Thursday, April 25, 2024

කාබනික පොහොර ප්‍රශ්ණය ගැන වෛද්‍ය පාදෙනිය පෙන්වන්නේ නොදන්නාකමයි – වෘත්තිකයින් 104 දෙනෙකුගෙන් නිවේදනයක්

කෘෂිකර්ම වෘත්තිකයන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් පසුගියදා සිදු කරන ලද සාවද්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශය හෙළා දකිමින් රටේ ප්‍රධානතම විද්වත් කෘෂි වෘත්තිකයන් 104 කගේ අත්සන් සහිතව පහත ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.

අවසාන වශයෙන් අප වෛද්‍ය පාදෙණිය මහතාගෙන් ඉතා ගෞරවණීය ලෙස ඉල්ලා සිටින්නේ වෙනත් වෘත්තිකයන්ගේ දැනුම සහ හැකියාවන් පිරික්සමින් සමාජ ගැටළු ඇතිකරනු වෙනුවට තමන් නියෝජනය කරනු ලබන වෘත්තීය වෙනුවෙන් වැඩියෙන් කැපවීමටය.

එම නිවේදනය පහත දැක්වේ:

දේශපාලනීකරණයට ලක් වූ වෛද්‍ය වෘත්තීය සංගම් නායකයෙකු ලෙස​ රටම හඳුනන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් මෑතකදී පවත්වන ලද මාධ්‍ය සාකච්චාවක් හරහා කෘෂිකර්ම වෘත්තිකයන්ගේ දැනුම සහ ක්‍රියාපිළිවෙත අභියෝගයට ලක් කරමින් සිදුකරන ලද ද්වේශ සහගත සහ සාවද්‍ය ප්‍රකාශය අපි ඉතා දැඩිසේ හෙලාදකින්නෙමු. තවද, මෙය  සදාචාර විරෝධී, වෘත්තීය ගරුත්වයට පටහැනි ක්‍රියාවක් ලෙස අප විශ්වාසකරන අතර, තමන් විසින් ප්‍රවීනත්වය නොලැබූ විෂය ක්ෂේත්‍රයක් කෙරෙහි සිදු කරන ලද අනවශ්‍ය අතපෙවීමක් ලෙස හඳුන්වන්නෙමු. මෙම ප්‍රකාශය හරහා වෛද්‍ය පාදෙණිය, කෘෂිකර්මය සම්බන්ධයෙන් ඔහුගේ නොදැනුවත්භාවය ප්‍රකට කරන අතරම තම වටිනා වෛද්‍ය වෘත්තියේ ගරුත්වයද හෑල්ලුවට ලක් කරන බව අපගේ විශ්වාසයයි

කෙසේ වුවද, ඔහුගේ මෙම පදනම් විරහිත ප්‍රකාශය, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ප්‍රශස්ත තත්ත්වයක පවත්වාගැනීම සඳහා දිවා රෑ කැපවීමෙන් සිය  වගකීම් නොපිරිහෙලා ඉටු කරනු ලබන කෘෂිකර්ම නිලධාරී මහත්ම මහත්මීන් හට කිසිදු බලපෑමක් එල්ල කිරීමට සමත් වී නැත.

අප වෛද්‍ය පාදෙණියගෙන් ප්‍රශ්න කරන්නේ මෙරට කෘෂිකර්ම නිලධාරීන්ගේ කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව ඇති දැනුම, ඉතා බොළඳ සහ වගකීම් විරහිත ලෙස විවේචනය කිරීමට ඔහුට ඇති හැකියාව සහ මේ හරහා සමාජයට ලබා දෙන වැරදි ආදර්ශයයි. එබැවින්, පටු දේශපාලන වාසි වෙනුවෙන් රටට ගෞරවනීය සේවයක් සපයන කෘෂිකර්ම වෘත්තිකයන්ට එල්ල කරන ලද මෙම පදනම් විරහිත චෝදනාව අපි ඉතා දැඩි සේ හෙලා දකින්නෙමු.

