Tuesday, July 16, 2024

ශානි අබේසේකරට විරුද්ධ චෝදනා වැඩකට නැති බව ජේෂ්ඨ නීතිඥයෝ නීතිපතිට කියති. – තලතා අතුකෝරල

මේ වන විට වසරකටත් වැඩි කාලයක් චෝදනා ඉදිරිපත් නොකර  අත්අඩංඟුවේ තබා ගෙන සිටින හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂ එස්එස්පී ශානි අබේසේකර සම්බන්ධයෙන් නඩු පැවැරිය හැකි චෝදනා නැති බව ජේෂ්ඨ නීතිවේදීන් විසින් නීතිපතිවරයාට දන්වා ඇති බව හිටපු අධිකරණ ඇමතිවරිය වන  තලතා අතුකෝරල ප්‍රකාශ කරයි.

ඇය මේ බව කියා සිටින්නේ යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනාව ගැන නිවේදනයක් නිකුත් කරමිනි.

ශානි අබේසේකර සිරගත කිරීම යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සැලකිල්ලට ගෙන ඇති බව එම යෝජනාවෙන් පෙනී යන්නේ යැයි ඇය ප්‍රකාශ කරයි.

එළිවෙන ජාමයේ පොලිස් නිලධාරීන් ශානි අබේසේකරගේ නිවසට පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ගත වී තිබෙන බව පෙන්වා දෙයි.

තලතා අතුකෝරල අධිකරණ ඇමැතිනිය වශයෙන් සිටියදී රාජපක්ෂ සමයේ වංචනිකයින් සහ දූෂිතයින් ආරක්ෂා කල බවට ඇයට ද චෝදනා එල්ල වී තිබුණි. ශානි අබේසේකර වැනි අය විසින් කරන ලද පරීක්ෂණයන්හි ප්‍රතිපල ලබා ගැනීමට බැරි වුයේ රනිල්-සිරිසේන ආන්ඩුවේත් එහි අධිකරණ ඇමැතිනිය වූ තලතා අතුකෝරල වැනි අයගේත් යටි කූට්ටු දේශපාලනය නිසාය.

දැන් ඇය ශානි අබේසේකර ගැන කතා කරන්නේද යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාව නිසා ජීඑස්පී සහනය අහිමි වනු ඇතැයි යන බිය ද නිසාය. එම යෝජනාව නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කිවිවර අහ්නාෆ් ජසීම් නඩු නැතිව සිර ගත කර සිටීම ද හෙළා දකින නමුත් තලතා අතුකෝරල ඔවුන් ගැන එක වචනයක්වත් මෙම නිවේදනයෙහි සදහන් කර  නැත.

තලතා අතුකෝරල විසින් නිකුත් කරන ලද නිවේදනයේ එන පහත සඳහන් කරුණූ අප පළ කරන්නේ නීතිපති දෙපාර්ථමේන්තුවට අදාළව ඇය විසින් දක්වා ඇති කරුණු වැදගත් නිසාය.

“ශානි අබේසේකරට සහ  සහ ඔහු සමඟ කටයුතු කළ වන නවරත්න ප්‍රේමතිලක සහ සුගත් මොහාන් මෙන්ඩිස්ට එරෙහිව ඇති එකම චෝදනාව  නඩු විභාගයකදී විනිසුරුවරුන් තිදෙනෙකු විසින් මිනීමැරුමකට ඒකමතිකව වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ව්‍යාජ ලෙස චෝදනා කිරීම සඳහා සාක්ෂි ගොතන ලද්දේ යැයි යන්නයි. වාස් ගුණවර්ධන වරදකරු වූයේ පොලිසිය තුළ කොන්ත්‍රාත් ඝාතක කල්ලියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි.

“අත්අඩංඟුවට ගැනිමෙන් පසු අබේසේකර මහතා කොවිඩ් -19 රෝගයට ගොදුරු වූ අතර හෘදයාබාධයකට ද ලක් ව හෘද සැත්කමකට භාජනය විය. ශානි අබේසේකර සහ ඔහුගේ සෙසු රහස් පරීක්ෂකයින්ට එරෙහිව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ස්වාධීනව සමාලෝචනය කර ඇති බව අපට දැන ගන්නට ලැබී තිබේ.

“කොළඹ අපරාධ කොට්ඨාශය විසින් හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට එරෙහිව කරන ලද චෝදනාවල බරපතල ප්‍රතිවිරෝධතා සහ නොගැලපීම් මෙම සියලු නීතිවේදීන් විසින් සොයා ගන්නා ලදී. අබේසේකර මහතාට එරෙහිව නඩු පැවරීමට කිසිදු පදනමක් නොමැති බව නිගමනය කරමින් ඔවුන් සහ ඔහුගේ සගයන් නිදහස් කළ යුතු බවට නිර්දේශ කරමින් ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ නීතිපති දෙපාර්ථමේන්තුවෙහි  අධීක්ෂණ නිලධාරීන්ට ස්වාධීන වාර්තා නිකුත් කර ඇත.

“කෙසේ වෙතත්, මෙම වාර්තා, දේශපාලන අපේක්ෂා සහිත නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නිෂ්ප්‍රභ කර තිබේ. මූලික සාක්ෂි විමසා බැලීමෙන් තොරව, අබේසේකර මහතා සහ ඔහුගේ සගයන් හැකි තාක් කල් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මෙම නිලධාරියා නියෝග කර ඇති බව අපට වැටහේ. මෙයට හේතුව නම් නඩු පැවරීමක් සදහා යොදි ගත හැකි  විශ්වාසදායක සාක්ෂි නොමැති හෙයින්  ඔවුන්ට එරෙහිව උසාවියක කිසි විටෙක හෝ චෝදනා ඉදිරිපත් කිරීමට අපහසු වනු ඇති නිසාය.

“කෝවිඩ් -19 වසංගතය නිසා ඇතිවිය හැකි අවදානම් සැලකිල්ලට ගනිමින් වෙනත් අවස්ථාවකදී  ඇප ලබා නොදෙනන නඩු සම්බන්ධයෙන් පවා ඇප ලබා දෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිට තිබේ.

“කෙසේ වෙතත්, බලයේ සිටින අය සතුටු කිරීමට අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සහ අභිලාෂයන් හේතුවෙන්,   නඩු පැවරීමට කටයුතු කරන වෘත්තීය  නීතිවේදීන්ගේ නිර්දේශ අවලංගු කරනු ලැබ ඇත.

අහිංසක, දේශප්‍රේමී සහ කැපී පෙනෙන පොලිස් නිලධාරීන්ට හුදෙක් ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම නිසා මෙලෙස දඩුවම් කරනු ලැබේ.

“පළිගැනීම සහ පුද්ගලික  අරමුණු සඳහා අපගේ ආර්ථික සුරක්ෂිතභාවය (යුරෝපා පාර්ලිමෙන්තුව දක්වා ඇති අන්දමේ) අනතුරකට ලක් කළ නොහැක.

“අබේසේකර මහතාට සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන්ට එරෙහි පළිගැනීමේ දඩයම රජය වහාම නතර කළ යුතුය.

“හිටපු අධිකරණ අමාත්‍යවරයකු වශයෙන් මම නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ට ආයාචනා කරන්නේ දේශපාලනයට ඉහළින් නැගී සිටින ලෙසයි.”

 

Archive

Latest news

Related news