Tuesday, July 16, 2024

යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කල ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්පූර්ණයෙන් සිංහලෙන්

ඡායාරූපය: ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට පක්ෂව ජන්ද 628, විපක්ෂව 15, ජන්දය නොදුන් 40.

ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් 2021 ජුනි 10 වන දින යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාව, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (2021/2748 (ආර්එස්පී)) යටතේ අත්අඩංගුවට ගැනීම්

යුරෝපීය පාර්ලිමේන්තුව,

– ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  පෙර යෝජනා සැළකිල්ලට ගනිමින්,

– 2021 පෙබරවාරි 9 වන දින දරන ‘ශ්‍රී ලංකාවෙහි  ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සැලකිල්ලට ගනිමින්,

– 2021 මාර්තු 23 වන දින දරන ‘ශ්‍රී ලංකාවෙහි සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සැලකිල්ලට ගනිමින්,

– ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2021 මාර්තු 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2021 අංක 01 දරන රෙගුලාසි සැලකිල්ලට ගනිමින්,

– ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරම මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ  වාර්තාකරුගේ 2018 දෙැසම්බර් 14වන දින  ‘ශ්‍රී ලංකාවෙහි සංචාරය’ යන මාතෘකාව යටතේ වන  වාර්තාව සැළකිල්ලට ගනිමින්.

– එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිෂෙල් බැචලෙට්ගේ  2021 පෙබරවාරි 24 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශය සැළකිල්ලට ගනිමින්.

– 2019 නොවැම්බර් 16 දින පැවැත්වෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරණය අරභයා යුරෝපා සංගම් නිරීක්ෂණ මෙහෙයුමෙහි 2020 ජනවාරි අවසන් වාර්තාව සැළකිල්ලට ගනිමින්,

– 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සැළකිල්ලට ගනිමින්,

– 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සැළකිල්ලට ගනිමින්,

– ශ්‍රී ලංකාව ප්‍රතිලාභියෙකු  යුරෝපා සංගමයේ විශේෂිත දිරිගැන්වීමේ වැඩසටහන වන සාමාන්‍යකරණය කළ ජීඑස්පී ප්ලස්  සම්මුතිය සැළකිල්ලට ගනිමින්,

– එහි ක්‍රියා පටිපාටියේ රීති 144 (5) සහ 132 (4) සම්මුතිය සැළකිල්ලට ගනිමින්,

. දෙපාර්ශ්වයම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය සිදු කළ 2009දී අවසන් වූ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය ශ්‍රී ලංකාව පලුදු කර ඇති හෙයින්ද,

ආ. පසුගිය රජය යටතේ ලබා ඇති සීමිත ප්‍රගතිය වර්තමාන රජය ආපසු හරවමින් සිටීන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ක්‍රමානුකූලව පිරිහෙමින් පවතින අතර රට තුළ සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යවලට ක්‍රියාත්මක විය හැකි ඉඩකඩ ඉතා වේගයෙන් ඇහිරෙමින් තිබෙන හෙයින්ද.

. සිවිල් සැකකරුවන් පරීක්ෂා කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලිසියට එමගින් පුළුල් බලතල ලබා දෙන ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) 1979 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් හෙයින්ද,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා දී ඇති පුළුල් බලතල නිසා වධහිංසා හා ලිංගික අපයෝජන, බලහත්කාරයෙන් පාපොච්චාරන ලබාගැනීම සහ නිසි නීති ක්‍රියාදාමය විධිමත්ව ප්‍රතික්ෂේප කිරීම වැනි තහවුරු වූ සිද්ධීන් වලට තුඩු දී තිබෙන හෙයින්ද,

ඈ. යහපත් ජාත්‍යන්තර  භාවිතයන්ට අනුකූල නීතියක් මගින් ප්‍රතිස්ථාපනය කරන තෙක්, නව අත්අඩංගුවට ගැනීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම තහනම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඇගේ මෑත වාර්තාවේ දී ද ඉල්ලා සිටිනු ලැබ ඇති හෙයින්ද,

