Tuesday, July 16, 2024

ලෝකයේම තනි පක්ෂ ඒකාධිපතිත්වයක් ඇති කිරීමට පෙරමුණ ගන්නා ලෙස ජවිපෙ චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වන සංවත්සරයට සුභ පැතුම් යවන ජනතා විමුක්ති පෙරමුණ වීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීනයේ පවත්වා ගෙන යන තනි පක්ෂ දේශපාලනය ලෝකයටම ඇති කිරීමට පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටී.

එය මෙසේ කියයි: “සමාජවාදය දෙසට ලෝකය ගෙනයාමට සහ මේ ලෝකය මානව වර්ගයාට ප්‍රසන්න ස්ථානයක් බවට පත් කිරීම සඳහා වාම පක්ෂ අතර වඩාත් සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය වඩාත් අන්තර්ක්‍රියාකාරී හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි..”

මෙමගින් අදහස් වන්නේ චීනයෙහි පවතින්නේ ජවිපෙද අපේක්ෂා කරන සමාජවාදය බවත් එය මානව වර්ගයාට ප්‍රසන්න ස්ථානයක් බවත්ය.

නිර්ධන පංති අඥාදායකත්වය යනුවෙන් න්‍යායිකව විස්තර කැරෙන, අද කොමියුනිස්ට්වාදී යැයි කියා ගන්නා සියලුම රටවල ඇත්තේ තනි දේශපාලන පක්ෂයක් විසින් අන් කිසිදු දේශපාලන පක්ෂයකට ඉඩක් නොදෙන ඒකාධිපතිවාදී පාලනයන්ය.

චිනයෙහි කිසිදු ජනමාධ්‍ය නිදහසක්, සමාගමයේ සහ රැස්වීමේ නිදහසක් හෝ නිදහස් සහ සාධාරණ මැතිවරණ ක්‍රමයක් හෝ නැත. චීනයෙහි ෆේස් බුක් සහ ටිවිටර් තහනම් අතර පාචිච්චි කළ හැක්කේ රජයේ පාලනය යටතේ පවතින සමාජ මාධ්‍ය පමණි.

විරුද්ධ අදහස් දක්වන කවරකුට හෝ  චීනයෙහිදී සිදු වන්නේ කුමක්ද යන්න චීන පාලනයට යටත් හොං කොං හි දැන් ඉදිරියට යන මර්දනයෙන් පෙනේ. ප්‍රභාමත් නිදහස් මාධ්‍ය සංස්කෘතියක් තිබූ  එහි දැන් කිසිදු ස්වාධින ජනමාධ්‍යක් නැති අතර විරුද්ධ අදහස් දරන පිරිස් පාර්ලිමේන්තුවෙන් නෙරපා තිබේ.

දැන් මෙරට දී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ජනතා පෙරමුණ සමස්ත ලෝකයටම චීනයේ පවත්නා දේශපාලන ක්‍රමයක් යෝජනා කරයි.

චීනය ලෝකයට ලබා දෙන අනාගතය අද දැකිය හැක්කේ මිලිටරි පුන්ටාවක් විසින් පාලනය කරන මියන්මාරයෙහි, එවැනිම ඒකාධිපතිත්වයක් ඇති ඉරිත්‍රියාව සහ ඉරානයෙහි මෙන්ම දුගී භාවයේ පත්ලටම ඇද වැටුණූ ඒකාධිපති වෙනිසියුලාවෙහිය.

චීන කොමියුනිස්ට් පක්ෂය වෙත ජවිපෙ විසින් යවන ලද මෙම සුභ පැතුම ජවිපෙ සංහල වෙබ් අඩවිය වන ලංකා ට්රුත්හි පළ කරන නැත. එය පළ කර ඇත්තේ ජවිපෙ විසින් පවත්වාගෙන යන ඉංග්‍රිසි භාෂා වෙබ් අඩවියේය.

එම සුභ පැතුමෙහි අදාළ කොටස මෙසේය.

“අධිරාජ්‍යවාදයට හා අයුක්තියට එරෙහි අරගලයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ඉතිහාසයක් ඇති චීන කොමියුනිස්ට් පක්ෂය, මාක්ස්-ලෙනින්වාදී න්‍යායේ හා භාවිතයේ මඟ පෙන්වීම යටතේ සූරාකෑමට, පීඩාවට, අයුක්තියට, අසමානතාවයට හා මර්දනයට එරෙහිව සටන් කරන ප්‍රගතිශීලී ජනතාවට සහ ඔවුන්ගේ සංවිධානවලට සහාය වනු ඇතැයි අපගේ විශ්වාසයයි.

“එසේම, සමාජවාදය දෙසට ලෝකය ගෙනයාමට සහ මේ ලෝකය මානව වර්ගයාට ප්‍රසන්න ස්ථානයක් බවට පත් කිරීම සඳහා වාම පක්ෂ අතර වඩාත් සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය වඩාත් අන්තර්ක්‍රියාකාරී හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

“ඇමරිකා එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් මෙහෙයවනු ලබන ධනවාදය සහ අධිරාජ්‍යවාදය සහ මේ පෘථිවියෙහි ජනතාව සතු සම්පත් කොල්ලකෑමට ජනතාවට එරෙහිව කුමන්ත්‍රණය කරන මොහොතක, චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දෙන ලද චීනයේ ජයග්‍රහණ ඉතා විශිෂ්ට ය.”

චීන කොමියුනිස්ට් පක්ෂය දිගු කල් දිනේවා! ”

චීනය, ලංකාවෙහි ගෙන යන්නේ ද ජනතාව සතු සම්පත් කොල්ලකෑමක් බව ජනතා විමුක්ති පෙරමුණට අමතක වී තිබේ.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news