හරිත විප්ලවය ගැන පාදෙණිය දන්නා දෙයක් නැත

අපට ඉතා පැහැදිලිව පෙනී යන එක් කරුණක් වන්නේ වසර 1950/1960 වකවානුව තුළ ලෝකය මුහුණ දුන් හරිත විප්ලවය පිළිබඳව වෛද්‍ය පාදෙණිය කිසිවක් නොදන්නා බවයි. මෙම හරිත විප්ලවය හරහා ලෝක ආහාර නිෂ්පාදනය ඉතා ඉහල ලෙස වැඩි කිරීම සඳහා පාරම්පරික භෝග ප්‍රභේද​ වෙනුවට නව වැඩිදියුණු කල කෘෂිකාර්මික භෝග ප්‍රභේද​ හඳුන්වාදෙනු ලැබීය. මෙසේ නිපදවන ලද ඉහල අස්වැන්නක් සහිත භෝග ප්‍රභේද​ මේ වනවිට ලොව සියලු රටවල් විසින් වාණිජ වගාව සඳහා යොදාගනුලබන අතර, නිවැරදි කෘෂිකාර්මික යෙදවුම් නොමැතිව ඒවායින් බලාපොරොත්තු වන අස්වැන්න ලබාගැනීමට නොහැක. මේ සඳහා වඩාත් කාර්යක්ෂම රසායනික පොහොර සහ වෙනත් කෘෂිරසායන ලබාදීම මෙතෙක් අනුගමනය කල ක්‍රමවේදයයි. කිසිවෙකුට මෙම සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් බැහැරවී පාරිසරික කෘෂිකර්මාන්තයට නැවත අවතීර්ණ වීම සඳහා අවැසිනම්, ඒ සඳහා ඉතා සැලසුම් සහගත, දිගුකාලීන වැඩ පිළිවෙලකට යා යුතු වේ. මෙවැනි ක්‍රියාවක් මාස ගණනකින් සිදුකිරීම කිසිසේත් ප්‍රයෝගික නොවේ.

කෘෂි නිලධාරීන් යනු කෘෂිරසායන ආනයනය කරන පෞද්ගලික සමාගම් හරහා සෘජු වාසි ලබාගන්නා පිරිසක් බවද වෛද්‍ය පාදෙණිය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද අතර, කිසිදු සාක්ෂියක් හෝ පදනමකින් තොරව ඔහු විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය ද අපි දැඩිසේ හෙලා දකිමු.

කෘෂිකර්මාන්තය පිළිබඳව කිසිදු පුහුණුවක් හෝ අත්දැකීමක් නොමැති වෛද්‍ය පාදෙණිය මෙම සරල කරුණ සම්බන්ධයෙන් නොදැන සිටීම අපට පුදුමයක් නොවේ. රට තුළට රසායනික පොහොර සහ කෘෂිරසායන ගෙන්වීම ක්ෂණිකව තහනම් කිරීමේ අවිද්‍යාත්මක හා අවිධිමත් තීරණය නිසා නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා ගැටලුකාරී තත්ත්වයකට යොමුවන බව අප විශ්වාස කරන අතර, ඒ හේතුවෙන් රට දැඩි ආහාර  හිඟයකට හා කෘෂි නිෂ්පාදනවල මිළ ඉතා ඉහල යාමකට  මුහුණ දෙනු ඇත. මෙම හේතුව නිසා මේ රටේ දුප්පත් ජනතාව ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්වීම නොවැලක්විය හැකි වනු ඇත.

කෘෂි නිලධාරීන්ට කරන අපහාසය

මීට අමතරව, කෘෂි නිලධාරීන් යනු කෘෂිරසායන ආනයනය කරන පෞද්ගලික සමාගම් හරහා සෘජු වාසි ලබාගන්නා පිරිසක් බවද වෛද්‍ය පාදෙණිය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද අතර, කිසිදු සාක්ෂියක් හෝ පදනමකින් තොරව ඔහු විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය ද අපි දැඩිසේ හෙලා දකිමු. අප විසින් ඉහත සඳහන් කළ පරිදි වාණිජ කෘෂිකර්මාන්තය තුළ, වැඩිදියුණු කළ භෝගවල නියමිත අස්වැන්න ලබා ගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය රසායනික යෙදවුම් නිසි කලට, නිසි ප්‍රමාණවලින් යෙදිය යුතු වේ. මෙම පසුබිම යටතේ වෛද්‍ය පාදෙණිය විසින් සිදුකරන්නට යෙදුනු ඉහත ප්‍රකාශය, මහජනතාව නොමඟ යවන සුළු හා කෘෂිකර්ම වෘත්තිකයන්ගේ අභිමානය හෑල්ලූවට ලක් කරන සුළුය.