ඉ. ‘ආගමික හෝ වාර්ගික අසමගිය’ ඇවිලවීම සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව වසර දෙකක් රඳවා තබා ගැනීමට ඉඩ ලබාදෙමින් ශ්‍රී ලංකා රජය 2021 මාර්තු 9 වන දින 2021 අංක 01 දරන රෙගුලාසිය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පුළුල් කර  ඇති හෙයින්ද,

. 26 හැවිරිදි මුස්ලිම් ගුරුවරයෙකු හා කවියෙකු වන අහ්නාෆ් ජසීම් සහ සුළුතර ප්‍රජාවන්හි අයිතිවාසිකම් පිළිබඳ සුප්‍රසිද්ධ නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිත කර ඇති හෙයින්ද,

උ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කර මානව හිමිකම් සම්මුතීන් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට වන කොන්දේසිය මත 2017 මැයි 19 වැනිදා ශ්‍රී ලංකාව වාසිදායක ජීඑස්පී+ යටතේ තීරුබදු සහන ලබා ගත් හෙයින්ද, ‍

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් යුරෝපා සංගමය නැවත-නැවතත් කනස්සල්ල පළ කර ඇති අතර, ශ්‍රී ලංකාව ගිවිස ගත් පරිදි  එම පනත අවලංගු කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන් කර ඇති හෙයින්ද,.

. විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කරමින් 2020 ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථාව සම්මත කළ හෙයින්ද,

එ. යුද්ධය අවසාන වී වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇතත්, වරදට දඬුවම් නොලැබීම සහ රාජ්‍ය පද්දතිය  කෙරෙහි වින්දිතයන්ගේ අවිශ්වාසය වැඩි කරමින් වගවීම සහ සංහිඳියාව සඳහා වූ දේශීය මූලිකත්වයන් ප්‍රතිඵල ලබාදීමට නැවත-නැවතත් අසමත් වී ඇති හෙයින්ද,

ඒ. ශ්‍රී ලංකා රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගවත් ලෙස මිලිටරීකරණය කිරීමේ පැහැදිලි ලකුණු පෙන්වන හෙයින්ද,  2020 සිට මේ දක්වා අවම වශයෙන් හිටපු හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා පත් කරන ලද හෙයින්ද,  එම පත්වීම් ලද නිලධාරීන් අතර යුද්ධයේ අවසන් වසරවල දී යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාවල චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළත් වන හෙයින්ද,

ඔ. පොලිස් අත්අඩංගුවේ පසුවන බොහෝ සැකකරුවන් මෙන්ම බන්ධනාගාරවල සිටින රැඳවියන් ද ඝාතනය කර ඇති හෙයින්ද,‍   2021 මැයි මාසයේ දී පොලිස් අත්අඩංගුවේ සිදු වූ මියයෑම් ද ඊට ඇතුළත් වන හෙයින්ද,  2020 වසරේ නොවැම්බර් මාසයේ දී කොවිඩ්-19 තත්ත්වයක් මත මහර බන්ධනාගාරයේ ඇති වූ කෝලාහලයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර ආරක්ෂකයන් විසින් වෙඩි තැබීමෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලැබ ඇති හෙයින්ද,

ඕ. 1976 සිට රට තුළ මරණ දඬුවම භාවිත කිරීම නතර කිරීමක් පැවතියද, ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් 2019දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම නියම කරන ලද හෙයින්ද,.

