Sunday, May 19, 2024

සේනාධිපති, වජිර සමඟ ඇටවූ උගුලෙන් දිල්රුක්ෂි ඩයස් නිදහස්; යළි නියෝජ්‍ය නීතිපති ධූරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය නීතිපතිවරියක වූ දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක “තමන් නීතිය නවන්නත් කඩන්නත් දන්නනවා” යැයි තමන්ට කී බවට ඇවන්ට් ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති විසින් ප්‍රසිද්ධ කළ හඬ පටය, ඔහු විසින්ම සංස්කරණය කළ  බවත් ඒ සදහා සේනාධිපති විසින්ම උගුළක් ඇටවූ බවත් දැන් සනාථ වී තිබේ.

එය උගුළක් බව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය සිය තීන්දුවෙහි සඳහන් කරයි.

 

මේ බව අනාවරණය වන්නේ වැඩතහනම් කිරීමට එරෙහිව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට කළ අභියාචනයක් විභාගයට ගෙන දෙන ලද තීන්දුවෙහිය.

මෙම හඩපටය ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඇය ඒ වෙනුවට සේවය කරමින් සිටි නීතිපති දෙපාර්ථමෙන්තුවෙන් රැකියාවෙන් වැඩ තහනම් කරන ලද අතර මාස හයක් ම යන තුරු ඇයට කිසිදු වැටුපක් ගෙවා ද නැත.

සේනාධිපති විසින් ප්‍රසිද්ධ කළ හඩ පටය මුල් හඩපටය නොවූ අතර  මුල් හඬපටය එය පටිගත කරන ලද අකාරයෙන්ම ඉදිරිපත් කරන ලද සේවාධිපතිට කරන ලද නියෝගය ඉටු කිරීමට ඔහු අසමත් වී තිබේ.

මෙම දුරකථන කතාබව සිදුව ඇත්තේ එජාපයේ නමගිය ඩීල් දේශපාලනඥයකු සහ එහි වත්මන් සභාපති වන වජිර අබේවර්ධනගේ දුරකථනය හරහාය. වජිර අබේවර්ධන දිල්රුක්ෂි ඩයස්ට  රෑ කෑමකට  ආරාධනා කරන ලද අතර එහිදී සේනාධිපති ඔහුට දෙන ලද ඇමතුමක් වජිර අබේවර්ධන අයගේ සවනට යොමුකර තිබේ.

එයට පෙර සේනාධිපති සිය නිවසට කැඳවා සාකච්ජා කිරීමට වජිර අබේවර්ධන කරන ලද යෝජනාවට ඇය තරයේ විරුද්ධ වී තිබේ.

අනතුරුව රාත්‍රී භෝජනය  අවස්ථාවෙහිදී ඇති වූ කතා බහ සේනාධිපති විසින් පටිගත කරන ලද නමුත් එම අවස්ථාවෙහිදීම වජිර අබේවර්ධන සමඟ කරන ලද කතාව සේනාධිපති විසින් පටිගත කර නැත.

මෙම උගුල අටවා ඇත්තේ වජීර අබේවර්ධන විසින් සේනාධිපති හමුවීමට ඔහුගේ නිවසට යෑමට එන්නැයි නියෝජ්‍ය නීතිපතිනියක වූ දිල්රුක්ෂි ඩයස්ට කරන ලද ආරාධනය ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුය.

මෙම කතාබහ සිදුවූ අවස්ථාව වන විට නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව නඩු පවරා තිබුණි. ගෝඨාභය රාජපක්ෂවාදී සේනාධිපති ඔහු ජනාධිපති බවට පත් වූ පසු ඔහු චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී. ඔහු විසින් කරගෙන ගිය නෞකාවන්ට ආරක්ෂාව සැපයීම යළි ඔහුගේ ඇවන්ඩ්ගාඩ් සමාගමට බාර දීමට ආණ්ඩුව තිරණය කර ඇතැයි පසුගියදා වාර්තා පළ විය. එම වාර්තාව දැක්වූයේ නාවික හමුදාව තරඟකාරී වානිජ කටයුතු වල යෙදීම නොසුදුසු බැවින් යළි එම ව්‍යාපාරය අවන්ඩ් ගාඩ් වෙක් පැවැරිය යුතු බවයි. ( මෙම වාර්තාව එකී වෙබ් අඩවිය විසින් ඉවත් කර ඇති අතර එහි සත්‍ය අසත්‍ය බව තවම තහවුරු වී නැත)

නියෝජ්‍ය නීතිපතිවරියක අමාරුවේ දැමීම පිනිස විකෘති කළ බවට පිළිගෙන ඇති මෙම සේනාධිපති පසුගියදා ජනාධිපති රාජපක්ෂ හමුවීමට ගිය අවස්ථාවක පසුගියදා විඩියෝවට පවා නැගී තිබුණි.

ඇය අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වූයේ පාස්කු ප්‍රහාරයේ වක්‍ර හවුල්කරුවක් වන ජනාධිපති සිරිසේන විසින් ස්වාධීන කොමිෂන් සභාවන්ට  එරෙහිව දුෂ්ඨ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය.

සම්පූර්ණ නඩු තීන්දුව ඉංග්‍රිසි බසිනි: Document 1 – AAT Order 22072021_210728_205730

මෙම නඩු විභාගය පිළිබඳ වාර්තාවක් පළ කරන මීඩියාඩොට්එල්කේ අඩවිය මෙසේ සඳහන් කරයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.අයි ගුණතිලක මහත්මිය මූලික පරීක්ෂණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන් වී ඇත්තේ එම හඬපටය ස්ථාන 10කින් සංස්කරණය කර ඇති බවයි.

