Tuesday, July 16, 2024

මැතිවරණ කොමිසමට කණකොකා හඬයි! විධායකයේ රෑකඩයක් – රජිත් කීර්ති තෙන්නකෝන්*

ඡායාරූපය: මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දීර්ඝකාලින රාජපක්ෂවාදියෙකි.

පක්ෂ නායක, නීත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂණ රැස්වීම් නෑ, සහකාර කොමසාරිස්වරුන්ට රැස්වීමක් දෙන්නේ නෑ.  මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත්වී යනවා, ‘මැතිවරණ කොමිසම විධායකයේ රූකඩයක් බවට පත් කරමින් යනවා‘

(15.07.2021)

මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සෑම පාර්ශවයක් සමඟ ‘සාකච්ඡාකර තීන්දු ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුව/ කොමිෂන් සභාව ඉතිහාසය පුරාම පවත්වාගෙන ගිය ව්‍යවහාරය යි.  වත්මන් කොමිෂන් සභාව පත් වූ දින සිට මේ දක්වා පවත්වා ඇත්තේ කොමිෂන් සභාව හදුන්වා දීමේ එක පක්ෂ නායක රැස්වීම පමණී.  නිත්‍ය නියෝජිතයින්ගේ එකම රැස්වීමක් හෝ පවත්වා නොමැති අතර කොමිෂන් සභාව හදුන්වාදීමේ රැස්වීමට හැර මැතිවරණ නිරීක්ෂකයින් සමඟ එකම රැස්වීමක් හෝ පවත්වා නැත. මැතිවරණ කොමිෂන් සභාව අත්තනෝමතික ඉවත් කිරීම් හා පත්වීම් හරහා විධායකයේ රූකඩයක් බවට පත් කරමින් තිබේ යැයි හිටපු ආණ්ඩුකාර හා කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද දින  පී.බී.ආර්. සුමංගලී මහත්මිය කොමිෂන් සභාවෙන් මාරුවී ගොස් ඇත. ඇය මෙළෙස මාරුවී ගිය 13 වන නිලධාරීයා ය.  සමාන්‍ය තත්වය යටතේ  කොමිෂන් සභාවට නිලධාරීන් බඳවා ගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයක් මගිනි.  කිසිදු සම්මුඛ පරීක්ෂණයක් නොමැතිව මේ වන විට ජ්‍යෙෂ්ඨ පාරිපාලන තනතුරු සඳහා නිලධාරීන් 7 දෙනෙකු බඳවා ගෙන ඇත.

­­ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලය (3 වගන්තිය) සහ පරමාධිපත්‍ය බලයක ක්‍රියාත්මක කිරීම (4 වගන්තිය)  සඳහා අවශ්‍ය ඡන්ද බලය ක්‍රියාත්මක වන්නේ මැතිවරණ කොමිෂන් සභාව හරහා ය.  19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපනය කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා වෙනුවට මේ වන විට නාමික මැතිවරණ කොමිසමක් බිහිවිය.  එම කොමිසම පිහිටුවා ‍කෙටි කලක් තුල,

1.       ටී. හෙන්ස්මන්

2.       සුරංග රණසිංහ

3.       නාලක රත්නායක

4.       ධරණී වීරසේකර

5.       රාජේන්ද්‍රන් සසීලන්

6.       තිලින වික්‍රමරත්න

7.       දිලිප් ගම්ලත්

8.       නාමල් තලංගම

9.       ගයාන් පතිරණ

10.   පරිපාලන නිලධාරි ජේ.යු. ප්‍රියනාත්

11.   ගණකාධිකාරි තිලක් කුමාර

12.   ශානික ආරියරත්න

13.   පී.ආර්.බී.සුමංගලී යන අය කොමිසමෙන් ඉවත්ව ගොස් ඇත.

මැතිවරණ දෙපාර්තමේන්තුව/කොමිෂන් සභාව වෙත බඳවා ගැනීමේ දී ව්‍යවහාරය පමණක් නොව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දිස්ත්‍රික්ක අතර ස්ථාන මාරුවීම් ලබාදීමේ දී ක්‍රියාත්මක වන සම්ප්‍රදායක් තිබුණි. මේ වන විට එම ව්‍යවහාරයෙන් පරිබාහිරව විධායකයේ අවශ්‍යතාව රූකඩයක් බවට මැතිවරණ කොමිසම පත් වන තත්වයක් නිර්මාණය වී ඇත.  

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ඉවත් කීරීම සහ නව පත්වීම් පිළිබඳ අවධානය යොමු කිරීමේ වගකීමක් මෙරට ලියාපදිංචි සියලුම දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට තිබේ.  පරිපාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත තිබේ. කිසිදු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අත්තනෝමතිකව ඉවත් කිරීම, හා කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව නව නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ මේ දක්වා විමසීමක් හෝ කර නොතිබීම කණගාටුවට කරුණකි.

මැතිවරණ කොමිෂන් සභාව සතු ස්වාධීන බලතල 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කප්පාදු කිරීමෙන් නොනැවතී තමන්ට රිසි සේ පාලනය කළ හැකි පිරිසක් අත්තනෝමතික ලෙස ඉහළම තනතුරු සඳහා පත් කර ගැනීමට  කටයුතු කරන්නේ නම් එය ‘නිදහස් හා සාධාරණ මැතිවරණ‘ පැවැත්වීම පිළිබඳ ඇති බලාපොරොත්තුව විනාශ කරනු ඇත.  මැතිවරණ කොමිසම විධායකයේ රූකඩයක් බවට පත්වීමකි.

රාජ්‍ය බලය, පලාත් බලය ලබා ගැනීම පමණක් නොව යුක්ති ගරුක මහජන නියෝජනයක් ඇතිකරන නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් පිළිබඳ උනන්දුවක් දක්වන සියළු දෙනා ද, පරිපාලන සේවා සංගමය ද මේ සම්බන්ධයෙන් මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරමි.  

රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ  හා කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ වේ.

 

Archive

Latest news

Related news