  1. ශ්‍රී ලංකාව පිළිබඳ මෑත කාලීන එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් කල්තබා කැරෙන අනතුරු ඇඟවීම් ලෙස විස්තර කර ඇති, රජයේ සිවිල් කාර්යයන් වේගයෙන් මිලිටරීකරණය කිරීම, වැදගත් ව්‍යවස්ථාමය ආරක්ෂණ ආපසු හැරවීම, වගවීම පිළිබඳ ක්‍රියාවලියට දේශපාලනයෙන් ඇති කෙරෙන බාධා කිරීම්, බැහැර කරවනසුලු වාචාල කතා, සිවිල් සමාජය බිය ගැන්වීම සහ ත්‍රස්ත විරෝධී නීති භාවිත කිරීම වැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත ඇති වීම යනාදිය මගින්, ශ්‍රී ලංකාව ගමන් ගන්නා භයානක මාවත පිළිබඳව ගැඹුරු කනස්සල්ල පළ කරයි.
  2. වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීමට එරෙහිව දැඩි විරෝධය යළිත් අවධාරණය කරයි. එම පනත සමාලෝචනය කිරීමට හා අවලංගු කිරීමටත්, එය අන්තර්ජාතික යහපත් භාවිතයන්ට අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. තවද නිර්- රැඩිකල්කරණ රෙගුලාසි (deradicalisation regulations) වහාම අත්හිටුවන ලෙස තවදුරටත් ඉල්ලා සිටී.
  3. 2021 අංක 01 දරන ( නිර්- රැඩිකල්කරණ) රෙගුලාසි මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වන වගන්තියේ දක්වා ඇති පරිදි අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙකුට හිමි කාර්ය පටිපාටික සහතික කිරීම් නොලැබෙන බවත්, එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ආරක්ෂාවන් උල්ලංඝනය කරන බවත් පෙන්වා දෙයි. තවද මෙවැනිම රෙගුලාසි යටතේ පවත්වා ගෙන ගිය නිර්-රැඩිකල්කරණස හ පුනරුත්ථාපන සහ යලි-අන්තර්ග්‍රහණ මධ්‍යස්ථානයන්, වධහිංසා පැමිණවීම සහ දුෂ්-සැලකීම සහ ලිංගික සහ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචන්ඩත්වයන් වැනි බරපතල මානව හිමිකම් කෙළෙසීම් වලින් පිරී ගොස් තිබූ බවත් සිහි කැදවයි.
  4. හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන්, ලේඛකයන් සහ කවියන් නිසි නීතිමය ක්‍රියාදාමයක් සහ යුක්තිය සඳහා ප්‍රවේශයක් නොමැතිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබා ගැනීම ගැන කනස්සල්ල පළ කරමින් , රඳවා ගෙන සිටින පුද්ගලයන්ට වලංගු චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වහාම ලබා දෙන ලෙසත්, කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  5. මුස්ලිම්, හින්දු, දෙමළ සහ කිතුනුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා ජනවාර්ගික සුළුතරයන් හා ප්‍රජාවන්ට එරෙහිව දිගින්-දිගටම වෙනස් කොට සැලකීම සහ ප්‍රචණ්ඩත්වය හෙළා දකී. වෛරී කතාව, ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම සහ රටේ ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වලට වෙනස් කොට සැලකීම නිසැකවම හෙළා දැකීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ආණ්ඩුව සහ හමුදාව තුළ සිටින එවැනි අය ඇතුළුව එවැනි බෙදීම් ඇති කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටී.
  6. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය පහත වැටීම, පාර්ලිමේන්තු පාලනය අඩු වීම සහ ජනාධිපති ධුරය වෙත අධික බලයක් රැස් කර ගැනීම පිළිබඳ බරපතළ කනස්සල්ල පළ කරයි.
  7. අදහස් දැක්වීමේ නිදහසට එවැනි නීතියක් මගින් ඇතිවිය හැකි තර්ජන පිළිබඳව සිවිල් සමාජ සංවිධාන පෙන්වා දී තිබුණද, සාවද්‍ය තොරතුරු පිළිබඳ නව නීති පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී කරන ලද යෝජනාව ගැන සිය කනස්සල්ල සටහන් කරයි. සිංහල හා දෙමළ භාෂාවලින් වෛරී කථන සහ සාවද්‍ය තොරතුරු සංසරණය නියාමනය කරනු සඳහා ක්‍රියාශීලී පියවර ගන්නා ලෙස අදාළ සමාජ මාධ්‍ය ජාල සමාගම්වලින් ඉල්ලා සිටී.
  8. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන, විශේෂයෙන් 365, 365ඒ සහ 399 වගන්ති, විවිධ ලිංගික දිශානතියන් සහ විවිධ ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාවන් ඇති පුද්ගලයන් අපරාධකරණය සඳහා කර ඇති අර්ථ නිරූපණයන් සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වෙයි.