පෞද්ගලික වාසි සහ බාල ප්‍රසිද්ධිය වෙනුවෙන් මෙසේ සිදුකරනුලබන වගකීම් විරහිත ප්‍රකාශයන් කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව අපගේ විශ්වාසයයි. අවාසනාව යනු, වෛද්‍ය පාදෙණිය මෙසේ අභියෝගයන්ට ලක් කරන්නේ ඈත අතීතයේ පටන් ජාතියක් පෝෂණය කල අභිමානවත් ගොවිකමට අතහිත දෙන කෘෂිකර්ම වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය වීමයි. ඔහුගේ සාවද්‍ය මාධ්‍ය ප්‍රකාශනයට අනුව කෘෂිකාර්මික අධ්‍යාපනය හෝ, ඒ සඳහා වන විශ්වවිද්‍යාල, පුහුණු කිරීම් ආයතන  හෝ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන තවදුරටත් අවශ්‍ය නොවේ. වෛද්‍ය පාදෙණිය විසින් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කිරීමට පෙර, කෘෂිකර්මාන්තයට පසුබිම් වූ විද්‍යාව සහ ගොවිතැන යන අංශ දෙක අතර ඇති වෙනස ඉතා හොඳින් අවබෝධ කරගත යුතුව තිබේ.

අනාගතයේ නියත ආහාර අර්බුදයේ වගකීම සහ පාදෙනිය

රටම දැවැන්ත වසංගතයකට මුහුණ දෙමින් සිටින මෙම තීරණාත්මක අවස්ථාවේදී ඒ පිළිබඳව කටයුතු කිරීම පසෙක ලා, කෘෂිකර්ම වෘත්තිකයින්ගේ කාබනික ගොවිතැන පිළිබඳව ඇති දැනුම සම්බන්ධයෙන් අවලාද නැගීම හාස්‍යජනකය. වෛද්‍ය වෘත්තිකයෙකු වන වෛද්‍ය පාදෙණිය ට මතක් කරදිය යුතු වන්නේ ඔහුගේ ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන මෙම දැවැන්ත අභියෝගය වෙනුවෙන් ජනතාවට ඔහුගේ ගෞරවනීය සේවය ලබා දිය යුතු බවයි. මීට අමතරව, වර්තමාන ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ඇති පිළිකා රෝගය, දුම්වැටි හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් වැනි ඔහුගේ සේවය අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි සිය සේවය ලබා දෙනු වෙනුවට තමන්හට ප්‍රවීනත්වයක් නොමැති අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහි ඔහු දක්වන ප්‍රතිචාරය අපට අනුමත කළ නොහැක.   තවදුරටත්, අප වෛද්‍ය පාදෙණිය මහතාට ප්‍රකාශ කර සිටින්නේ මෙවන් අවිධිමත් ක්‍රියාදාමයන් දියත්කිරීම සඳහා පූර්ණ ලෙස කැපවී සිටින ඔහු වැන්නන්, මෙම තීරණ හරහා නුදුරු අනාගතයේ සමස්ත රටම මුහුණ දීමට නියමිත ආහාර අර්බුධයේ සම්පුර්ණ වගකීම භාරගත යුතු බවයි.

අවසාන වශයෙන් අප වෛද්‍ය පාදෙණිය මහතාගෙන් ඉතා ගෞරවණීය ලෙස ඉල්ලා සිටින්නේ වෙනත් වෘත්තිකයන්ගේ දැනුම සහ හැකියාවන් පිරික්සමින් සමාජ ගැටළු ඇතිකරනු වෙනුවට තමන් නියෝජනය කරනු ලබන වෘත්තීය වෙනුවෙන් වැඩියෙන් කැපවීමටය.

අත්සන් කරන ලද විද්වත් කෘෂි වෘත්තිකයන් 104 දෙනා පහත ඉමේජ වල දැක්වේ

Archive

Latest news

Related news