Monday, May 20, 2024

ලංකාව අද මහ දවාලේ, දෙනෝ දහසක් මැද, අධිකරණ භූමිය තුළ නීතිය කෙළෙසන රටක් – කරු ජයසූරිය

අද මෙරට  අඳුරු දිශාවකට ගමන් කරමින් සිටින අවස්ථාවකි. ජනතාව මර්දනය කිරීමේ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ වී තිබෙනවා.  රටේ ආර්ථිකය බංකොලොත් වෙමින් පවතිනවා. ජනතාවගේ පැවැත්ම අන් කවරදාකටවත් වඩා අවිනිශ්චිත භාවයකට පත් කර තිබෙනවා. වෙන එකක් තබා, තමන් පෙළෙමින් පවතින පීඩාව ගැන කියන්නට පවා නිදහසක් අද ඔවුන්ට නැත. ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවමින් තිබෙනවා. අද මේ රට මිනිස් නිදහස තුට්ටුවකටවත් ගණන් නොගන්නා තත්ත්වයකට ඇද දමා තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගන්නවා වෙනුවට එම වසංගතයට මුවා වෙමින්, එය ආශිර්වාදයක් කරගනිමින් අද රජය ජනතාව මර්දනය කරමින් තිබෙනවා. එය ඉතා වේදනාකාරී තත්වයක්. ඒ අනුව ජනතාව එකාවන්ව නැඟී සිට මෙම අනතුර පරාජයට පත් කළ යුතුය. අද අප ලබා දෙන ප්‍රමුඛ පණිවුඩය එයයි.

අධ්‍යාපනය සෞඛ්‍ය විනාශ මුඛයේ

ගොවි ජනතාවට අද දහසක් ප්‍රශ්න තිබෙනවා. වැඩ කරන ජනතාව එදිනෙදා ජීවිකාව කර ගන්න තබා ජීවත් විය නොහැකි තත්ත්වයකට අසරණ කරලා. තරුණ පරපුරට අනාගතය ගැන කිසිදු විශ්වාසයක් නැති කරලා. නිදහසින් පසු අප රැක ගත් වටිනාම දායාදයක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව විනාශ මුඛයට ගෙන යමින් පවතිනවා. මේවා රටේ දැවෙන ප්‍රශ්න බවට පත්වෙලා. ඒ නිසා ජනතාව ඊට එරෙහිව පාරට බහින තත්ත්වයකට යොමු වෙලා. එහෙත් මේ රටේ පාලකයන් ඒවාට නිසි විසඳුම් ලබාදෙනවා වෙනුවට ජනතාව මර්දනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. ලෝකයේ ඕනෑම රජයක් අසමත් වන විට ඊට ප්‍රතිචාර දක්වන්නේ ජනතාව මර්දනය කිරීමෙනුයි. අවාසනාවකට අද අපේ රටත් එවැනි තත්ත්වයකට පත්වෙලා.

වගා කරන්නට පොහොර ඉල්ලන ගොවියන්, ගොවි නායකයන් අද බලහත්කාරයෙන් කුදලගෙන යනවා. නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන්නට පෙරට එන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පුරවැසියන්ට පොලිස් මර්දනය මුදාහරිමින් තිබෙනවා. එවැනි තත්ත්වයන් රාශියක්ම පසුගියදා අප දුටුවා. රජය ඒවාට පිළිතුරු දෙමින් සිටින්නේ කෙසේද? අපේ සංස්කෘතිය තුළ චීවරයට දක්වන්නේ විශාල ගෞරවයක්.

අප දුටු ඡායාරූප අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇදගෙන ගියේ කුණු මාළු කෑල්ලක් ගෙන යන ආකාරයටය. වැඩිහිටි කාන්තාවන්ට සැලකුවේ ඉතා නින්දා නින්දා සහගත ආකාරයට. මේ රටේ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. එහිදී ජෝසප් ස්ටාලින් මහතා බලහත්කාරයෙන් රැගෙන ගිය ආකාරය ඔබ දකින්නට ඇති. තරුණ කාන්තාවන්ගේ ඇඳිවත පවා ඉරා දමමින් පොලීසිය විසින් කුදලාගෙන ගිය ආකාරය නින්දනීයයි. නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දේ සිදු විය නොහැකිය. එය වඩාත්ම බරපතළ වන්නේ ඒ සියලු ක්‍රියාවන් අනීතිකව, නීතියට පටහැනිව සිදු කරමින් තිබෙන නිසයි.

