Thursday, April 18, 2024

රෙගුලාසියක් නිත්‍යානුකුල වන්නේ ගැසට් පත්‍රයේ පල කළොත් පමණයි. එසේ නොවන ලිපියක් උඩ පාගමන් තහනම් කරන්න බැහැ! – අධිකරණ නියෝගයක්

ඡායාරූපය: මෙම නියෝගය දෙන ලද්දේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකමුතුව විසින් සංවිධානය කරන ලද  විරෝධතා පා ගමන වැළැක්වීමට නියෝගයක් ඉල්ලා පොලිසිය ඉදිරිපත් කරන ලද පැමිනිල්ලක් උඩය.

රෙගුලාසියක් නිත්‍යානුකුල වීමට නම් එය ගැසට් පත්‍රයේ පල කොට ඊට අදාලව වන නෛතික වලංගුභාවය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දිය යුතු වීම නෛතික අවශ්‍යතාවයක් වන බව පෙන්වා දෙන ගම්පහ මහේස්ත්‍රාත්  මංජුල කරුණාරත්න එබැවින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියක් මත පදනම්ව පාගමනක් තහනම් කළ නොහැකි බවට නඩු තීන්දුවක් මගින් ප්‍රකාශ කර තිබේ.

මේ බව සඳහන් වන්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකමුතුව විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන වැළැක්වීම සදහා සහ කොවිඩ් 19 වෛරසය වැළැක්වීම සදහා අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ (රැපිට් ඇන්ටිජන්) පරීක්ෂණ සහ/හෝ PCR පරික්ෂණ සිදු කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත නියම කරමින් නියෝගයක් ලබා දෙන ලෙස බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම පිළිබද තීන්දුව පසුගිය 06දා ප්‍රකාශ කරමිනි.

තවද මක් නිසාද යත් මෙම ඉල්ලීම කර ඇත්තේ පුද්ගල සංචරනයන්ට අදාලව වන සීමාවන්ට අදාල නොවන එක් පිරිසක් ඉලක්ක කොටගත් කරුණක් වීමත් සිය නියෝගයට එක් හේතුවක් ලෙස මහේස්ත්‍රාත්වරයා දක්වා තිබේ.

එම නියෝගය පහත දැක්වේ.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදීය.
ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මැතිතුමන්
ඉදිරියේදී,
(ලඝු ලේඛිකා -චතුරි ජයලංකා හේවගේ විසින් සටහන් කර ගන්නා ලදී.)

නඩු අංකය-බි/1728/21 දිනය-2021.08.06

බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු වාර්තාවක් මත පදනම්ව මෙම නඩුව කැදවා ඇත. පැමිණිල්ල වෙනුවෙන් පොලිස් සැරයන් 58653 සුනිල් නිලධාරියා පෙනී සිටි. මෙම ඉල්ලීම සංශෝධිත පරිදි වු 1897 අංක 3 දරණ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත උල්ලංඝනය කරමින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකමුතුව විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන වැළැක්වීම සදහා සහ කොවිඩ් 19 වෛරසය වැළැක්වීම සදහා අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ (රැපිට් ඇන්ටිජන්) පරීක්ෂණ සහ/හෝ PCR පරික්ෂණ සිදු කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත නියම කරමින් අධිකරණ නියෝගයක් ලබාගැනීම සම්බන්ධයෙන් කරනු ලැබ ඇති ඉල්ලීමකි. ඒ අනුව එකී ඉල්ලීමට අදාලව පැමිණිල්ලෙන් කරුණු දක්වා සිටි.

නියෝගය.

ඉදිරිපත්ව ඇති ඉල්ලීම වෙත අධිකරණයේ අවධානය යොමු කරමි. ඒ යටතේ කරුණු සළකා බැලීමේදී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අනෙකුත් මුලික අයිතිවාසිකම් අතර සාමකාමිව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරිම, ශ්‍රිලංකාව තුල අභිමත ස්ථානයක් වෙත යාමේ ඒමේ නිදහස සෑම පුරවැසියෙකුම සතු මුලික අයිතිවාසිකම් වන බව 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ඉතාමත් පැහැදිලි කරුණකි.

