Thursday, March 28, 2024

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ ඊට විරුද්ධ විය යුතු හේතු

ඡායාරූපය:Ishara Danasekara

එම පනත මගින් යෝජනා කරන දේ:

1. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් උදාර අරමුනින් රටේ සන්නද්ධ හමුදාවල කෙඩෙට් නිලධාරීන් හට උසස් අධ්‍යාපනය ලබා දීම උදෙසා තමන් සතුව තිබු නිශ්චල හා චංචල දේපල ත්‍යාග ඔප්පු අංක 1292 හා 1389 මගින් රජයට පවරමින් සිදු කර තිබුනු අරමුණු ව්‍යංගයෙන් හා කූඨ ලෙස පරාජයට පත් කිරීමට මෙම පනත මගින් කටයුතු කරනු ලබයි.

2. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ පරිත්‍යාගයේ අරමුණු අනුව සකස් කොට තිබු 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මෙම නව පනත මගින් මුලුමනින්ම ඉවත් කරනු ලබයි. ඒ අනුව මෙම පනත මගින් අදාල ත්‍යාගයේ අරමුණු පරාජය කොට ඔහුගේ නිශ්චල හා චංචල දේපල අවභාවිතයට යොදවනු ලබයි.

3. මෙම නව පනත මගින් පිහිටුවන නව විශ්ව විද්‍යලය එයට අනන්‍යවු නෛතික පුද්ගලත්වයක් දරන එනුමුදු එය රාජ්‍ය හෝ පුද්ලික සමාගමක්ද යන්න සඟවා තබනු ලැබ තිබෙන ආයතනයක් වන්නේය. නව පනත එය හඳුන්වන්නේ මන්ඩලයක් (Board) ලෙසටය . එහි සංයුතිය හා ක්‍රියාකාරිත්වය දෙස බලන කල එය රාජ්‍යයෙන්ද ආධාර ලබන එනමුදු රාජ්‍ය අධිකාරියක් හරහා නියාමනය නොවන එනමුදු ආරක්ෂක ලේකම්වරයාගේ හා ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ පාලනයට යටත් අමාත්‍යවරයකුගේ අධීක්ෂනයට යටත් පාර්ලිමේන්තුවට නාමිකව වාර්ථාකරන හමුදා කැඩෙට් නිලධාරීන්ට පමනක් නොව වෙනත් අයටත් මුදලට උපාධි පිරිනමන ආයතනයක් වන බවය.

4. නව පනත කියන්නේ මෙම විශ්ව විද්‍යාලය 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ ‘උසස් අධ්‍යාපන ආයතනය’ හා ‘ විශ්ව විද්‍යලය’ යන අර්ථ නිරූපනයට යටත් නොවන විශ්ව විද්‍යාලයක් වන බවය.

5. වි.වි. පනතේ විශ්ව විද්‍යාලයක් යනු උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර එය විශ්ව විද්‍යාලයක්, මන්ඩපයක්, විවෟත විශ්ව විද්‍යාලයක්, යුනිවර්සිටි කොලීජියක් , උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් වන අතර එවැනි සෑම ආයතනයක්ම පුර්ණ වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ නියාමනයට ලක් කරනු ලබයි. එසේම ලංකාවේ මෙතෙක් උපාධියක් පිරිනැමිය හැකිව තිබුනේ ප්‍රතිපාදන කොමිසම යටතේ නියාමනය වන උසස් අධ්‍යාපන ආයතනයකට පමනකි.

6. නව පනත මගින් මෙම විශ්ව විද්‍යාලයට ගාස්තු අයකොට වි.වි. ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් පරිභාහිරව උපාධි පිරිනැමීමට බලය දානය කොට තිබේ. ( 5(ක) වගන්තිය

7. නව පනත මගින් මෙම විශ්ව විද්‍යාලයට වි.වි. ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් පරිභාහිරව මහාචාර්ය, ආචාර්ය තනතුරු ඇති කිරීමට, පිරිනැමීමට බලය දානය කොට තිබේ.

8. එසේම මෙම නව විශ්ව විද්‍යාලය කේන්ද්‍රකොට ගෙන වි.වි. ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් පරිභාහිරව අවශ්‍යතාවය මත පීඨ, මන්ඩප, විද්‍යාල අධ්‍යාපන මධ්‍යස්ථාන ඇති කිරීමටත් එවා මගින් උපාධි පිරිනැමීමටත් බලය දානය කොට තිබේ.

