන් කරන අන්දමට කීර්ති රත්නායක පසුපස පොලීසිය පැන්නීමේ සිද්ධියට පාදක වූ කරුණු මෙසේය.

හෙට (15) ඉන්දීය ජාතික නිදහස් දිනය යි. කලාපයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන තලේබාන් ත්‍රස්තවාදීන්ගේ නැගී ඒමත් ඒ පසුපස චීන ආණ්ඩුව සිටීමත් චීනය ලංකාව තුල නිදහසේ කරගෙන යන කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයත් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන කීර්ති රත්නායක හෙට නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට අනතුරු ඇඟවීමක් කර ඇත. චීන සහ තලේබාන් ත්‍රස්තවාදීන් අතර සම්බන්ධය පෙන්වීම සඳහා සේයාරුවක්ද ඔහු ඉදිරිපත් කර තිබිණ. එය තලේබාන් ත්‍රස්තවාදීන් සහ චීන විදේශ ඇමැති එකට සිට ගත් සේයාරුවකි. (එම සේයාරුව මෙහි දැක්වේ) ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ඉන්දීය තානාපති කාර්යාලය දිල්ලියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දිල්ලි ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය අමතා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා ඇත.

තොරතුරු අනුව ආරක්ෂාව දැඩි කරනවා වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ පණිවිඩකරුවා පසුපස පොලිසිය හඹා යමින් ඔහු දඩයම් කිරීමට උත්සාහ කිරීමකි. එසේ නොමැති නම් තමන් පොලිසියට එන බව දන්වා තිබියදීත් කීර්තිගේ අඹු දරුවන් සහ දෙමාපියන් වෙසෙන  නිවෙස් වලට මහ පාන්දර කඩා පනිමින් ඒ මිනිසුන් හිරිහැරයට පත් කරන්නේ නැත.

ඒ මදිවාට ඔහුගේ දුරකථන අංකය පරීක්ෂා කළ පොලිසිය ඔහු දුරකථන ඇමැතුම් ලබාගෙන තිබූ එක් යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකුගේ බිරිඳ අමතා ඇයව ද ප්‍රශ්න කර තිබේ. “ඔබ මේ කීර්ති සමග මෙපමණ වේලා මොනවා කතා කළේද?” යි විමසූ පොලිසියට ඇය අපූරු පිළිතුරක් දී තිබිණ. “මම අවුරුදු 18 වැඩි අයෙක්නේ. මට ඕනෑ කෙනෙක් සමග මං කැමැති වෙලාවක් කතා කළාම ඔබට ඇති අමාරුව කුමක්ද?” යි ඇය පිළිතුරු දී ඇත.

කීර්ති රත්නායක යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. දැන් ඔහු හමුදා සේවයෙන් ඉවත්ව සිටින අතර කලාපීය ආරක්ෂක සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශ්ලේෂනයේ යෙදේ. ඒ සම්බන්ධ ලිපි රාශියක් ඔහු ලංකා ඊ නිව්ස් වෙත ලියා ප්‍රසිද්ධ  කර ඇත. (https://www.lankaenews.com/category/48)

පාස්කු බෝම්බ ප්‍රහාරයට තුන්මාසයකට පෙර ලංකාවේ බෝම්බ පුපුරා යා හැකි බවත් එසේ වන්නේ නම් ඒවා එල්ටීටීඊ හෝ අයිඑස්අයිඑස් නොව ගෝඨාභයගේ කල්ලියේ ගෝනි සෙල්ලම් බවත් ඔහු පැවසීය. එය එසේම සිදුවිය.

ලංකාව තුල චීන ජාතිකයන් ලක්ෂ 3 ක් සිටින බවට ඔහු කී විට එවක ආරක්ෂක ප්‍රධානීන් එය ප්‍රතික්ෂේප කරමින් කීවේ ලංකාවේ ඉන්නේ චීන ජාතිකයන් 28000 ක් පමණක් බවයි. නමුත් පසුගියදා ලංකාවේ සිටින චීන ජාතිකයන් එන්නත් කිරීමට කියා ආරම්භයේ දීම චීනයෙන් සයිනොෆාම් එන්නත් ලක්ෂ 6 ක් එවා තිබිණ. ඒ අනුව ලංකාව තුල චීන ජාතිකයන් ලක්ෂ 3 ක් සිටින බව පැහැදිලි විය.

