Thursday, March 28, 2024

මඩකළපුව දෙමළ මාධ්‍යවේදී සංගමයේ ලේකම්ගෙන් ටීඅයිඩිය පැය 3ක් ප්‍රශ්න කරයි; අනීතිකව මුර පද ඉල්ලයි!

ඡාායරූපය: නිලන්තන් සෙල්වකුමාර් ( ජේඩීඑස් ජායරූපයකි)

මඩකලපුවෙහි දෙමළ මාධ්‍යවේදියෙකු වන සෙල්වකුමාර් නිලන්තන්  කැඳවූ ත්‍රස්ත විමර්ශන අංශය (TID) පසුගිය 12වනදා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

ඔහු මඩකලපුවේ දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයාය.

පැය තුනක පමණ කාලයක් පුරා  දැඩි ප්‍රශ්න කිරීම්වලට ඔහු භාජනය කරන ලද අතර ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න කරන ලද්දේ  ඔහුට දෙමළ ඊලාම් විමුක්ති කොටි එනම් එල්ටීටීඊය  සමඟ කිසියම් සම්බන්ධයක් තිබේදැයි යන්නය.

 

ඔබට LTTE සමඟ කිසියම් සම්බන්ධයක් තිබේද? ඔබ දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයෙකුද? ඔබේ ඥාතීන් කිසිවෙකු එල්ටීටීඊයේ සිටියාද? ඔබ එල්ටීටීඊයට උදව් කර තිබේද?  ඔබ හිටපු මඩකලපුවේ දේශපාලන ප්‍රධානී තායමෝහාන් සමඟ සම්බන්ධයක් පවත්වනවාද? යනුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

“ බට්ටිනාතම් හෝ මීනාගම් Battinaatham or Meenagam වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබද? ඔබ ජනමාධ්‍යවේදියෙකු ලෙස වසර කීයක් වැඩ කර තිබේද? ඔබ වැඩ කරන්නේ කුමන මාධ්‍ය ආයතන සඳහාද? ඔබ වැඩ කරන්නේ කුමන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සඳහාද? ” යනාදී වශයෙන්ද ප්‍රශ්ණ කර තිබේ.

ඔහුගේ පෞද්ගලික හා මූල්‍ය තොරතුරු ලබා දෙන ලෙස ටී.අයි.ඩී.ය ඔහුට කියා ඇති බවත් ඔහුගේ මුදල් ගිණුම් සහ මුර පද පිළිබඳව සැලකිය යුතු ප‍්‍රශ්න සංඛ්‍යාවක් අසන ලද බවත් ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි. එයට අනුව ඔහුගේ ෆේස්බුක් ගිණුම, වට්ස්ඇප් ගිණුම, ඊමේල් ගිණුම, බැංකු ගිණුම සහ වෙනත් පෞද්ගලික තොරතුරු සඳහා පූර්ණ ප‍්‍රවේශය ලබා දීමට ඔහුට සිදුව තිබේ.

එසේ නමුත් නිලන්දන් උපුටා දක්වමින් කොළඹ ජීවත්වන මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසුවේ ටීඅයිඩී නිලධාරීන් මුර පද ඉල්ලු නමුත් ඔහු ඒවා ලබා දී නැති බවයි.

මාධ්‍යවේදී නිලන්දන් දුරකතනය හරහා සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා බ්‍රීෆ් දරන ලද උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිවේදියකු කියා සිටියේ “අධිකරණ අවසරයකින් තොරව බැංකු ගිණුම් සහ අනෙක් මුර පද ලබා ගැනීමට පොලිසියට අයිතියක් නැති බවයි.

“ඔබට පිටරටින් මුදල් ලැබෙනවාද? රටෙන් මුදල් ලැබෙන්නේ කුමකින්ද? කවුද සහ ඔබ මුදල් එව්වේ කවුද? ඔබට පුණ්‍ය ආයතනයක් තිබේද?” යනුවෙන් ද ඔහුගේ ආදායම් පිළිබඳව දිර්ඝ වශයෙන් ප්‍රශ්ණ කර තිබේ.

ඔහු යළි ටීඅයිඩීය වෙත කැඳවීමට සිදුවනු ඇතැයි ද දන්වා තිබේ.

සෙල්වකුමාර් නිලන්තන් මීට පෙර උතුරු නැගෙනහිර වාර්තා කිරීම් සම්බන්ධයෙන්ද පොලීසිය ප්‍රශ්න කර තිබේ. දෙමළ ගව ගොවීන්ගේ ඉඩම්වල මිලිටරි ආධාර ඇති සිංහල ජනාවාස ඇති කිරීම පිළිබඳව වාර්තා කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී. පළාත් පාලන දූෂණ පිළිබඳ වාර්තා කිරීම නිසා ඔහුට තර්ජනය කොට අත්අඩංගුවටද  ගනු ලැබීය.

“මට තිබූ අන්තිම නිදහසත් දැන් ඉවරයි” කියා නිලන්තන් පවසා තිබේ.

( ටැමිල් ගාර්ඩියන් පුවතක්ද ඇසුරු කර ගන්නා ලදී)

Archive

Latest news

Related news