Tuesday, May 7, 2024

දඩයම දිගටම: ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ පිටුපස පොලිිසිය පන්නයි!

අගෝස්තු 03 දින නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් කොතලාවල පනත හරහා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ සිදුවූ සිදුවීමක් දඩමීමා කර ගනිමින් පොලීසිය විසින් මෙරට වෘත්තීය සමිති නායකයින් හා ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගැනීමේ නිර්ලජ්ජිත අනීතික උත්සාහයක් සිදුවෙමින් ඇත.

මේ වන විට ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර, කොල්ලූපිටියේ පිහිටි ලංකා වතු සේවා සංගමයේ ප‍්‍රධාන කාර්යාලයට, සමරසිංහ සහෝදරයාගේ සේවා ස්ථානයට සහ ඔහුගේ නිවසට සහ ඥාතීන්ගේ නිවෙස්වලට කිහිප වතාවක් පොලිස් කණ්ඩායම් පැමිණ ඇත.

පොලීසියේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උත්සාහය ලංකා වතු සේවා සංගමය තරයේ හෙලා දකින අතර, වහා මෙම ක‍්‍රියාව නතර කරන ලෙසට අදාල වගකිවයුතු අංශ වලින් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු. එමෙන්ම එම උද්ඝෝෂණයේ සිදුවීයැයි කියන පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් වූ සිද්ධියට අප සංගමයේ සභාපති සහෝදරයාගේ කිසිඳු ආකාරයක මැදිහත්වීමක් නොමැති බවද එමෙන්ම මෙය ගොතන ලද අභූත චෝදනාවක් බවද ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු.

ලංකාවේ වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වෘත්තීය සංගමය වන ලංකා වතු සේවා සංගමය කොවිඞ් වසංගත අවධානම හමුවේ වුවද වැවිලිකරය කඩා වැටෙන්නට ඉඩ නොදී නොබියව සේවා කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා සමාජිකත්වය මෙහෙය වූ සංගමයකි. එමෙන්ම යුක්ති සහගත අරගලයක දී සහෝදර වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර සමග අත්වැල් බැඳගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පෙරමුණේ ක‍්‍රියාකරන වසර 100ක කීර්තිමත් ඉතිහාසයක් ඇති ස්වාධීන වෘත්තීය සංගමයකි.

එබැවින් අප සංගමයේ සභාපති සහෝදරයා සම්බන්ධයෙන් මේ මොහොතේ පොලීසිය අනුගමනය කරමින් සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අනීතික ලූහුබැඳයාම වහා නතරකරන ලෙසට ඉල්ලා සිටිමු. එසේ නොවන්නේ නම් සංගමයේ විධායක සභාව දැනුවත්කර දිවයින පුරා වැවිලිකරයේ අප සමස්ත සාමාජිකත්වය වහා දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් සඳහා මෙහෙයවීමට සංගමය පසුබට නොවන බවද, මෙරට වැඩකරන පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන නිදහස් අධ්‍යාපනයේ අයිතිය ඇතුළු පොදුජන අයිතිවාසිකම් වෙනුවෙන් අභිතව හඬනගන තරුණ වෘත්තීය සමිති නායකයෙකු වන අප සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයාගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් සහෝදර වෘත්තීය සංගම් සහ සංවිධානවල සහාය ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවද අවධාරණය කර සිටිමු.

ලංකා වතු සේවා සංගමය

Archive

Latest news

Related news