විනිසුරු එන්.ඊ දිසානායක, ඒ ඥාණදාසන් සහ ජී.පී අබේකීර්ති යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග විය. 2020 ඔක්තෝබර් 05 වැනි දින ලැබී ඇති අභියාචනය විභාග කර තීන්දුව ලබා දී ඇත්තේ 2021 ජූලි 14 වැනිදාය.
පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය යනු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දුවලට එරෙහිව අභියාචනා කිරීමට ඇති ආයතනයකි.නීතිපතිවරයා විසින් 2019 සැප්තැම්බර් 25 වැනිදාතමින් නිකුත් කරන ලද ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරමින් සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කරනු ලැබුවාය. එම වැඩ තහනමට හේතු වී ඇත්තේ 2019 සැප්තැම්බර් 20 වැනිදා රූපවාහිනී නාලිකා මගින් සහ යූටියුබ් නාලිකා මඟින් විකාශය කරන ලද හඬපටයකි.

ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංඛ සේනාධිපති මහතා සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදුවුණ සාකච්ඡාවක් බව කියමින් එම හඬපටය විකාශය කෙරිණි.

2019 සැප්තැම්බර් 25 වැනිදා කරන ලද වැඩතහනම අනුව එදින සිට ඇය 2020 අගෝස්තු 12 වැනිදා තෙක් වැටුප් රහිතව වැඩතහනමට ලක්වී සිටියාය. කෙසේ වෙතත් 2020 අගෝස්තු 12 වැනිදා සිට ඇයට අඩ වැටුප් ගෙවීමට රාජ්‍ය සේවා කොමිසම නියෝග කළේය. ඒ විෂමාචාර සම්බන්ධයෙන් යැයි කියමින් වැඩ තහනම් කර මාස 10ක් තිස්සේ වැටුප් නතර කිරීමට එරෙහිව වික්‍රමසිංහ මහත්මිය ගොනු කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.

වැඩතහනම් කර වසරක් යන තුරුත් මූලික පරීක්ෂණ කොමිටියෙන් ඇයට එරෙහිව විශේෂ සාක්කියක් සොයාගෙන නොතිබුණු අතර ඇයට එරෙහිව චෝදනාපත්‍රයක් ද නිකුත් කර නොතිබිණි. ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය 2020 ඔක්තෝබර් 05 වැනිදා පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට අභියාචනයක් ගොනු කර තිබේ.
2019/30 පරිපාලන චක්‍රලේඛය අනුව සංශෝධිත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 13.2 අනුව වැඩතහනම් කර මාස දෙකක් ඇතුළත මූලික පරීක්ෂණයක් සිදුකර අවසන් කළ යුතුය. වසරකට වැඩි කාලයක් ගතවී තිබුණත් වික්‍රමසිංහ මහත්මියට එරෙහි මූලික පරීක්ෂණය අවසන් වී නොතිබූ බව පරිපාලන අභියාචනා විනිශ්චාධිකාරයට පෙනී ගොස් තිබේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 22.1.1 අනුව විෂමචාරයක් සම්බන්ධයෙන් වන චෝදනාපත්‍රයක් ලබාදී මාස හයක් ඇතුළත විනය පරීක්ෂණය පවත්වා අවසන් කළ යුතු වුවද එලෙස සිදුකර තිබුණේද නැත. ඇය අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී අගේ වැඩතහනම අනිවාර්ය නිවාඩු යැවීමක් බවට පත් කරමින් 2020.10.15 වැනිදා රාජ්‍ය සේවා කොමිසම ලිපියක් නිකුත් කර ඇත.

නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතන සංවාදයේ පටිගත කළැයි කියන හඬපටය අසත්‍ය, සංස්කරණය කළ සහ විකෘති කරන ලද්දක් බවට තමාගේ ස්ථාවය සනාථ කෙරෙන මොරටුව විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද විශේෂඥ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක් මූලික විමර්ශන කමිටුවට ලැබුණු බව ඇය පරිපාලන අභියාචනා විනිශ්චාධිකරයේ විභාගයේදී සඳහන් කර තිබිණි. එමෙන්ම ඇය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

මෙම අභියාචනයේදී ඇගේ ස්ථාවරය වී ඇත්තේ තමාගේ වැඩතහනම සහ අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී, නීතියට අනුකූල නොවන ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් බවයි. මෙම අභියාචනය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම ද නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ කමිටු වාර්තාවේ පිටපතක් එම කොමිසම 2021 මාර්තු අටවැනිදා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට ඉදිරිපත් කර තිබිණි.

එමඟින් අනාවරණය වී ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමඟ කතාකරමින් පටිගත කළ හඬපටය තමා විසින් සංස්කරණය කළ බවට නිශ්ශංක සේනාධිපති මහතා ද මූලික පරීක්ෂණයේදී පිළිගෙන ඇති බවයි.
මූලික පරීක්ෂණ කමිටු වාර්තාවේ නිරීක්ෂණ අංක එක යටතේ සදහන් කර ඇත්තේ අදාල හඬපටය සංස්කරණය කරන ලද්දක් බවයි. නිරීක්ෂණ අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ අභියාචක විෂමාචාරයක් කර ඇති බවට එනිසා නිගමනය කළ නොහැකි බවයි.

එසේ තිබිය දී මූලික පරීක්ෂණයේ තීන්දුවෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී රාජ්‍ය සේවා කොමිසම ඇයට චෝදනාපත්‍රයක්ද නිකුත් කර තිබේ.පරිපාලන අභියාචනාධිකාරය විභාගය අවසන් කරමින් සිය දිර්ඝ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර තිබේ

Archive

Latest news

Related news