  9. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩළීම යන්න ඇතැම් අවස්ථාවල දී මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වල සහ සිවිල් සමාජයේ සාමාජිකයන්ට හිංසා පීඩා කිරීමේ මෙවලමක් ලෙස යොදාගැනෙන බැවින්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ‘ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය වීම’ නම් ඉන්ටර්පෝල් ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාදීම කඩිනමින් අගැයීමක් කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටී. සිවිල් සමාජයට, විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ කරන්නියන්, පරිසර ආරක්ෂක ආරක්ෂිකාවන් සහ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් සඳහා සිය සහයෝගය වැඩි කරන ලෙස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත වෙත හා සාමාජික රටවල්වල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී.
  10. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම ඇතුළුව ජාතික සංහිඳියා ක්‍රියාවලියට අවශ්‍ය අවධානය සහ ප්‍රතිඵල ලබා දීම සහතික කිරීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරයි. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ නමිින් 2015 ඔක්තෝබර් 14 වැනිදා යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශපථ කළ පොරොන්දු වර්තමාන රජය ඉවත්වීම ගැන කනගාටුව පළ කරයි. අන්තර්ජාතික ප්‍රජාව සමඟ සබඳතා යථා තත්ත්වයට පත්කිරීමට සහ සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් අතර ජාතික සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට ඉවහල් වන බැවින් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන ලෙස යෝජනා කරයි.
  11. බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහි විමර්ශනවලට සහ නඩු පැවරීම්වලට බාධා ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. සිවිල් යුද්ධය අතරතුර සෑම පාර්ශවයකම ප්‍රධානීන් විසින් කරන ලදැයි කියැවෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි අවධාරණය කරයි. බරපතළ අපරාධවලට සම්බන්ධ වත්මන් හා හිටපු හමුදා සේනාධිපතියන් රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා පත්කිරීමේ භාවිතය නතර කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  12. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව දැඩි, අපක්ෂපාතී සහ සම්පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටී. වරදකාරී බවට සාක්ෂි ඇති අය වහාම නඩු විභාගවලට ඉදිරිපත් කිරීමටත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති අය නිදහස් කිරීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
  13. එම සම්මුතීන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රටේ අපනයනකරුවන් සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට අවස්ථාවක් ජීඑස්පී + යෝජනා ක්‍රමය මඟින් ලබා දෙන බවට සිහිපත් කරයි. ජීඑස්පී+ යටතේ වාසිදායක වෙළඳ සම්බන්ධතාවක් ලබාගැනීම සඳහා රටෙහි ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අනුකූල වන ලෙස සම්පුර්ණයෙන්ම පෙළගැස්වීම ශ්‍රී ලංකාවේ එක් ප්‍රධාන පොරොන්දුවක් බව සිහිපත් කරයි. මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට, අහිතකර නීති අවලංගු කිරීමට සහ වර්තමානයේ වැඩිවෙමින් පවතින උල්ලංඝනයන් සහිත ගමන් මඟ ආපසු හැරවීමට අඛණ්ඩව අපොහොසත් වුවහොත් සිදුවිය හැකි, ජීඑස්පී රෙගුලාසියෙහි* පුරෝකථනය කර ඇති ප්‍රතිවිපාක සිහිපත් කරයි.
  14. ශ්‍රී ලංකාවට ලබා දෙන ජීඑස්පී+ යෝජනා ක්‍රමය රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. එමගින් යුරෝපා සංගමයට කරන අපනයන මගින් ලැබෙන ආදායම යුරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ ජීඑස්පී+ සඳහා දැනට පවතින සුදුසුකම් අධීක්ෂණය කිරීම ඉස්මතු කරමින්, ජීඑස්පී+ වෙළෙඳ සහනයන් අඛණ්ඩව පවත්වා ගැනීම ඉබේම නොවන බව අවධාරණය කරයි.

