Wednesday, May 1, 2024

සෞඛ්‍ය ලේකම්වරයාගේ ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්‍ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකි.

මෙවැනි අනතුරු ඇඟවීම් හරහා නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර, ජනමාධ්‍යයට විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ද බාධා කරයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංගම් අයිතිවාසිකම්ලට මෙන්ම සංවිධානගත වීමේ අයිතියට ද අහිතකර බලපෑම් ඇති කරයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආයතන සංග්‍රහයේ රෙගුලාසිවලට ඉහළින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියකි.

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් බවට පත්වී ඇති අතර 2016 වසරේ සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු සඳහා ඇති ප්‍රතිපත්ති සම්බන්ධ නව දැක්මක් ඇති විය. එහෙයින් යල් පැනගිය ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන වහා වෙනස් කළ යුතු ඒවා බවට ලඝු කළ යුතු ඒවා වන අතර ජනතාව වෙනුවෙන් තමන් සතු තොරතුරු හෙළිදරව් කරන නිලධාරීන් මර්දනයට යොදා ගත යුතු ඒවා නොවේ.

කොවිඩ් 19 වසංගතය පාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීය සංගම්, කණ්ඩායම් ප්‍රධානීන් තමන් දන්නා තොරතුරු, ගැටලු හා යෝජනා අනාවරණය කිරීම සිදු කරයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති නිවැරැදි‌ව ක්‍රියාත්මක නොවේ නම් ජනතාවට,

රටට විශාල බරක් වී ඇති මෙවැනි වසංගත තත්ත්වයකදී ඒවා රටට අනාවරණය කොට නිවැරැදි මඟට ගැනීම කළ යුතුය. රට මුහුණ දී සිටින්නේ යල් පැන ගිය විධිවිධාන බිඳ දමා, සියලු නිලධාරීන් සමාජ වගකීමක් සහිතව කටයුතු කළයුතු අවස්ථාවකටය. ලේකම්වරයා දැනුම් දී ඇති ආකාරයට සත්‍ය තොරතුරු ඇත්නම් ඒවා වසං කොට මහජනයාගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමෙන් පලක් නැත.

එහෙයින් මාධ්‍ය වෙත තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන සෞඛ්‍ය වෘත්තීය සංගම් හා වෙනත් නිලධාරීන් නිවැරැදි නොවන තොරතුරු හා දත්ත ඉදිරිපත් කරන්නේ යැයි චෝදනා කොට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පෙන්වා ඔවුන් මර්දනය කිරීමට ගන්නා උත්සාහයෙන් වළකින ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.

2021. 05. 21/මාධ්‍ය නිවේදනයකි.

Archive

Latest news

Related news