9. එසේ පිහිටුවන අධ්‍යාපන ආයතන පවත්වා ගෙන යාම සඳහා රජයේ ආයතන හා රෝහල් වල සහාය ලබාගැනීමට බලය දානය කොට තිබේ.

10. එසේම මෙම විශ්ව විද්‍යාල පද්ධතිය ගොඩනැගීම සඳහා දේශීය අරමුදල් සපයා ගැනීමටද විදේශීය ආධාර මහා භාන්ඩාගාරයේ අනුමැතියෙන් තොරව ලබා ගැනීමටද අවශ්‍ය වන්නේ නම් ත්‍යාගයක් හරහා ලැබුන කඳවල වත්ත උකස් කිරීමටද බලය දානය කොට තිබේ. එසේම විශ්ව විද්‍යාලය සතු අරමුදල් ආයෝජනය කිරීමටද බලය දානය කොට තිබේ. එසේම විසර්ජන පනත යටතේ වි.වි. රජයේ මුදල් වෙන්කර ගැනීම බලය දානය කොට තිබේ.

11. මෙම පනත මගින් දානය කරනු ලබන බලතල පාලනය හා නියාමනය කිරීමේ බලතල හිමිවන්නේ විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා ප්‍රමුඛ සනාථන සභාවට නොව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපති වරුන්ගෙන් සමන්විත පාලන මන්ඩලයකට වන්නේය. උපකුලපත් එම මන්ඩලයේ එක සාමාජිකයෙක් පමනකි.
එම පාලන මන්ඩලයේ බලතල අතරට;
– ශිෂ්‍යන් බඳවා ගැනීමට
-පාඨමාලා තීරණය කිරීමට
– මහාචාර්ය, ආචාර්ය, කථිකාචාර්ය තනතුරු ඇතිකිරීමට අවලංගු කිරීමට මෙන්ම අත්හිටුවීමට
-ශිෂ්‍යත්ව, පදක්කම් හා ත්‍යාග ප්‍රදානය කිරීම යනාදී අධ්‍යන කාර්ය පරිපාලන බලතලද
හිමිකොට දී තිබේ.

12. ජනාධිපති වරයා වසර 3 හා උපරිමය වාර දෙකකට උපකුලපති වරයා පත් කරනු ලබයි. එම උප කුලපති වරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ මේජර් ජනරාල්/රෙයාර් ඇඩ්මිරල්/එයාර් වයිස් මාර්ශල් තනතුරු දරන්නෙකු විය යුතු අතර ඉන් එක අයකු සේවා මාරු ක්‍රමයට පත් කරනු ලබනු ඇත. උප කුලපතිවරයා ප්‍රධාන විධයකයා ද, පරිපාලකයා ද, ශ්‍රාස්ත්‍රීය නිලධාරියා ද වන්නේය. නමුත් උප කුලපතිවරයා වි.වි. යේ නාමික ප්‍රධානියා පමනක් වන බව 9(2) වගන්තිය සඳහන් කරයි.

13. වි. වි. සනාථන සභාවක්ද විශ්ව විද්‍යලයට පත් කරනු ඇත.

14. රාජ්‍යයේ පාලනය සමග විශ්ව විද්‍යාලය බැඳ තබන්නේ අමාත්‍යවරයකු යටතට පාලක මන්ඩලය බැඳතැබීම මගිනි. අමාත්‍යවරයා සිය ලිඛිත විධාන පාලක මන්ඩලයට නිකුත් කල යුතු අතර එසේ නිකුත් කොට මාස 3 තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පාලක මන්ඩලය වාර්ශික මුදල් වාර්ථාව අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබේ.

සම්පූර්ණ පනත :KDU act Sinhala 45-2021_S

 

නිරීක්ෂන:

රාජ්‍ය පාලනයට අදාලව:

1. රජයේ ආයෝජනයක්ද පුද්ගලික ආයෝජනයන්ටද විවෘත ආදායම් උපදවන මිලිටරි පාලනයට යටත් අධ්‍යාපන ආයතනයක් වන්නේය.

2. වි. වි. සම්බන්ධ අධ්‍යන අනධ්‍යන හා පරිපාලන කාර්යමන්ඩල යන්හි වැටුප් ගෙවීම පිලිබඳව ප්‍රතිපාදන සඳහනක් නැත. රජයේ වැටුප් ලබන නිලධාරීන් පාලනයට සම්බන්ධ වී ආදායම් උපදවන ව්‍යවසාසයක් පවත්වාගෙන යාම තුල රජ්‍ය නිලධාරීන්ට අදාල ආයතනික සංග්‍රහය බලපවත්නේ කෙසේද යන්න පිලිබඳව පවතින්නේ අවිනිශ්චිත බවකි.

