Tuesday, July 16, 2024

මසක් ඇතුළත මරණ තුනක්: “පොලිස් වධහිංසා රැල්ල නවත්වන්න” – පොලිස්පතිට CPRP ය ලියයි.

ඡායාරූපය: මඩකළපුවේ චන්ද්‍රන් විදූශන් සහ පානදුරයේ මොහොමඩ් අලි.

මෑතදී සිදුවූ මරණ තුනත් සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබෙන බව පෙන්වා දෙන සිරකරු අයිතීවාසිකම් සුරැකීමේ කමිටුව පැතිර යන මෙම පොලිස් වධහිංසා රැල්ල නතර කිරීමට පියවර ගන්නා ලෙසත් වරදතරුවන්ට දඩුවම් පමුණුවන ලෙසත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. එම ලිපිය යවා ඇත්තේ  කමිටුුුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා විසිනි.

එම මරණ තුන මෙසේය: 

2021 මැයි 07වන දින පොලිස් සේවකයකු විසින් පහර දී මරණයට පත් වූ 49 වයැති වැලිගම  ඩී. සුනිල් ඉන්ද්‍රජිත් නම් තෙදරු පියා
2021 ජූනි 03 වන දින පොලිස් අත්අඩංඟුවෙහිදී මිය ගිය 22 හැවිරිදි මඩකළපුවේ චන්ද්‍රන් විදූශන්
2021 ජූනි 06 දින පොලිස් ජීපි රථයකින් වැටී මිය ගිය බව කියන 42 හැවිරිදි පානදුරයේ මොහොමඩ් අලි

එම ලිපිය පහත දැක්වේ

සී.ඩී.වික්‍රමරත්න මැතිතුමා,
ශ්‍රි ලංකා පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ගරු පොලිස්පතිතුමණි,

පොලිස් වධහිංසාවලින් පුද්ගලයන් මිය යාම වහා නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කරන ඉල්ලීමයි.

ශ්‍රි ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා තැනැත්තන් කුමන සමාජ මට්ටමක අය වුවද අපරාධවලට සම්බන්ධ බවට සැකකරන අය වුවද ඔවුන් තමන්ගේ භාරයේ සිටි නම් ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව සහ අනෙකුත් මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන සේ කටයුතු කිරිමේ වගකීමක් ඔබට තිබේ. ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් අණපනත් මගින්ද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින්ද එම පරම අයිතිවාසිකම් තහවුරු කර තිබේ.

පොලිසිය තුලදි පුද්ගලයන් මියයාම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබුනද මේ වන විට එය ප්‍රවණතාවයක් වී ඇති බව පැහැදිලිය. පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගත් පුදගලයන් වන, තාරක ධර්මකීර්ති විජේසේකර සහ දිනෙත් මෙලන් මාඹුල යන අයවලුන් ආයුද පෙන්වීමට රැගෙන ගොස් නිතියට පිටින් මරා දැමීමෙන් පසු තවත් පුද්ගලයන් තිදෙනෙකු (03) ගේ මිය යාම් සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

01. 2021.05.07 වන දින අවුරුදු 49 ක් වයසැති ඩී.සුනිල් ඉන්ද්‍රජිත් නැමති තුන්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් වැලිගම පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

02. 2021.06.03 වන දින අවුරුදු 22 වයසැති චන්ද්‍රන් විදුෂාන් නැමති තරුණයාගේ මිය යාම සම්බන්ධයෙන් මඩකලපුව පොලසියට චෝදනා එල්ල වී තිබේ.

03. 2021.06.06 වන දින අවුරුදු 42 ක් වයසැති මොහොමඩ් අලි නැමති දෙදරු පියාගේ මරණය
එබැවින් මෙවැනි සිද්ධින් ඇති නොවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීම ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රධානියා වශයෙන් ඔබට පැවරි ඇති නෛතික යුතුකමකි. තවදුරටත් පොලිසිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිද වැටුනහොත් එමගින් සමාජයේ පුද්ගලයන් තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳා ගැනීමේ පිළිවෙතකට යාම නොවැලැක්විය හැකිවේ. අනෙක් අතට මෙවැනි සිදුවීම් සිදු වූ විට අදාල සැකකටයුතු නිලධාරින්ගේ වැඩ තහනම් කිරිමට එහා පියවරකට ගොස් ඔවුන්ට එරෙහිව අපරාධ නිතිය අනුව කටයුතු කරන බවක්, අපට නොපෙනේ. ඒ නිසාම මෙවැනි වධහිංසාවලට පොලිසිය තුලින්ම යම් ධෛර්යක් ලැබෙන බව අපගේ විශ්වාසයයි.

ඒ අනුව මේ රටේ පොලිස් අත්අඩංගුවට පත්වන්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන වගකිව යුතු සංවිධානයක් ලෙස අප ඉල්ලා සිටින්නේ මෙම ,පොලිස් වධහිංසා රැල්ල, නැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් ඒවාට සම්බන්ධ පොලිස් නිලධාරින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන ලෙසත්ය.

මෙයට

නීතිඥ සේනක පෙරේරා
(සභාපති)

පිටපත – ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Archive

Latest news

Related news