ජීඑස්පී+ සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් තක්සේරු කිරීමේදී වර්තමාන සිදුවීම් නිසි ලෙස සැලකිල්ලට ගන්නා ලෙස කොමිසමෙන් සහ යුරෝපීය විදේශීය ක්‍රියාකාරී සේවයෙන් (European External Action Service -EEAS) ඉල්ලා සිටී. තවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගරුකිරීම  දියුණු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉල්ලා සිටීම තෙරපුමක් ලෙස ජීඑස්පී + සහනය භාවිත කරන ලෙසත් ඉල්ලා සිටී; අවසාන පියවරක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දී ඇති  ජීඑස්පී + තත්ත්වය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබේද යන්න ප්‍රවේශමෙන් තක්සේරු කිරීමට සහ හැකි ඉක්මනින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කටයුතු කරන ලෙස ලෙස කොමිසමෙන් සහ යුරෝපීය විදේශීය ක්‍රියාකාරී සේවයෙන් තවදුරටත් ඉල්ලා සිටී.

  1. කම්කරු අයිතිවාසිකම් තත්ත්වය පිරිහීම කෙරෙහි COVID-19 වසංගතයේ බලපෑම ගැන සැලකිලිමත් වන අතර, විශේෂ වෙළෙඳ කලාපවල ඇඟලුම් කම්කරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඇතුළුව කර්මාන්තශාලා සේවකයන්ගේ ශ්‍රම අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හා ශක්තිමත් කරන සේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කම්කරු ප්‍රමිතීන් හා රැකියා සම්බන්ධතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් අංක 87 සහ 98 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
  2. සෑම අවස්ථාවකදීම සහ ව්‍යතිරේකයකින් තොරව යුරෝපා සංගමයේ මරණීය දණ්ඩනයට ඇති දැඩි විරෝධය යළිත් අවධාරණය කරයි. මරණීය දණ්ඩනය පිළිබඳ ශ්‍රී ලංකාවේ තාවකාලික නතර කිරීම දිගටම පැවැතීම සතුටින් පිළිගනී. රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
  3. ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා යුරෝපා සංගමයේ අතීත සහයෝගය පිළිගන්නා අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට යුරෝපා සංගමයේ සූදානම අවධාරණය කරයි.
  4. ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින චීන භූමිකාව සහ ඇඟිලි ගැසීම් ගැන කනස්සල්ල පළ කරයි.
  5. මෙම යෝජනාව කවුන්සිලයට, කොමිසමට, කොමිෂන් සභාවේ උප සභාපති / විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සංගමයේ ඉහළ නියෝජිතවරයාට, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතවරයාට, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ ශ්‍රී ලංකා රජයට සහ පාර්ලිමේන්තුවට යොමුකරන ලෙස සභාපතිවරයාට උපදෙස් දෙයි.

*1. Regulation (EU) No 978/2012 of the European Parliament and of the Council of 25
October 2012 applying a scheme of generalised tariff preferences, OJ L 303, 31.10.2012,
p. 1.

( නිල පරිවර්ථනයක් නොවේ. පරිවර්ථනය ශ්‍රි ලංකා බ්‍රීෆ් වෙතිනි. medialk.com විසින් පළ කරන ලද යම් යම් කොටස් ද අදාළ කර ගන්නා ලදී)

 

Archive

Latest news

Related news