ඒ අනුව එකී මුලික අයිතිවාසිකම් සීමා කළ හැක්කේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම 15 වන ව්‍යවස්ථාව අනුව පමණි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මහජන සෞඛ්‍ය මත පදනම්ව 14 ව්‍යවස්ථාවේ සදහන් මුලික අයිතිවාසිකම් සීමා කළ හැකි නමුදු, එය සිදු කළ හැක්කේ පවත්නා නීතියෙන් ඒ සදහා ප්‍රතිපාදන දක්වා ඇත්නම් පමණි.

ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියෙහි සදහන් කරුණු සංශෝධිත පරිදි වු 1897 අංක 03 දරණ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වගන්ති ප්‍රකාරව සාදන ලද සෞඛ්‍ය රෙගුලාසි වශයෙන් සැළකිය නොහැකි අතර, මක් නිසාද යත් එකී කරුණ පුද්ගල සංචරනයන්ට අදාලව වන සීමාවන්ට අදාල නොවන එක් පිරිසක් ඉලක්ක කොටගත් කරුණක් වීමත්,එවැනි රෙගුලාසියක් නිත්‍යානුකුල වීමට නම් එය ගැසට් පත්‍රයේ පල කොට ඊට අදාලව වන නෛතික වලංගුභාවය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දිය යුතු වීමත් නෛතික අවශ්‍යතාවයක් වන බැවිනි. (ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් 19 ව්‍යප්තවිම වැළැක්වීම පිණිස සියළු උද්ඝෝෂන වලක්වා සෞඛ්‍ය රෙගුලාසියක් පනවනු ලදුව එය ගැසට් පත්‍රයේ පලකරණු ලබන්නේ නම් එය නීතියක් වන බැවින් එවැනි තත්වයක් මත පමණක් ඊට අදාල කරුණු මත අදාල රැස්වීම, නීති විරෝධි රැස්වීමක් බවට නිරායාසයෙන්ම පත්වන බැවින්, ඒ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණය වෙත සළකා බැලිය හැකිව පවතී.)

ඒ අනුව 01 වන ඉල්ලීම වන අදාල ගුරුවිදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව ජාතික එකමුතුව විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමන වැළැක්වීම සම්බන්ධයෙන් මා වෙතින් කරන ලද ඉල්ලීම ඉහත කී හේතුන් මත ප්‍රතික්ෂේප කරමි.

තවද දෙවනුව පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත එකී විරෝධතා පා ගමනට සහභාගි වන තැනැත්තැන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකට හෝ පි.සි.ආර්. පරීක්ෂණයට අහබු ලෙස භාජනය කිරිම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට වන ඉල්ලීමකි.

එවැනි ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් හෝ පි.සි.ආර් පරීක්ෂණයක් සම්බන්ධයෙන් පවත්නා අවස්ථානුගත තත්වයන් මත තීරණය ගැනීම සිදු කළ යුත්තේ සෞඛ්‍ය අංශය විසිනි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් වර්තමානයේ පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ එම අයවලුන් විසින් අදාල කරුණු පරිශීලනය කොට ඒ අනුව අදාල තීරණය ගත යුතුව පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරිම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා වශයෙන් මා වෙත බලය පැවරිමක් සිදුව නොමැත. මක් නිසාද යත් ඉහත කී 1897 අංක 03 දරණ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත ප්‍රකාරව ඊට අදාලව වන කරුණු තීරණය කිරිමේ පරම බලධරයා (Proper Authority) වනුයේ මුළු දිවයිනටම අදාලව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන බැවිනි. (ප්‍රාදේශිය වෂයෙන්, ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයා වෙතද මෙම බලතල පවතින බැවින්, මීට අදාලව වන ඉල්ලීමක් සෞඛ්‍ය අංශ වෙතින් සිදු කිරිමේ හැකියාව පැමිණිල්ල සතුව පවති)
එසේ හෙයින් ඉහත කී දෙවෙනි ඉල්ලීමට අදාලව ද ඉදිරිපත්ව ඇති කරුණු යටතේ ඊට අදාලව නෛතික වලංගුතාවයකින් යුතු නියෝගයක් නිකුත් කරලිමට මා වෙත බලය පැවරි නොමැති පදනම යටතේ ඊට අදාලව කරන ලද ඉල්ලීම ද එකී හේතුන් මත ප්‍රතික්ෂේප කරමි.

(මංජුල කරුණාරත්න)
මහේස්ත්‍රාත් – ගම්පහ.
2021.08.06

Archive

Latest news

Related news