යුද හමුදා පුහුණුව ලැබූ චීන ආරක්ෂක භටයන් 500  ක් පමණ ලංකාව තුල සිටිනවා යැයි ඔහු ලීවේ ය. තිස්ස වැව හෑරීමේ දී එය ද ඔප්පු විය.

අත් අඩංගුවේ සිටි කොස්ගොඩ තාරක එදින රාත්‍රියේ මරා දමන බව “දේශබන්දුගේ හිට් ස්කොඩ් එක අද රාත්‍රියේ කොස්ගොඩ තාරක මරා දැමීමට සැරසේ” කියා එදින දහවල් ඔහු ලීවේය. එය එසේම සිදුවිය.

පසුව සත්‍ය වූ කීර්ති රත්නායක ලියූ මෙවැනි පුරෝකථන රාශියකි. කලාපයේ ආරක්ෂක දේශපාලන විශ්ලේෂකයෙකු වශයෙන් ඔහුගේ පුරෝකථන සඵල වීමේ හැකියාව 84% ක් යැයි ගණන් බලා ඇත්තේ අප නොව ජාත්‍යන්තර නිරීක්ෂකයන් ය.

කීර්ති පසුගියදා ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට චෝදනා 16 ක් එල්ල කරමින් ලීවේ ය. නි.පොලිස්පති දේශබන්ධු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධ යැයි චෝදනා කරමින් ලීවේ ය. ඒ චෝදනා ගැන ලංකාවේ ආරක්ෂක බලධාරීන් සහ ආණ්ඩුව මුණිවත රැක්කෝ ය. දැන් ඉන්දීය තානාපති කාර්යාලය දඩමීමා කරගෙන මේ සිදුකරන්නට යන්නේ කීර්ති රත්නායක දඩයම් කිරීමේ වෑයමක් දැයි අපට සැක ය. කෙසේ වෙතත් අපි අවදියෙන් සහ සූදානමින් සිටින්නෙමු..!

සඳරුවන් සේනාධීර

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ

(ලංකා ඊ නිව්ස් -2021.අගෝ.14, ප.ව.1.40) ලංකා ඊ නිව්ස්හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක මීට ස්වල්ප මොහාතකට පෙර කුප්‍රකට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් සීසීඩීය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සිටි නවාතැන වටලා අත් අඩංගුවට ගත් පිරිස මේ වන විට හෝමාගම පොලිසියේ රැඳී සිටින බව වාර්තා වේ. අත් අඩංගුවට ගත් නිලධාරියා කීර්ති අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔහු ලියා ඇති දේ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය සෙවීම පිණිස අත් අඩංගුවට ගත් බවයි.

හෙට ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්තිට දැනුම් දී තිබිණ. ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඊයේ සවස සහ රාත්‍රිය පුරා ඔහුගේ අඹු දරුවන්ගේ දෙමාපියන්ගේ නිවෙස් වෙත සහ හිතවතුන්ගේ නිවෙස් වෙත පොලිසිය හඹා යමින් ඔහු පිළිබඳ තොරතුරු විමසමින් සිටියේ ය.

ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට අද උදෑසන 9 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී කීර්ති කියා සිටියේ ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බව තමන්ට දැනුම් දුන් බවයි.

ඒ අතරතුර දී සීසීඩීය විසින් අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහු තමන්ට ලැබුණු ආරක්ෂක තොරතුර මාධ්‍යයේ ප්‍රසිද්ධ නොකෙළේ ය. කෙළේ වඩා සැලකිලිමත් වීම සඳහා අදාල අංශය වන ඉන්දීය තානාපති කාර්යාලය වෙත දැනුම් දීම ය. දැන් සිදුවන්නේ ඉන්දීය තානාපති කාර්යාලය දඩමීමා කරගෙන සාක්ෂි කරුවෙක් විය යුතු පුද්ගලයා විත්තිකාරයා කරමින් තමන්ට හිසරදයක් වී සිටි මාධ්‍යවේදී කීර්ති රත්නායක දඩයම් කිරීම ය.

Archive

Latest news

Related news