3. රජයේ ආයෝජනය සහිත ලාබ ලබන ව්‍යාපෘතියක් වුවද විගණකාධිපති වරයාගේ කාර්ය භාරයද , පාර්ලිමේන්තුවට වාර්ශික වාර්තාවක් පිලිගන්වන්නේ වුවද පාර්ලිමේන්තු මුල්‍ය අධීක්ෂනයට යටත් වන්නේද නැද්ද යන්න පිලිබඳව පවතින්නේ අපැහැදිලි බවකි.

4. එසේම අමාත්‍යවරයාගේ විධාන ගැසට් ගත කොට මාස 3 කට පසුව පාර්ලිමේන්තුව අනුමත නොකළහොත් එම විධාන එසේම බලාත්මක බව පැවසීම විධායක ක්‍රියාවක් ව්‍යවස්ථාදායකයේ අධික්ෂනයෙන් පරිභාහිර කිරීමකි.

උසස් අධ්‍යාපනය:

5. විශ්ව විද්‍යාලයට හමුදා කෙඩෙට් වරුන් හැරුන කොට වෙනත් අය බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය වි.වි. ප්‍රතිපාදන කොමිසම පිලිගත් ක්‍රියාපටිපාටියෙන් බැහැර කිරීම ( රාජ්‍ය ආයෝජනය සහිත වි.වි. නිසා) ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කිරීමකි.

6. පොදු මුල්‍ය ආයෝජනයක් සහිත විශ්වවිද්‍යාලයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයෙන් බැහැර කිරීම විශ්ව විද්‍යාල පනතේ සඳහන් බලතල උල්ලංඝනය කිරීමක් වන්නේය

7. විශ්වවිද්‍යාල පනතේ දැක්වෙන උසස් අධ්‍යාපන ආයතනයක් සහ විශ්ව විද්‍යාලයක් යන අර්ථ නිරූපනයට පරිභාහිරව මිලිටරි පාලනයට යටත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට සමාන්තර පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කේන්ද්‍ර කොට ගෙන ගොඩනැගීම තුලින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI පරිච්ඡේදය මගින් දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන මුලධර්ම සහ මුලික යුතුකම් යටතේ 27(1)(ඌ) වගන්තිය යටතේ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සැම අවස්තාවකදිම සර්ව සාධාරන හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීමට රාජ්‍ය සතු වගකීම පැහැර හැරීමකි.

8. ප්‍රතිපාදන කොමිසමේ නියාමනයට යටත් නොවන අධ්‍යන පරිපාලනය මිලිටරි පාලන මන්ඩලයක් මගින් සිදුවන හා නාමික උපකුලපති වරයකු හා නාමික සනාථන සභාවක් සහිත විශ්ව විද්‍යාලයක් මගින මහාචාර්ය වරුන් සහායක මහාචාර්ය වරුන් හා ආචාර්ය වරුන් නිර්මානය කිරීම රටේ බුද්ධිය නිර්මානය කිරීමේ ප්‍රමිතිය අයාලේ යැවීමක් හා වෟත්තීය ගෞරවය පහල දැමීමක් වන අතරම එම ක්‍රියාව ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 14 (උ) වගන්තිය මගින්තහවුරු කර ඇති එකලාව හෝ අන්අය සමග යම් නීත්‍යානුකුල රැකියාවක වෟත්තියක නියුක්තවිමේ නිදහස උල්ලංඝණය කිරීමකි.

දේශපාලනික:

9. රාජ්‍ය නියාමනයකින් තොරව පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම රටේ උසස් අධ්‍යාපන ප්‍රමිතියට බරපතල තර්ජනයක් එල්ල කරනු ලබයි.

10. පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් මිලිටරි පාලනයක් යටතේ ගොඩනැගීම හා එම විශ්ව විද්‍යාලනයට අධ්‍යාපනය ලබා දීමෙන් පරිභාහිර වු ආයෝජකයකු ලෙස ක්‍රියා කරන්නට බලය දානය කිරීම රටේ අධ්‍යාපන කේෂේත්‍රයට මිලිටරි ආර්ථිකයේ බලපෑම එක් කිරීමක් වන අතර මෙතෙක් තිබු රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඒකාධිකාරිය බිඳ දමා පෞද්ගික වි.වි. අභිබවා අධ්‍යාපනයට මිලිටරිය කැඳවීමකි.

(Lankaenews)

 

 

 

Archive

Latest news

Related news