අධ්‍යාපන සුදුසුකම් දන්වන්නැයි කළ ඉල්ලීමට එක පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක්වත් ප්‍රතිචාර දක්වා නැහැ!

573

ඡායාරූපය: වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු 2018 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව එකම කාල ගොට්ටියක් බවට පත් කල අයුරු.

පාර්ලිමේන්තුවේ නිසි නිලධාරියකු විසින් තම තමන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙද කරන  ලද ඉල්ලීමකට වර්ථමාන පාර්ලිමේන්තුවෙහි එකද මංත්‍රීවරයකු හෝ මංත්‍රීවරියක ප්‍රතිචාර දක්වා නැතැයි වාර්තා වේ.

මේ බව වාර්තා වන්නේ එස්.රූබතීසන් නම් මෙරට පුරවැසියකු විසින් පසුගිය ජනවාරී 05 දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිසම විසින් පල කර ඇති තීන්දුවකිනි.

පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ 19ක් විමසිමින් රූබතීසින් විසින් පාර්ලිමේන්තු තොරතුරු නිලධාරියාට යවන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ අධ්‍යාපන මට්ටම සහ  ඔවුන් අතුරින් අපරාධ  චෝදනා ලබා ඇති මංත්‍රීවරුන්ගේ නම් ද ලබා දෙන සේ ඇතුලත් වී තිබුණි.

අධ්‍යාපන මට්ටම පිළිබඳ ඉල්ලීමට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තු තොරතුරු නිලධාරියා දක්වා ඇත්තේ එම තොරතුරු පාර්ලිමේන්තුවෙහි නැති බවත් තවද එම තොරතුරු මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන්ගේ පුද්ගලික තොරතුරු ඝනයට වැටෙන බැවින් එය ඔවුන්ගේ පුද්ගලිකත්වය කෙළසීමක් බවයි.

පාර්ලිමේන්තු මංත්‍රීවරුන් අපරාධ චෝදනාවන්ට ලක්ව ඇත්දැයි දැන ගනීමට තමන්ට ක්‍රමයක් නැතැයිද එම නිලධාරියා වැඩි දුරටත් දක්වා තිබුණි.

ව්‍යවස්ථාව උපුටා දක්වමින් එම නිලධාරියා තරක කරන්නේ මංත්‍රීවරයකුවීමට අවශ්‍ය සුදුසුකම් අතර අධ්‍යාපන මට්ටම නැති බවයි.

මෙම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රෑබතීසන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය විමසා බැලූ කොමිසම, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු උපුටා දක්වමින් අධ්‍යාපන සිය මංත්‍රීවරුන්ගේ සහ මංත්‍රීවරියන්ගේ   සුදුසුකම් දැන ගැනීම පුරවැසි අයිතියක් බවත් එමගින් ඔවුන්ගේ පුද්ගලිකත්වය  කෙළෙසීමක් සිදු නොවන බවත් දක්වා තිබේ.

මෙම තීරණය ජූලි 27දාතමින් තොරතුරු කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව පාර්ලිමේන්තු නිසි බලධරයකු විසින් සිය කැමැත්තෙන් තම තමන්ගේ අධ්‍යාපන මට්ටම් දන්වා එවන සේ සියලු  පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට දන්වා තිබේ.එසේ දන්වා ඇත්තේ පසුගිය මැයි මාසයේදීය. එසේ නමුත් ජූලි මස අගවන තුරු දෙමසක් ගතවී තිබියදීත් කිසිදු මංත්‍රීවරයකු හෝ මංත්‍රීවරියක එම තොරතුරු ලබා දී නැතැයි එම නිලධරයා තොරතුරු කොමිසමට දන්වා තිබේ.

මෙම තීන්දුව ඉංග්‍රිසි බසින් මෙහි කියවිය හැකිය

මහජන ඡන්දයෙන් බලයට පත් වන මහජනයාට සේවය කිරීම සිය එකම අභිප්‍රාය බව කියන ආන්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන් සිය අධයාපන මට්ටම දැනුම් දීමට පියවර නොගැනීම මෙරට දේශපාලනයේ කුණූවීම පෙන්වන තවත් උදාහරණයක් බව හිමිකම් ක්‍රියාකාරිනියන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.