ඒ නිසා මේ ගැන අන් සියල්ලන්ටම වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ රටේ නීති ප්‍රජාවය.  අධිකරණයයි. මෙය සිදුවන ආකාරයට අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට ඇති ප්‍රයෝජනය කුමක්ද?

නිරෝධායනය නමින් පොලිස් පැහැර ගැනීම්

අප දන්නා අන්දමට යම් චෝදනාවකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලයක් තිබෙනවා. එවැන්නක් සිදු විය යුත්තේ රටේ පවතින නීතියට අනුකූලවයි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි පවා අවභාවිතා කරමින්, රෝග මර්දනය සඳහා එය යොදා ගන්නවා වෙනුවට ජනතාවගේ කතා කිරීමේ අයිතිය මර්දනය කිරීම දක්වා එය යොදා ගනිමින් තිබෙනවා.  නිරෝධායන නීතිය අවභාවිතා කරන්නට පොලීසියට කිසිදු බලයක් නැත.

විශේෂයෙන්ම අධිකරණය මගින් ඇප ලබා දී මුදාහරින ලද පිරිසක් අධිකරණ භූමිය තුළදීම පොලිස් අත්අඩංගුවට ගෙන බලහතුකාරයෙන් රැගෙන යනවා නම් එය නීතිවිරෝධී පැහැරගෙන යෑමක් මිස වෙන කිසිවක්ම විය නොහැකිය.

අද අපේ රටේ මේ දේවල් සිද්ධ වෙන්නේ මහ දවාලයේය. විශාල ජනතාවක් ඉදිරිපිටයි. රටේ උත්තරීතර අධිකරණ භූමිය තුළයි. මේ තත්ත්වය මේ විදියට වර්ධනය වුවහොත් විනිශ්ච ආසනය ඉදිරියේ සිටින පුද්ගලයන් පවා පොලීසිය මගින් පැහැරගෙන යන තත්ත්වයක් උදාවිය හැකිය. රටේ නීතියට ඒ තරමටම අවමන් කරමින් තිබෙනවා.

මේ අතිශය භයානක තත්ත්වයක්. මෑත ඉතිහාසයේදී ලෝකයේ පහළ වූ බිහිසුණුම ඒකාධිපතියා ලෙස සැලකෙන හිට්ලර්ගේ පාලන සමයේදී හා උගන්ඩාව එක් කාලයකදී පාලනය කළ  ඉඩි අමීන්ගේ පාලනය යුගයේදී මෙවැනි දේ සිදුවුණා.

ඒ නිසා මේ ගැන අන් සියල්ලන්ටම වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ රටේ නීති ප්‍රජාවය.  අධිකරණයයි. මෙය සිදුවන ආකාරයට අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට ඇති ප්‍රයෝජනය කුමක්ද?

එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරු වේවිද? මෙය අතිශය භයානක ප්‍රවණතාවයක්.  වහා පරාජය කළ යුතු තත්ත්වයක්. එසේ නොවුවහොත් මේ රටේ අනාගතය තව බොහෝ සේ අඳුරු විය හැකියි. ඛේදනීය විය හැකියි. භයංකර විය හැකියි. ඒ බව මේ රටේ පුරවැසියන්ද ඇතුළු වගකීමක් ඇති, රට ගැන කැක්කුමක් ඇති සියලුම දෙනා තේරුම් ගත යුතුව ඇතැයි  අප විශ්වාස කරනවා. ඒ අනුව අධිකරණ නියෝග වලට පිටින් බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන සිටින සියළුම වෘත්තීය සමිති හා ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ජෝසප් ස්ටාලින් වැනි අය අන්තර්ජාතික ගෞරවයට පත් වෘත්තීය සමිති නායකයින්.

