Monday, May 20, 2024

ක්‍රියාධර සුදේශ් නන්දිමාල්ට මරණ තර්ජන කරන පිරිස පොලිසිය හෙළිදරව් කළ යුතුයි. නැත්නම් ඇඟිල්ල ඔවුන් දෙසටයි – සේනක පෙරේරා

සමාජ ක්‍රියාකරියකු සහ වැලිකඩ සමූහ ඝාතනය නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල් ඝාතනය කරන බවට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ අනතුරු අඟවා ඇතැයි සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දක්වමින් සේනක පෙරේරා කියා සිටියේ නන්දිමාල්ගේ ජීවිතයට සැබෑ අනතුරක්  ඇති බව පෙනන බවයි. මෙම මරණ තර්ජන පිටුපස සිටින්නේ කව්රුන්දැයි සොයා ගැනීමට පොලීසිය කටයුතු නොකරන්නේ නම් රජය සහ පොලීසිය වෙත ඇඟිල්ල දිගුවීම නොවැළැක්විය හැකි බවත් ඔහු සඳහන් කළේය. රටතුල ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් බිය ගැන්වීමේ සැළැස්මක් ක්‍රියාත්මක බව බව මෙම තර්ජන මගින් ද සනාථ වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

වැලිකඩ සිරකරු සමූහ ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල් සිල්වා යන අයගේ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කිරීම

‍මේ වන විට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන HC(TAB)/493/19   නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල් සිල්වා යන අයට නැවත වරක් ජීවිත තර්ජන එලල් වී ඇති අතර එහි ආසන්නම සිද්ධිය වන්නේ 2021.07.07 යන දින ඔහුගේ මාලිගාවත්ත ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාසයේ පිහිටි නිවස වෙත නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඔහුගේ යන එන තැන් සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් විමසීමත් ඔහුට ඉදිරියේ දී ජීවිත තර්ජනයක් කිරීමට සූදානම් වන බවට හැඟවෙන ආකාරයට එහිදී එකී නාඳුනන පුද්ගලයින් ප්‍රකාශ කිරීමත් ය.

එසේම සුදේශ් නන්දිමාල් සිල්වා දැනට වසර 15කට පමණ පෙර පදිංචි වී සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඥාති නිවාසයන්ටද ගොස් නාඳුනන පුද්ගලයින් පිරිසක් ඔහු ගැන කරුණු සොයා තිබේ.

මේ සම්බන්ධයෙන් එදිනම (2021.07.07) දෙමටගොඩ පොලිස් ස්ථානයට CIB  1/117/42 යොමු අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එසේම එකී පැමිණිල්ල යටතේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙනෛකු විසින් ප්‍රකාශ ලබා දී තිබේ.තවද මීට අදාළ එම ස්ථානයේ  CCTV දර්ශන ඇතුළත් වීඩියෝ පටය පොලිස් විමර්ශනය සදහා ලබා දීමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව මෙසේ පැමිණ, සුදේශ නන්දිමාල් සිල්වා යන අයගේ ජීවිතයට අනතුරක් කිරීමට උත්සාහ කරන අය කව්රුන්ද, ඔවුන් කාගේ උවමනාවකට ක්‍රියාත්මක වන්නේද යන කරුණු කඩිනමින් සොයා ගෙන ඔහුගේ ජීවිත ආරක්ෂාව වහා තහවුරු කළ යුතුව ඇත.

2012 වැලිකඩ බන්ධනාගාරයේ සිදු වුූ  සිරකරු සමූහ ඝාතන සිද්ධියේ සාක්ෂිකරුවකු වීමත් රජයේ  අසාධාරණ සහ අයුක්ති සහගත කටයුතු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ විවේචනය කිරීමත් නිසා මීට පෙර ද ඔහුට විවිධ තර්ජන එල්ල වී තිබූ අතර එවකට ඔහු තාවකාලිකව නැවතී සිටි මොරටුව පිහිටි ඔහුගේ සහෝදරියගේ නිවසට නාඳුනන පිරිසක් විසින් කළ වෙඩි තැබීම ද ඒ අතර වේ.

නීතිඥ සේනක පෙරේරා,  සභාපති, සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව

2021.07.10/ ප්‍රවෘත්ති නිවේදනය

පීඩීඑෆ් ගොනුවක් ලෙස‍CPPR press release 10.07.2021

 

Archive

Latest news

Related news