ඒ වගේම අද මේ රටේ මෙවැනි දේවල් සිදුවන්නේ හුදු අහම්භයකින් නොවන බවද අප තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා මෙය සැලැස්මකට අනුව ක්‍රමානුකූලව සිදු කරන මර්දනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටෙන් තුරන් කිරීම මිස වෙන කිසිවක් නොවේ. මහජන පරමාධිපත්‍ය බලය පාගා දමමින් ඒකාධිපති අත්තනෝමතික රාජ්‍යයක් ගොඩ නැගීම එහි අවසන් ප්‍රතිඵලයයි.

මැතිවරණ කොමිසම දේශපාලන හස්තයක්

අද වන විට මේ රටේ මැතිවරණ කොමිෂන් සභාව තුළ සිදු වෙමින් දේවල් දිහා බලන විට එවැනි අනතුරක් දකින්නට තිබෙනවා. නිදහසින් පසු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විකාශනය වී ඇති ආකාරයට දෙස බලන විට ඇතැම් කාලවලදී ඇතැම් අඩුපාඩු දකින්නට තිබුණත් නිදහස් මැතිවරණ ක්‍රමය දවසින් දවස ශක්තිමත් වුණා. නිදහස් මැතිවරණ පිළිබඳව ජනතාවක් තුළ දවසින් දවස විශ්වාසය තහවුරු වුණා. එය සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයටම ආශිර්වාදක් වුණා.

නමුත් අද වන විට සිදුවෙමින් පවතින්නේ කුමක්ද? විශේෂයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මාරක ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එය ආරම්භ වූයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන්, ඔවුන්ගේ කාර්යාලීය සේවකයන්ද ඇතුළුව දේශපාලන ගැත්තන් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් ලෙස පත්කර එවීමත් සමගයි. එහි ඇති අනතුර අප පුන පුනා පෙන්වා දී තිබෙනවා. නමුත් අවාසනාවකට මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ පවා ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත. ඒ ගැන අප තුළත් කණගාටුවක් තිබෙනවා.  නමුත් දැන්වත් මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුය. බොහෝ ස්වාධීන කොමිෂන් සභාවලට ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් පත්කර තිබෙනවා මෙය ඉතා භයානක ප්‍රවණතාවයක්.

අපට වාර්තා වන අන්දමට මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකටම ස්ථාන මාරුවීම් ලබා දෙමින් තිබෙනවා. ඔවුන් ඒ මගින් සිදු කරන්නට යන්නේ නිදහස් මැතිවරණ පිළිබඳව කැපවීමකින් ක්‍රියා කළ පළපුරුදු නිලධාරීන් පිටමං කරවීමයි. තමන්ට රිසි, තමන්ගේ උවමනාවන් අනුව ක්‍රියා කරන පිරිසක් අතට සමස්ථ මැතිවරණ කොමිසන් සභාවම පත් කරවීමයි. අවසානයේ නිදහස් සහ සාධාරණ නොවන මැතිවරණ පවත්වමින් එකම පුද්ගල කණ්ඩායමකට සදාකාලිකවම බලය අත්පත් කර ගන්නා පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ ගැන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂ අවධානයට යොමු කළ යුතුයි.

ඒ වගේම නිදහස්, සාමකාමී හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් කෙරෙහි කැපවීමකින් ක්‍රියාකරන මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මේ ගැන බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුවහොත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම  නැතිව යා හැකියි. ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් සිහිනයක් බවට පත් විය හැකිය. ජනතා පරාමාධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රණය කර ඇති අකුරුවලට පමණක් සීමා විය හැකියි. මෙය දැවැන්ත අනතුරක්. කරුණාකර ජනතාවගේ නාමයෙන් මේ ගැන අවධානයට යොමු කරන්න. සියලුම පටු අරමුණුවලින් බැහැර වී මේ රටේ සියලුම දේශපාලන බලවේග මේ තත්ත්වයට එරෙහිව පෙළ ගැසෙන්න, එක්සත් වන්න. අද දවසේ අපගේ ප්‍රධානතම ආයාචනය වන්නේ  එයයි.

අපි රජයට කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන්න එපා.

දේශබන්දු කරු ජයසූරිය මහතා
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

(2021-07-11 වන දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී සිදු කරන අදහස් දැක්වීමකි.)

Archive

Latest news

Related news